පරිසරය කියන්නෙ අන්‍යෝන්‍ය සබදතාවල එකතුවක්. ඒ අතරින් කූඹීන් සහ දිලීර අතර තියන එක් ආකාරයක අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ගැන හසා එක්ක බෲනෝ කරපු podcast එකෙන් ඔයාලා දැනගන්න ඇති. හැබැයි ඒ මිතුරුකම හතුරුකමක් වුණ අවස්ථාත් නැතුවාම නොවෙයි.
පරපෝෂිතයින් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම අපේ කන ගැටෙන වචනයක්. ජීවත් වෙන්න වගේම ප්‍රජනනය කරන්නත් පරපෝෂිතයින්ට ධාරක සත්වයෙක් අවශ්‍ය වෙනවා. කූඹියො කියන්නෙ පරපෝෂිතයින් ගොඩක් ආස කරන ධාරක සත්වයෙක්. ඒවගේම නිවර්තන වනාන්තරවල ඉන්න කෘමීන්ගෙන් 70% ක්ම කූඹින්. මේ සුලබත්වය, කූඹීන්ව පරපෝෂිත දිලීරවල ගොදුරු බවට පත්වෙන්න බලපාන ප්‍රධානම හේතුවක්.
පරපෝෂිත දිලීර කියන්නෙ නිවර්තන වනාන්තරවල ජීවත්වෙන කූඹින් මුහුණපාන දරුණු තර්ජනයක්. කූඹී ගණාවාස පිටින්ම වුණත් නැති කරලා දාන්න මේ දිලීරවලට හැකියාව තියනවා. ඒ නිසා මේ වගේ ආක්‍රමණයන්ගෙන් බේරෙන්න කූඹියො විවිධ උපක්‍රමයන් පාවිච්චි කරනවා. සහෝදර කූඹීන්ව රෝගකාරකයින්ගෙන් තොරව තියාගන්න එකිනෙකාගෙ ශරීර පිරිසිදු කරන එක කූඹීන් නිරන්තරයෙන් කරන දෙයක්. හැබැයි කවුරුන්හෝ කූඹියෙක් ආසාදනයට ලක්වෙලා කියල දැනගන්න ලැබුණොත් ඒ කූඹියව ගණාවාසයෙන් පිටුවහල් කරන්න අනෙක් කූඹීන් තීරණය කරනවා. ඒවගේම ආසාදනයකට ලක්වෙලා මියගියපු කූඹියෙක් හමුවුණොත් කූඹියාගේ මළ සිරුර ගණාවාසයට දුරස්ථ ප්‍රදේශයකට බැහැර කරන්නත් සහෝදර කූඹියො කටයුතු කරනවා. ඒ, රෝගය පැතිරයාම වළක්වන්න ගන්න පියවරක් විදිහටයි.
ආසාදනයන්ගෙන් බේරිලා ඉන්න කූඹීන් අනුගමනය කරන ඉහතින් කියපු ක්‍රමෝපායන් අකුරටම සිද්ධ වුණත්, එක් ආකාරයක දිලිර විශේෂයක් හිතන්නවත් බැරි විදිහකට කූඹීන්ව ගොදුරු කරගන්නවා. ඒ ගැන සාක්ෂි හම්බෙන ප්‍රධානම තැනක් විදිහට තායිලන්තයේ නිවර්තන වනාන්තර හදුනගන්න පුලුවන්. චිත්‍රපටි වලින් දැක්කත් ඇත්ත ජීවිතේදී සොම්බියෙක්ව දැකලා නෑ නේද? හැබැයි මේ වනාන්තරවල පොළොව මට්ටමේ ඉදන් කුඩා උසකින් පිහිටන ශාක පත්‍රවල යටි පැත්ත දිහා බැලුවොත් ඔයාට සොම්බි ජීවීන්ව පියවි ඇසින් බලාගන්න පුලුවන්.

