Skip to content

යථාර්ථය යනු මායාවක් ද?

" සත්‍ය ලෝකය පුරා පැතිර යාමටත් පෙර අසත්‍ය ලෝකයෙන් හරි අඩකට වඩා පැතිර යනු ඇත."

මෙම ප්‍රසිද්ධ කියමන වින්ස්ටන් චර්චිල් පැවසූ කියමනක් ලෙස බහුතරය විශ්වාස කරයි. නමුත් සැබවින්ම ඒ පිළිබඳ සොයා බැලුවොත් ඔහු එසේ පැවසූ බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නැත. නමුත් මෙම කියමන තුල යම් සත්‍යයක් ඇත. MIT ( Massachusetts Institute Of Technology ) ආයතනය විසින් සිදු කෙරූ අධ්‍යයනයක දී ඔවුන් පැවසුවේ සත්‍ය ප්‍රවෘත්තියක් පැතිර යන වේගය මෙන් හය ගුණයක වේගයකින් අසත්‍ය ප්‍රවෘත්තියක් පැතිර යෑම සිදු වන බවයි. විශේෂයෙන් ම මෙය අන්තර්ජාලය තුල බහුලව ම සිදු වන අතර ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ප්‍රතිවිපාකයක් නැතුවම ඕනෑම දෙයක් පල කිරීමේ හැකියාව ඇත. ඉතින් අප එදිනෙදා භාවිතා කරන මාධ්‍ය සත්‍යය නොවන ප්‍රවෘත්ති වලින් පිරී ඉතිරී තිබීම පුදුමයක් නොවේ.

මාධ්‍ය ආයතනයක් තමන්ගේ ප්‍රවෘත්ති මුදල් උපයා ගැනීම සඳහා යොදා ගන්නා ව්‍යාපාරික ආකෘතිය වන්නේ ඔබේ අවධානය වෙළද දැන්වීම් පළ කරන අය සඳහා විකිණීමයි. ඔබ ඔවුන්ගේ විකුණුම් භාණ්ඩය වන නිසා ඔබ එම ප්‍රවෘත්ති බැලීම, කියවීම, Click කිරීම සහ නිරන්තරයෙන් ඔබ විසින් එම ආයතන සමග රැඳී සිටිම මාධ්‍ය ආයතන වල මූලික අවශ්‍යතාවයි. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ ඉතාමත් නිවැරදි ප්‍රවෘත්ති ඔබ වෙත ලබා දීම නොව ඔබේ අවධානය තව තවත් ලබා ගනිමින් මුදල් උපයා ගැනීමයි. බය සහ කෝපය ඇති කරන ප්‍රවෘත්ති මේ සඳහා හොඳම මාර්ගය බව තේරුම් ගත් මාධ්‍යය ආයතන බය සහ කෝපය ඇති කිරීම මගින් තමන්ට අවශ්‍ය වූ අවධානය ලබා ගැනීම සිදු කරයි. ඔබ බයෙන් සහ කෝපයෙන් සිටීම ඔවුන්ට ඉතා හොඳ දෙයක් බවට පත් විය. මේ සියල්ල ඔවුන්ගේ ඉලක්කය මුදල් මත පදනම් වූ විටයි.

නමුත් එයින් එහා ගොස් බලවත් මාධ්‍ය විසින් තමන්ට අවශ්‍ය කතිකාවතක් හෝ තමන්ට අවශ්‍ය තත්වයක් නිර්මාණය කිරීම සඳහා අසත්‍ය ප්‍රවෘත්ති යොදා ගෙන සිතා මතා අපව එකිනෙකට විරුද්ධ කිරීම සඳහා යොදා ගන්නවා නම්?

නැති නම් රටවල් වල ඡන්ද සඳහා බලපෑම් එල්ල කිරීමට අසත්‍ය ප්‍රවෘත්ති යොදා ගන්නවා නම්?

