Skip to content

අයිපීඑල් වාර්තා අලුත් කළ යසස්වි ජයිස්වාල්ගේ ඉනිම!

2023 අයිපීඑල් තරගාවලියේ හොඳම සොයැගැනීම ලෙස සැලකිය හැකි තරුණ වමත් පිතිකරු යසස්වි ජයිස්වාල් ඊයේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 47 කදි නෙදැවී වාර්තා කළ ලකුණු 98 සමග අයිපීඑල් වාර්තා තුනක්ම සිය නම ඉදිරියෙන් සටහන් කරගැන්මට සමත් විය.

2023 අයිපීඑල් තරගාවලියේ 56 වැනි තරගය ඊයේ කොල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදි පැවැත් වූයේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ සත්කාරක කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරය. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායමට නියමිත පන්දවාර විස්ස ඇතුළත කඩුළු අටක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 148ක් පමණි.

පිළිතුරු ඉනිම ඇරඹූ යසස්වි ජයිස්වාල් කොල්කටා පන්දු යවන්නන් අන්දමන්ද කරමින් රාජස්ථාන් ඉනිමේ පළමු පන්දුවේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළේ තරගයේ පාලනය මුලුමනින්ම රාජස්ථාන් පිල වෙත ලබාගනිමින්ය. අවසානයේ රාජස්ථාන් පිල කොල්කටා ඉලක්කය හඹා යන්නේ තවත් පන්දුවාර 6 යි පන්දු පහක් ඉතිරිව තිබියදීය.

නිතිෂ් රානා විසින් යවන ලද රාජස්ථාන් ඉනිමේ පළමු පන්දුවාරයේ දි පස්වතාවක්ම පන්දුව හතරේ සීමාවෙන් එළියට යොමු කිරීමට සමත් වූ ජයිස්වාල් ඉනිම, අයිපීඑල් තරගාවලියේ වාර්තා තුනක් ම බිඳ දැමීමට හේතු විය.

ජයිස්වාල්ගේ නම ඉදිරියේ සටහන් වූ අයිපීඑල් වාර්තා

3 අයිපීඑල් ඉනිමක පළමු පන්දුවාරයේ පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව

ඉනිමේ පළමු පන්දුවේ සිටම ප්‍රවේගකාරි ප්‍රවේශයක් ලබාගත් ජයිස්වාල් කොල්කටා නායක නිතිෂ් රානා යැවූ  පළමු පන්දුවාරය ආරම්භ කලේ හයේ පහරක් එල්ල කරමිනි. පන්දු යවන්නකු ලෙස නම්දරා නැති රානා පන්දු යැවීම ඇරඹීම තරමක මතභේදාත්මක කාරණයක් වූ නමුත් කොල්කටා සැලසුම් කුමක් වුවත් ඒ සියල්ල ආපස්සට හැරවීමට ජයිස්වාල්ගේ පිතිහරඹයට හැකි විණි.

පන්දු වාරයේ දෙවැනි පන්දුවත් හතරේ සීමාවට ඉහලින් යොමු කළ ජයිස්වාල් ඉතිරි පන්දු හතරේදි හතරේ පහර තුනක් සහ ලකුණු දෙකක් සමග සමස්ත පන්දු වාරයෙදි වාර්තා කළ ලකුණු ගණන 26කි. ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව දිල්ලි කැපිටල්ස් පිතිකරු ප්‍රිත්වි ෂෝ 2021 වසරෙදි කොල්කටා නයිට් රයිඩර්ස් ආරම්භක පන්දු යවන්නා වූ ෂිවම් මාවිට එරෙහිව පළමු පන්දුවාරයෙදි ලකුණු 24ක් ලබා ගනිමින් තබා තිබූ අයිපීඑල් තරගයක ආරම්භක පන්දුවාරයෙදි තනි පිතිකරුවක ලබාගත් වැඩිම ලකුණු වාර්තාව ජයිස්වාල් තමා සතු කරගන්නේය.

2 ඉන්දීය ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකළ ඉන්දීය ක්‍රීඩකයකු අයිපීඑල් තරගවාරයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව

2020 වසරේ පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දි ලකුණු 400ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කී ජයිස්වාල් මුල සිටම පිතිකරුවකු ලෙස තමන්ගේ හැකියාව ගැන සහතිකයක් ලබා දීමට සමත් විය.

දැනට 21වැනි වියේ පසුවන ජයිස්වාල් 2023 අයිපීඑල් තරගාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත්වෙමින් මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම දොළහේදි ඉනිම සාමාන්‍ය ලකුණු අගය 52ක රඳවාගෙන වාර්තා කරණ මුළු ලකුණු ගණන 575කි. ඒ පන්දු සියයට ලකුණු 167.15ක දළ ලකුණු වේගයක් සමගිනි.

ඊයේ තරගයේ ලකුණු 98ක් දක්වා යන අතරතුර 2020 අයිපීඑල් තරගාවලියේදි මුම්බයි ඉන්දියන් ක්‍රීඩක ඉෂන් කිසන් විසින් ලකුණු 516ක් ලබා තඉා තිබූ, ඉන්දීය ජාතික කණ්ඩායම් වර්ණ දිනාගැනීමට පෙර පිතිකරුවකු අයිපීඑල් තරගාවලියක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද ජයිස්වාල්ගේ නම ඉදිරියෙන් සටහන් වන්නේය.

1 වේගවත්ම අයිපීඑල් අර්ධ ශතකය

පළමු පන්දුවාරයේදිම ලබාගත් ලකුණු 26සමගින් ජයිස්වාල්ට සිය අර්ධ ශතකය වාර්තා කිරීමට වැය වන්නේ පන්දු 13ක් පමණි. හයේ පහර තුනක් සහ හතරේ පහර 7ක් සමගින් අර්ධ ශතකය වෙත යන ජයිස්වාල් අතින් බිඳ වැටෙන්නේ පන්දු 14කින් අර්ධ ශතකය වාර්තා කළ කේ.එල්.රාහුල් සහ පැට් කමින්ස් සතුව තිබූ අයිපීඑල් වාර්තාවය.

ජයිස්වාල්ගේ පන්දු 13ක අර්ධ ශතකය විස්සයි විස්ස තරග ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ද වන්නේය. ජයිස්වාල්ට අමතරව මාක් ට්‍රෙස්කොතික් සහ සුනිල් නරායින් ද පන්දු 13කදි විස්සයි විස්ස අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත්ව ඇත.

වේගවත්ම අර්ධ ශතකය පන්දු 12කින් වාර්තා වන අතර, ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් යුවරාජ් සින්ග්, මෙල්බර්න් රෙනග්‍රේඩ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල්, කාබුල් ස්වොනන් කණ්ඩායම වෙනුවෙන් හෂ්රතුල්ලා ෂෂායි වේගවත්ම අර්ධ ශතකයේ සම හිමිකරුවන්ය

Latest