මේ ඡායාරූපයේ ඉන්නෙ "සොම්බි කූඹියෙක්" කිව්වොත් නිවැරදියි. කූඹියාගේ යටි හක්ක තදින් පත්‍රයේ නාරටියට බදලා අල්ලන් ඉන්න ගමන් කූඹියාව ධාරකයා කරගෙන පරපෝෂිත දිලීරයක් වර්ධනය වෙලා තියන විදිහ මේ ඡායාරූපයෙන් බලාගන්න පුලුවන්. කූඹින්ට මේ වගේ ඉරණමක් අත්වෙන්නෙ කොහොමද?
දිලීර, මේ වෙනුවෙන් තියන පළවෙනි පියවර "මනස පාලනය" කිව්වොත් විශ්වාස කරනවාද? දවස් ගණන්, සති ගණන් කූඹින්ගේ මනස තමන්ගෙ අනසකට ගන්න මේ දිලීර සූක්ෂමව කටයුතු කරනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ විස්තරාත්මකව දැනගමු..
මෙතනදි කතාබහට ලක්වෙන කූඹි විශේෂය, කැම්පොනොටස් ලියනා(ර්)ඩි (Camponotus leonardi) කියල හදුන්වනවා. මේ කූඹි විශේෂය වාසය කරන්නේ නිවර්තන වැසි වනාන්තරවල උඩු වියනෙ නැත්නම් ගස් මුදුන්වල කිව්වොත් හරි. ඒ නිසා වෙනත් කූඹි විශේෂයන්ට වඩා මෙයාලා ආරක්ෂාකාරී බවින් වැඩියි. හැබැයි මේ කූඹීන් ගමනාගමනයට පාවිච්චි කරන සන්නිවේදන පද්ධතිය (ඇන්ටනා) දෝෂ සහගතයි. ඒ නිසා ශාක පත්‍ර අතර පරතරය, ඒ අතර හුවමාරු වෙන්න බැරි තරම් ලොකු එකක් වුණොත් පහළට ගිහින් පොළව මතින් ගමන්කරන්න කැම්පොනොටස් කූඹීන් පෙළඹෙනවා. මෙන්න මෙතෙන්දි තමයි සෝම්බි දිලීරය කරළියට එන්නෙ.
මේ දිලීරය "ඕෆියෝ-කෝඩිසෙප්ස් යුනිලැටරැලිස්" (Ophiocordyceps unilateralis) කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා. සූක්ෂමව සහ දක්ෂ විදිහට සතුන්ව ගොදුරු කරගන්න කෝඩිසෙප්ස් දිලීරයට ලොකු හැකියාවක් තියනවා.
තමන්ගෙ ගමනාන්තය හොයාගෙන පොළොවෙන් ගමන් කරන කැම්පොනොටස් කූඹීන්ගේ ශරීරයේ, මේ දිලීරයේ බීජාණු ඇලෙන්න ගන්නවා. ඇලුණු බීජාණුව කූඹියාගෙ ශරීරය තුළට ඇතුළු වෙන්නෙ යාන්ත්‍රික පීඩනය සහ එන්සයිම වල උදව්වෙන්. කෝඩිසෙප්ස් දිලීරය, කූඹියාව තමන්ගෙ අනසකට ගන්න පටන්ගන්නෙ මෙතනින්. බීජාණුව ඇතුළුවෙලා පළවෙනි සතිය ඇතුළත කූඹියා සාමාන්‍ය විදිහටම හැසිරෙනවා. හැබැයි කූඹියාගේ ශරීරය ඇතුළෙ දිලීරය යම් ප්‍රමාණයකට වර්ධනය වුණාට පස්සෙ දිලීරය විසින් කූඹියාව තමන්ගෙ පාලනයට නතු කරගන්නවා. ඊටපස්සෙ කූඹියාව බලහත්කාරයෙන්ම මෙතෙක් කල් ඌ ජීවත් වුණ වාසස්ථානයෙන් එළියට අරගෙන යන්න දිලීරයට පුලුවන්වෙනවා. කූඹියාට යකා වැහිලා වගේ කිවොත් හරි.