මේ ආකාරයට මිනිසුන් තමාට ඕනෑ ආකාරයට හැසිරවීම මගින් සල්ලි සහ බලය ලැබීම සිදු වන නිසා අසත්‍ය ප්‍රවෘත්ති සමාජය පුරා පැතිර යාම පුදුමයට කාරණයක් නොවේ. මෙම අසත්‍ය ප්‍රවෘත්ති කාලයත් සමග අසත්‍යයක් කියා තහවුරු වුනත් එයින් වීමට ඇති හානිය සිදු වී අවසන්‍ ය. මොකද අසත්‍ය ප්‍රවෘත්ති මෙන් සත්‍ය මිනිසුන්ගේ සිත් ඇද ගන්නා සුළු නොවන නිසා සත්‍ය එතරම් විශාල ලෙස පැතිර නො යෑම හේතුවෙන් ඒ වන විටත් බොහෝ මිනිසුන් අසත්‍ය ප්‍රවෘත්ති කියවා ඒවා විශ්වාස කිරීම සිදු කර ඇති නිසා ය.

අපි ප්‍රධාන මාධ්‍යයේ ප්‍රවෘත්ති ගත්තොත් එතන ඇත්තේ මීටත් වඩා භයානක මීටත් වඩා අප සිතිය යුතු දෙයකි.

අර්ධ සත්‍ය ( Half Truths ) යනු යම් සත්‍යයක් ඇති නමුත් සම්පූර්ණ සත්‍ය නොවන හෝ සම්පූර්ණ කතාවම නොවන ප්‍රකාශ වේ. උදාහරණයක් ලෙස කෙනෙකු බීමතින් වාහනයක් පදවන විට පොලිසියෙන් නතර කරයි. එවිට ඔහු පොලිස් නිලධාරියා ට පවසන්නේ තමා එක බියර් එකක් පමණක් පානය කරා කියා ය. එය සත්‍යයකි. නමුත් ඔහු එම බියර් එකත් සමග පානය කෙරූ වයින් බෝතලය ගැන සඳහන් කරන්නේ නැත.

මාධ්‍ය විසින් ඔවුන් අපහසුතාවට පත් වන ආකාරයටත් ඔබට විශ්වාස කල හැකි ආකාරයටත් අර්ධ සත්‍ය යොදා ගැනීම සිදු කරයි. නමුත් ඔවුන්ට අවශ්‍ය අදහස පෙන්වීම සඳහා එහි ඇති සමහරක් දේ සූක්ෂම ආකාරයට ඉවත් කරමින් ඔබට විශ්වාස කල හැකි ආකාරයට යථාර්ථය වෙනස් කරයි. මෙන්න මේ නිසා තමයි ප්‍රවෘත්ති ආයතන දෙකක් එක ම කාරණය පිළිබඳ ආකාර දෙකකින් තමාගේ ප්‍රවෘත්ති විකාශනය කිරීම සිදු කරන්නේ. ඔබ සෑම විටම දකින්නේ ඉතා පරිස්සමින් ගොඩ නැගූ ඔවුන් විසින් ඔබ දැකිය යුතු යැයි තීරණය කෙරූ කොටසකි. නැතුව සියලු විස්තර සහිත සම්පූර්ණ චිත්‍රය ඔබ විසින් දකින්නේ නැත.

සමහරක් ජාත්‍යන්තර මාධ්‍ය මෙන් ම ශ්‍රී ලංකාවේ ද සමහරක් මාධ්‍ය ආයතන ද දේශපාලනික පක්ෂ සහ මතවාද කෙරෙහි පැහැදිලිව පක්ෂග්‍රාහී භාවයක් පෙන්වන බව නොරහසකි. සැබෑ ප්‍රශ්නය වන්නේ ඕනෑම කතිකාවතකට ගැළපෙන පරිදි අර්ධ සත්‍ය ගොඩ නැගීමට හැකි අනන්ත වූ තොරතුරු ප්‍රමාණයක් එළියේ ඇති නිසා එම තොරතුරු යොදා ගෙන සැකසූ අර්ධ සත්‍යය සමාජයේ සෑම තැනකම පැතිර ගොස් ඇති නිසා එය මග හැර යාමට නො හැකි වීමයි. එම නිසා වාර්තා කල යුත්තේ කුමක් ද? යොදා ගත යුත්තේ කුමන සංඛ්‍යාලේඛන සහ තොරතුර ද? යන තීරණය මනුෂ්‍යයෙකු විසින් කිරීම නිසා සෑම විටම පක්ෂග්‍රාහී වීම දැක ගත හැකි ය. ඡායාරූප සහ වීඩියෝ පට ද පහසුවෙන් සංස්කරණය කිරීමට සහ එහි අන්තර්ගතය වෙනස් කිරීමට හැකි නිසා ඒවා ද කෙනෙකු විසින් නිර්මාණය කරන ඕනෑම කතිකාවතක් සඳහා යොදා ගැනීමේ හැකියාව ඇත. හරියට කෙනෙකු විසින් හදවතට එකගව සිදු කෙරූ විහිළුවක් තවත් කෙනෙකු අපහසුතාවට පත් කිරීමට යොදා ගන්නවා මෙන්.

මෙය ප්‍රවෘත්ති ආයතන සඳහා පමණක් වලංගු වන දෙයක් නොවේ.

අද වන විට ඩිස්නි, නිව්ස්කෝප් සහ කොම්කාස්ට් ඇතුළු ආයතන හයක් විසින් ලෝකයේ ඇති මාධ්‍ය ආයතන වලින් බහුතරයක අයිතිකාරත්වය හිමි කර ගෙන ඇත. ඉතින් ඉතා කුඩා නමුත් බොහෝ බලවත් පිරිසක් විසින් අප දැකිය යුත්තේ කුමක් ද? අප දැකිය යුතු නැත්තේ කුමක් ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇතුව තමන්ගේ න්‍යාය පත්‍රයට ගැළපෙන තොරතුරු යොදා ගනිමින් මාධ්‍යය පාලනය කිරීම සිදු කරයි. අප විසින් භාවිතා කරන මාධ්‍ය පාලනය යනු අපි සිතන ආකාරය, අපි ඡන්දය ලබා දෙන ආකාරය, අපි ක්‍රියා කරන ආකාරය සහ අපට හැඟෙන ආකාරය පාලනය කිරීම සඳහා යොදා ගත හැකි හොඳම අවියයි.

හරියට Inception චිත්‍රපටයේ කියන පරිදි,

" ඔබට නො දැනෙන පරිදි ඔබගේ මනස තුල අදහසක් පැල කිරීමේ හැකියාව ඇත. එම අදහස වෛරස් එකක් මෙන් ඔබගේ මනස තුල පැතිර යනු ඇත. "

ඔබ ඇත්තටම අවංක වුනොත් පිළි ගැනීමට සිදු වන එක කාරණයක් ඇත. ඒ කාරණාව නම් අපි හොඳට ම දන්නවා විවිධ න්‍යාය පත්‍ර වලට අනුව අසත්‍ය ප්‍රවෘත්ති සහ අර්ධ සත්‍ය ලෝකය පුරා ඇති බවයි. නමුත් ඔබ සිතන්නේ ඔබ ඒ කිසිවකට රැවටෙන්නේ නැත කියා ය. ඔබ සිතන්නේ ඔය රාමුවෙන් එළියෙහි ඇති පක්ෂග්‍රාහී නොවන මූලාශ්‍ර වලින් ඔබ තොරතුරු ලබා ගන්නවා කියා ය. නමුත් යථාර්ථය එය නොවේ. ඉතාමත් අවංක සියලු පාර්ශව හට සාධාරණයක් ලබා දෙමින් කටයුතු කරන මාධ්‍යවේදීන් පවා පක්ෂග්‍රාහී වන දෙයක් ඇත. ඒ තමාගේ යටි සිතයි. ඔවුන්ගේ ලෝකය දකින ආකාරය අනුව ඔවුන් ඔබට කියන සහ ඔවුන් එය පෙන්වන ආකාරය යටි සිතේ බලපෑමට නිරන්තරයෙන් යටත් වීම ට සිදු වේ.

අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති සැපයීම අරමුණ කර ගත් වෙබ් අඩවි වලටත් මෙය මේ ආකාරයෙන් ම අදාළ වෙයි. අවිඥාණිකව ඔවුන් සිදු කරන්නේ තමන්ට වැදගත් යැයි හැඟෙන ගැටලු සඳහා අවධානය ලබා දෙමින් ඔවුන් එකග නොවන අදහස් සහ දැකීම් සඳහා අඩු අවධානයක් ලබා දෙමින් ඉදිරිපත් කිරීමයි. ඔබට තොරතුරු ලැබෙන අවස්ථාවේ දී එම තොරතුර යටි සිතට පක්ෂග්‍රාහී වූ මූලාශ්‍ර කිහිපයක් තුලින් පැමිණ ඇති වීම නිසා එහි යම් පමණක් හෝ වෙනස්කමකට ලක් වීම නතර කිරීමට හැකියාවක් නැත.