ඒ විදිහට කෝඩිසෙප්ස් දිලීරය, පොළොව මතින් කූඹියාව අරගෙන ගිහින් පොළවට ආසන්නයේම තියන කුඩා පැළයකට කූඹියාව නග්ගනවා. ඉන්පස්සෙ තමන්ගෙ හකු පාවිච්චි කරලා තදින් ශාක පත්‍රයක් හපාගන්න කැම්පොනොටස් කූඹියා, තමන්ගෙ මරණය සිද්ධවෙන ස්ථානය තහවුරු කරගත්තා කියල කිව්වොත් නිවැරදියි. මේ වෙද්දි කූඹියාගේ සම්පූර්ණ පාලනය දිලීරය සතු කරගෙන ඉවරයි.
මේ විදිහට ආසාදනය වුණ හැම කූඹියෙක්ම හපාකන්නේ ශාක පත්‍රයේ යටි ප්‍රදේශය කියලා පර්යේෂණයකින් හොයාගෙන තියනවා. ඒවගේම ඒ අතරින් කූඹීන් 98% ක්ම හපාකාලා තියෙන්නෙ පත්‍රයේ නාරටි මත. දිලීරයට ගොදුරු වුණ හැම කූඹියෙක්ම වගේ තෝරගෙන තියෙන්නෙ පැළෑටියේ උතුරු පැත්තට වෙන්න තියන, බිම් මට්ටමේ ඉදන් 25cm ක උසකින් තියන ශාක පත්‍ර වීමත් විශේෂත්වයක්. ඒවගේම ඒ ශාක පත්‍ර, 94-95% ආර්ද්‍රතාවයකින් හා සෙල්සියස් අංශක 20-30 උෂ්ණත්වයකින් යුක්ත වුණ පරිසරවල වර්ධනය වුණ ඒවා කියලත් විද්‍යාඥයින් හොයාගෙන තියනවා. මේ දේවල්වලින් පැහැදිලි වෙන්නේ දිලීරයට හැදෙන්න සුදුසුම පරිසර තත්වවලට කූඹියාව දිලීරය විසින්ම අරගෙන ඇවිත් තියනව කියන එක. කූඹියාගේ පාලනය කොච්චර දුරකට දිලීරයේ අනසකට අරන් ද කියන එක ඒකෙන්ම තේරුම්යනවා.
මේ වෙද්දි පත්‍රයේ යටි පෘෂ්ඨය මත ඉන්න කූඹියාගේ මොළය හරහා දිලීරයේ වෘන්තය, එහෙමත් නැත්නම් නැට්ට වර්ධනය වෙන්න ගන්නවා. නැට්ටේ අගින් බීජාණු වලින් පිරුණු ගෝලාකාර කෝෂයක් ඇතිවෙනවා. ඒත් එක්කම කූඹියා මරණයට පත්වෙන්නේ දිලීර ධාරකයෙක් විදිහට.

පත්‍රයේ යටි පැත්තම හපාකන්න හේතුවක් තියනවද? ඔව්! යටි පැත්ත හපාකන කූඹියාගේ මොළය හරහා දිලීරය වර්ධනය වෙන්නෙ පොළව දෙසට. එතකොට දිලීර වෘන්තයේ අග තියන බිජාණු, පොළවට වට්ටන එක වඩා ලේසි වෙනවා. ඒ කියන්නෙ තවත් කූඹියන්ව, සොම්බි කූඹියන් බවට පත්කරන්න දිලීරයට හැකියාව ලැබෙනවා.


මේ විදිහෙ සොම්බි කූඹියෙක් ගැන ප්‍රථම වතාවට වාර්තා වෙන්නෙ අවුරුදු 100 කටත් කලින්. ඒත් ළගක් වෙනකන්ම දිලීරයක් විසින් කූඹින්ව මෙච්චර දුරට සාර්ථකව පාලනය කරන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි අදහසක් විද්‍යාඥයින්ට තිබුණෙ නැහැ. හැබැයි මෑතකදි කරපු පර්යේෂණයකින් මේ ගැන තොරතුරු ගොඩක් එළිවුණා..