යටි සිතට පක්ෂග්‍රාහී වීම මෙන් ම තමා විශ්වාස කරන අදහස් තහවුරු කිරීම සඳහා ඇති අවශ්‍යතාව මත ද පක්ෂග්‍රාහී වීම සිදු වේ. මෙය චේතනාවෙන් මෙන් ම චේතනාවක් නැතුව ද සිදු වේ. අපට අවශ්‍ය වන්නේ අප ලෝකය දකින ආකාරය තේරුම් ගැනීමට ය. ඉතින් අප ලෝකය දකින ආකාරය සමග නොගැළපෙන තොරතුරු ඉවත් කර ගැළපෙන තොරතුරු පමණක් සහජයෙන් ම විශ්වාස කිරීම සිදු වෙයි. මෙම මනෝ විද්‍යාත්මක කාරණය නිසා තොරතුරෙහි සත්‍යය බව කෙරෙහි අවධානය යොමු කිරීමට වඩා අප නිවැරදි බව ඔප්පු කිරීම කෙරෙහි අවධානය නිරතුරුව ම යොමු වේ. මෙය මෙම කාරණාව පිළිබඳ ලියන මා අතින් ද සිදු වීම ට හැකි දෙයකි. එකම තොරතුරක් පිළිබඳ පුද්ගලයින් දෙදෙනෙක් ආකාර දෙකකට තමන් විශ්වාස කරන අදහස සමග ගළපා ආකාර දෙකකින් ඉදිරිපත් කිරීම සිදු කරන්නේ ද මේ හේතුව නිසා ය.

උදාහරණයක් ලෙස විශාල වෙඩි තබා ගැනීමක් පිළිබඳ පුද්ගලයන් දෙදෙනෙකු තමන්ගේ අදහස් සමග ගළපා ගන්නා ආකාරය ගත හැකි ය. ආයුධ භාවිතාව සීමා කල යුතු යැයි විශ්වාස කරන පුද්ගලයා ඔහුගේ අදහස නිවැරදි බව ඔප්පු කිරීම සඳහා මෙම සිදුවීම යොදා ගන්නා අතර සාමාන්‍ය වැසියන් ආරක්ෂාව සඳහා ආයුධ ලග තබා ගැනීම අවශ්‍ය යැයි විශ්වාස කරන පුද්ගලයා ඔහුගේ අදහස නිවැරදි බව ඔප්පු කිරීම සඳහා මෙම සිදුවීම යොදා ගනියි.

මේ කාරණා පිළිබඳ සිතා බැලීමේ දී මෙය පුදුම සහගත දෙයක් නොවේ. නමුත් පුදුම සහගත දෙය වන්නේ අප දකින ලෝකයේ සත්‍යය වෙනස් කිරීම සඳහා විශාල ලෙස යොදා ගන්නා මේ කිසිවක් ගැන අප කිසිදු අවධානයක් යොමු නො කිරීමයි.

සත්‍යය කුමක් ද යන්න ඔබට විසඳා ගැනීම තව තවත් අමාරු කර වන දෙයක් මේ සමග කරළියට පැමිණීම සිදු විය. මාධ්‍ය සමූහ ව්‍යාපාර මෙන් ම සමාජ මාධ්‍ය ජාල ද ඔවුන්ගේ ලාභය උපයා ගන්නේ ඔබ එය ඇතුළට ඇද ගැනීමෙනි. ඔබ තව තවත් එයට ඇබ්බැහි වන තරමට සමාජ මාධ්‍යය සඳහා වඩා හොඳය. සමාජ මාධ්‍ය විසින් මනුෂ්‍ය දුර්වලතා ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ මේ වන විටත් ඉතා ප්‍රසිද්ධ කරුණකි. ඔවුන් ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කර ඇත. ඔවුන් ඉවරයක් නැති Scroll effect නිර්මාණය කරපු ආකාරය, Dopamine වල බලපෑම යොදා ගන්නා ආකාරය මෙන් ම Algorithm යොදා ගනිමින් ඔබ එම ජාල වල රඳවා තබා ගන්නා ආකාරය ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත.

මාධ්‍ය මෙන් ම සමාජ ජාල ද ඔබේ සිතේ අවධානය ඇවිස්සිය හැකි දේවල් යොදා ගනිමින් ඔබ ඔවුන් කෙරෙහි වශී කර ගෙන සිටි. විශ්වසනීය බව තහවුරු කිරීම සඳහා තම අවධානය මෙම Algorithm විසින් යොමු නො කරයි. මෙය මගින් මිනිසුන් අතර ඇති විශාල බෙදී යෑම තව තවත් වර්ධනය වීම සිදු වෙයි. මිනිසුන්ගේ විශ්වාස මත පදනම් වූ පුද්ගලයාගෙන් පුද්ගලයාට එකිනෙකට වෙනස්  Feed සමාජ ජාල වලින් ලබා දෙන්නේ ඔබේ අදහස් සමග සමාන වන ලිපි පමණක් පෙන්වමින් ඔබේ සිත දෝංකාර දෙන කුටියක හිර කර තබමින් ය.

ඔබ Click කරන, ඔබ කියවන, ඔබ දකින සියලු දේ ලුහුබැඳීම මගින් මෙම Algorithm ඔබ තවත් වෙලා සමාජ ජාල වල රඳවා ගන්නා ආකාරය ඉතා ඉක්මනින් ඉගෙන ගැනීම සිදු කරයි. මෙය නිසා ඔබට නො දැනීම ඔබ විසින් විශ්වාස කරන ඔබේ අදහස් වල ඔබේ සිත මුල් බැස ගැනීම සිදු වෙයි. මෙම ක්‍රියාවලිය නිසා ඔබ මෙසේ සිතීම ආරම්භ කරයි.

" ඇයි අනිත් අය මෙතරම් මෝඩ? මම දකින තොරතුරු ඔවුන් දකින්නේ නැති ද? ඔවුන්ට මේ සිදු වන දේවල් තේරුම් ගන්න බැරි ද? "

නමුත් සාමාන්‍යයෙන් සියලු දෙනා ඔබ සමාජ මාධ්‍යවල දකින සියලු තොරතුරු දකින්නේ නැත. ඔවුන් දකින්නේ ඔවුන්ගේ Algorithm විසින් සැකසූ ඔවුන්ට ම ආවේණික Feed එකකි.

ඔබට අනෙක් කෙනා දකින පැත්ත නො දකින තෙක් අනෙකා කෙරෙහි සංවේදීතාවක් ඇති වන්නේ නැත. එම නිසා සාමාන්‍ය මිනිසුන්ට වඩා ඔබ බුද්ධිමත් කියා සිතීම ඔබටත් නො දැනීම ඔබේ සිත තුල ඇති වේ. ඒ වගේ ම ඔබ සිටින්නේ බුද්ධිමත් පාර්ශවයේ සහ ඔබ සමග එකග නොවන පුද්ගලයින් මෝඩයන් වෙන්න ඕනෙ කියා සිතීම ඉතා පහසු දෙයකි. නමුත් සිදු වන්නේ සියලු දෙනා විසින් එක ම මාධ්‍යය පරිශීලනය නො කර විවිධ මාධ්‍යය පරිශීලනය කිරීම නිසා අපි කිසිවකු විසින් සම්පූර්ණ චිත්‍රය දකින්නේ නැති වීම ය.

අප ජීවත් වන්නේ තොරතුරු අංශ 280 කට පමණ බෙදා ඇති යුගයක ය. මිනිසුන් බහුතරය අතිශයෝක්තියකින් යුතු සිරස්තල පමණක් කියවීම සිදු කරයි. මේ සියලු දේ ට මාධ්‍ය වල වැරැද්ද කියා ඇඟිල්ල දික් කිරීම ඉතා පහසු දෙයකි. නමුත් අප සියලු දෙනා මේ සඳහා වගකිය යුතු ය. අසත්‍ය ප්‍රවෘත්ති සමාජ මාධ්‍යය තුල පැතිර යාමට ප්‍රධාන හේතුව වන්නේ අපි ඒවා Share කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ ප්‍රශ්න නො කිරීම නිසා ය. එම තොරතුරු අපේ දැකීම සමග ගැළපෙනවා නම් අපි ඒවා ප්‍රශ්න කරන්නේ ඉතා කලාතුරකිනි.

අපි සියලු දේ මාන දෙකකට සරල කිරීමට පුරුදු වී ඇත. දේවල් හොඳ නරක එහෙමත් නැති නම් කළු සුදු ලෙස දැකීම මත අපි සියලු දේ තීරණය කරයි. එම නිසා අපට විරුද්ධ මතයක් ඇති මිනිසුන් පහළට ඇද දැමීමට සහ ඔවුන් කෙරෙහි අවධානයක් යොමු නො කිරීම සිදු කරයි. නමුත් අප එලෙස තීරණය කිරීමට පෙර කල යුත්තේ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ කතාව තේරුම් ගැනීමට උත්සහ කිරීම නොවේ ද?