මුලින්ම විද්‍යාඥයින්ට දැනගන්න අවශ්‍ය වුණේ දිලීරය විසින් ආසාදනයට ලක් කරන අවයවය මොකද්ද කියන එක. දිලීරයෙන් කූඹියාගේ මනස පාලනය කරන නිසා ආසාදනයට ලක්වෙන්නෙ මොළය කියලා විද්‍යාඥයින් පූර්ව නිගමනයකට ඇවිත් හිටියා. ඒත් මේ ගැන පර්යේෂණ කරගෙන යද්දි, කූඹියාගේ උරස, පාද ඇතුළුව ශරීරය පුරාම දිලීරයේ සෛල ව්‍යාප්ත වෙලා තියනවා බලාගන්න පුලුවන් වුණා. ඉන්පස්සෙ දිලීරය, කූඹියාගේ මොළය කොච්චර දුරට ආසාදනය කරල තියනවද කියන එක දැනගන්න විද්‍යාඥයින්ට ඕන කළා. ලේසර් ස්කෑනින් අන්වීක්ෂයක් පාවිච්චි කරලා ආසාදනය වුණ කූඹියෙක්ගෙ මොළය පරික්ෂා කරපු විද්‍යාඥයින්ට දැකගන්න පුලුවන් වුණේ කොහෙත්ම නොහිතපු දෙයක්. දිලීරය, කුඹියාගේ මොළයට අතක්වත් තියල නැහැ!

මොළය ආසාදනය නොකර කූඹියාව පාලනය කරන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න ගත්තා..ඒ නිසා කූඹියාගේ අනෙක් ප්‍රදේශවල දිලීරයේ පැතිරීම ගොඩක් ළගින් නිරීක්ෂණය කරන්න විද්‍යාඥයෝ කටයුතු කළා. මේ වෙනුවෙන් ඇල්ගොරිතමයක් ආධාරයෙන් 3D මොඩල නිර්මාණය කරන්න ඔවුන් තීරණය කළේ පර්යේෂණයට ගතවෙන කාලය අවම කරගන්න හිතාගෙන. හිතපු විදිහටම දින කිහිපයක් ඇතුළත ප්‍රතිඵල ලබාගන්න විද්‍යාඥයින්ට පුලුවන් වුණා.
සුත්‍රිකා හැඩැති වක්‍රාකාර දිලීර සෛල, අනෙක් සෛල එක්ක එකිනෙකට සම්බන්ධ වෙන්න කෙටි නාළ යොදාගෙන තියනවා කියල ඔවුන්ට නිරීක්ෂණය වුණා. ඒවායින් සමහර සෛල, කූඹියාගේ පේශී ආක්‍රමණය කරල තියනව වගේම ඒවායේ සම්පූර්ණ පාලනය දිලීරය අතට අරන් තියන විදිහ විද්‍යාඥයින්ට දැකගන්න පුලුවන් වුණා. මේ නිරීක්ෂණයන්ගෙන් තහවුරු වුණේ, දිලීරය කූඹියාගේ මනස පාලනය කරනවා වෙනුවට කරල තියෙන්නෙ පේශී පාලනයක් කියන එකයි. ඒ කියන්නේ කූඹියා තමන්ගේම ශරීරය ඇතුළෙ හිරකාරයෙක් වුණා කීවොතින් හරි.
කෝඩිසෙප්ස් දිලීරය සූක්ෂමව වගේම දක්ෂ විදිහට කූඹින්ව ගොදුරු කරගන්නෙ ඒ විදිහට.. මේ වගේ දිලීර තර්ජනයක් මිනිසුන්ටත් එල්ලවෙන්න බැරි කමක් නැහැ.. අවුරුදු සියයෙන් සියයට ආපු දරුණු වසංගත වල ඊළග අවුරුදු සියය දිලීර ආසාදනයක් බලාපොරොත්තුවෙන් ගතවෙනවා වෙන්නත් පුලුවන් :) ..තවත් ලිපියකින් හමුවෙමු!
References:
https://www.nsf.gov/news/mmg/mmg_disp.jsp?med_id=72062
https://www.journals.uchicago.edu/doi/abs/10.1086/603640?journalCode=an
https://www.tandfonline.com/doi/full/10.4161/cib.23095
https://www.cell.com/current-biology/fulltext/S0960-9822(19)31164-9