මෙම සමාජ මාධ්‍ය වල ව්‍යාජ බව අපි තවත් ඉදිරියට ගෙන යන්නේ අපේ ජීවිත අපට අවශ්‍ය ආකාරයට ෆැන්ටසි ලෝකයක් ගොඩ නගා ගෙන සමාජ මාධ්‍යය තුලින් ලෝකයට පෙන්වීමට උත්සහ කිරීම නිසා ය. Filter කෙරූ ඡායාරූප, ව්‍යාජ මිතුරන් ආදී නොයෙකුත් ව්‍යාජ දේවල් වලින් අපි අපේ සමාජ මාධ්‍යය පුරවා ගෙන ඇත. අවසානයේ දී සිදු වන්නේ සියලු දෙනා එකිනෙකට සම්බන්ධ කරනවා යැයි පොරොන්දුව දුන් සමාජ මාධ්‍යය ජාල නිසා අපි තව තවත් සැබෑ ලෝකයෙන් දුරස් වීම ය. මෙම සංකල්පය මනා ලෙස භාවිතා කරමින් සමහරක් ව්‍යාජ මිනිසුන් ( Some of Influencers ) ඔවුන් අංග සම්පූර්ණ ජීවිතයක් ගෙන යන බව පෙන්වමින් මුදල් ඉපයීම සඳහා ඔවුන් නිර්දේශ කරන නිෂ්පාදන මිල දී ගැනීමට ඔබ පොලඹවා ගනී.

මේ සියල්ල පිළිබඳ ගැඹුරින් සොයා බැලීම ආරම්භ කෙරුවොත් අප ජීවත් වෙන ලෝකයේ ඇති මායාව කඩා වැටීම ආරම්භ වීම සිදු වෙයි. සැබැවින් ම යථාර්ථය යනු කුමක් ද කියා ප්‍රශ්න කිරීමෙන් මේ සියල්ල ලිහා ගැනීම ආරම්භ කල හැකි ය. එවිට ඔබට ඇති වෙන ප්‍රශ්නයක් ඇත. අප විශ්වාස කල යුත්තේ කුමක් ද?

වාර්තා චිත්‍රපට ( Documentaries ) විශ්වාස කල හැකි ද?

වාර්තා චිත්‍රපට යන යෙදුමේ නිර්වචනය වන්නේ යම් විෂයයක් පිළිබඳ සත්‍ය වාර්තාවක් සැපයීම යන්න ය. මෑත කාලීන ප්‍රසිද්ධ වාර්තා චිත්‍රපට වලට අවධානය යොමු කෙරුවොත් අපට දැකිය හැක්කේ බහුතරයක් නිර්මාණය කර ඇත්තේ දසුන් වාර ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා සත්‍යය රාශියක් අතරට සුළු ප්‍රමාණයකින් හෝ අර්ධ සත්‍යය ඇතුළත් කර නිර්මාණය කෙරූ වැඩසටහන් වලින් පිරී ඇති බව ය.

එසේ නම් සංඛ්‍යාලේඛන?

අප විශ්වාස කරන්නේ සංඛ්‍යාලේඛන යනු නිවැරදි කරුණු වලින් නිර්මාණය කර ඇති බව ය. නමුත් ඇත්ත වශයෙන් ම සංඛ්‍යාලේඛන තමන්ගේ න්‍යාය පත්‍රයට ගැළපෙන පරිදි අඹරා තමන්ට අවශ්‍ය ආකාරයට යොදා ගැනීම අද ලෝකයේ බහුලව සිදු කරයි. උදාහරණයක් ලෝකයේ දරු උපතක් සඳහා සුදුසු ම මහද්වීපය ලෙස සංඛ්‍යාලේඛන වලට අනුව තහවුරු කර ඇත්තේ ඇන්ටාටිකාවයි. දත්ත සටහන් අනුව එහි දරු උපත් මරණ සියයට 0 ලෙස දක්වයි. නමුත් එම සංඛ්‍යාලේඛන තමන්ගේ න්‍යාය පත්‍රයට යොදා ගන්නා අය ඔබට නො පවසන කාරණය වන්නේ එහි සිදු වී ඇති සමස්ත දරු උපත් ගණන 11 වැනි සුලු ප්‍රමාණයක් බව යන කාරණයයි.

නැති නම් අධ්‍යයන වාර්තා අපට විශ්වාස කල හැකි ද?

ඔබ අධ්‍යයන වාර්තාවක් කියවා තිබේ ද? එසේ කියවා තිබේ නම් ඔබ එම අධ්‍යයනය කිරීම සඳහා යොදා ගත් නියැදි පිළිබඳ එසේත් නැති නම් ඒ අධ්‍යයන වාර්තා සඳහා මුදල් සැපයූ පුද්ගලයින් හෝ ආයතන ගැන සොයා බලා තිබේ ද? එසේ නැති නම් මෙම අධ්‍යයන වාර්තා වලින් ලැබෙන ප්‍රයෝජන කෙරෙහි උනන්දු වන පුද්ගලයින් ගැන සොයා බලා තිබේ ද? නැති නම් ඔබත් මූලාශ්‍ර විසින් අධ්‍යයන වාර්තා පල කෙරූ පසු ඒවා Share පමණක් සිදු කරන කෙනෙක් ද? ඔබට වෙලාවක් තිබේ නම් ස්ටැන්ෆෝඩ් සිරගෙය පිළිබඳ කෙරූ අධ්‍යයනය ගැන සොයා බලන්න.

මේ කිසිවක් සියයට සියයක් සත්‍යය ලෙස විශ්වාස කිරීමට නො හැකි කියා ඔබට වැටහෙන විට සියලු දේ පිළිබඳ ප්‍රශ්න කිරීමට ඔබට සිදු වනු ඇත.

ප්‍රසිද්ධ කියමන්? බහුතරය ඉතා කුඩා ප්‍රසිද්ධ පුද්ගලයින් පිරිසක් සමග වැරදි ආකාරයෙන් ගලපා ඇත.

සමාලෝචන? ගණන් බලා ඇති ආකාරයකට භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන විකුණා ගැනීම සඳහා ව්‍යාජ ලෙස සකසා ඇත.

යූ ටියුබ්? සෙවුම් යෙදවුම ( Search Engine ) වැඩ කරන ආකාරය අවබෝධ කර ගත් අය ඉහළින් ම සිටින අතර නිවැරදි තොරතුරු සපයන අය පහළින් ම සිටි.

විකිපීඩියා? ඕනෑම කෙනෙකුට සංස්කරණය කිරීමට හැකියාව ඇත.

මුදල්? අපි සියලු දෙනා මේ කොල මේ අංක වටිනාකමක් නොවන දෙයක් බවට විශ්වාස කෙරුවොත් මුදල් යනු වලංගු නොවන දෙයක් බවට පත් වනු ඇත.

අපගේ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය? මම ඔබට දෙයක් පැවසූ විට ඔබ එය ඔබට සාපේක්ෂව වෙනස් ආකාරයකින් විඳීමට හැකි ය.

අපගේ තීරණ? හැඟීම් සහ ඇතුළතින් ඇති පක්ෂග්‍රාහිතාව මත තීරණය වේ.

අපගේ හැඟීම්? නිරන්තරයෙන් මාධ්‍ය සහ වෙළද ප්‍රචාරකයින් විසින් හැසිරවීම සිදු කරයි.

එතකොට අපගේ යථාර්ථය?

ලෝකය පුරා ආගම් 4000 ට වැඩි ප්‍රමාණයක් තිබේ. සුළු පිරිසක් හැරුණ කොට බහුතරය තමන් ඉපදුණ ආගම අනුගමනය කරමින් විශ්වාස කරමින් ජීවත් වෙයි. ඔවුන් වෙනත් ස්ථානයක වෙනත් දෙමව්පියන් හට ඉපදුණේ නම් ඔවුන් වෙනත් ආගමක් අනුගමනය කරමින් විශ්වාස කරමින් ජීවත් වීම සිදු කරයි. ලෝකයේ සියලු ආගම් වලට පදනම වැටී තිබෙන්නේ කවුරුන් හෝ ලබා දුන් තොරතුරු මත ය. අප හට කුඩා කල සිට ලබා දුන් තොරතුරු මත සහ විවිධ අත්දැකීම් පදනම් කර ගෙන අප විසින් මේ යථාර්ථය ගොඩ නගා ගෙන ඇත. තවත් වචනයකින් කියනවා නම් අපි අප විසින් ම ගොඩ නගා ගත් අර්ධ සත්‍යය කෙරෙහි අවධානය යොමු කරමින් අපගේ සම්පූර්ණ යථාර්ථය ගොඩ නගා ගෙන තිබෙන බව ය.

විද්‍යාව යනු නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් අලුතින් ලබා ගන්නා සාක්ෂි මත පෙර නිවැරදි මත යැයි සිතා ගෙන සිටි මත වැරදි ලෙස පිළි ගනිමින් ඉදිරියට යන විශිෂ්ට පරීක්ෂණ ක්‍රමයක් බව කවුරුත් දන්නා දෙයකි. අපි කොහොමද දන්නේ අපේ ලෝකය ගැන දැන් අප විශ්වාස කරන මතය නිවැරදි එකක් නොවන බවට අනාගතයේ තහවුරු වේ ද යන්න? විදුලියෙන් ධාවනය වන කාර්, මොළය සඳහා පරිපථ සහ නැවත ගමන් කිරීමට හැකි අභ්‍යවකාශ යානා නිර්මාණය කෙරූ ලොව බුද්ධිමත් ම මිනිසා යැයි බහුතරය විශ්වාස කරන ඊලෝන් මස්ක් පවා පවසන්නේ අප ජීවත් වන ලෝකය යථාර්ථයක් ලෙස පිළි ගැනීමට හැකි අවස්ථාව ඇත්තේ බිලියනයකින් එකක් පමණ බව ය. තවත් වචනයකින් පවසනවා නම් ඔහු යෝජනා කරන්නේ අප ජීවත් වන්නේ කුමන හෝ ආකාරයක Simulation එකක් ඇතුළත යන කාරණය සත්‍යයක් වීමට ඇති හැකියාව ඉතා වැඩි බව ය. පරිගණක ක්‍රීඩා මෑත අවුරුදු 50 ඇතුළත දියුණු වූ ආකාරයත්, අතත්‍ය යථාර්ථ ( Virtual Reality ) යොදා ගනිමින් ඔහු එම කරුණ පැහැදිලිව පෙන්වා දෙයි.

මේවා විශ්වාස කිරීමට නො හැකි කියා ඔබට සිතෙනවා ද?

මහා පිපිරුම් වාදය, දෙවියන් විසින් මවන ලද ලෝකය, බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බ්‍රහ්මයින්ගෙන් ඇති වූ ජීවියන් හෝ ඔබ ලෝකය ගැන විශ්වාස කරන අනිත් ඕනෑම විශ්වාස මෙන් මෙයත් විශ්වාස කිරීමට අමාරු ද?

ඔබ සිහිනයක් දකින විට එය ඇත්තක් ලෙස දැනෙනවා නේද?

නමුත් ඔබ අවදි වූ පසු එය හීනයක් බවට ඔබට වැටහෙනවා නේද?

ඉතින් එම සිහිනය තුල ඔබේ පංචේන්ද්‍රියින් ඔබ රැවටුවා මෙන් දැනුත් එම පංචේන්ද්‍රියන් ඔබව රවටන්නේ නැති ද කියා ඔබ විශ්වාස කරන්නේ කෙසේ ද?

ඔබ යථාර්ථය කියා සිතාගෙන සිටින දෙය සිහිනයක් වීමට හැකියාවක් නැති ද?

එසේ නම් ඒ සිහිනයක් වූ යථාර්ථය තුල තීරණ ගැනීමට ඇති හැකියාව යනු මායාවක් ද?

එම මායාව යොදා ගෙන දේශපාලකයන් සහ මාධ්‍ය යොදා ගෙන කවුරුන් හෝ මේ යථාර්ථය තුල අපව හසුරනවා විය නො හැකි ද?

මේ යථාර්ථය තුල අප විසින් කරන කිසිවක අවසානයේ අර්ථයක් තිබේ ද?

එසේ නම් මේ සත්‍යය යැයි සිතා ගෙන සිටින යථාර්ථය අත හැර දැමීමෙන් ලැබෙන මේ මොහොත තුල ඕනෑම කෙනෙකු හට විදීමට හැකි නිවීම මේ සියලු දේ ට වඩා වටිනවා ද?

Latest