Skip to content

යාපනයේ ඩෙල්ෆ් දූපතේ පස් පුද්ගල ඝාතනයේ ඝාතකයින් සෙයාන්න විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක්.

(රොමේෂ් මධුෂංක අමරසිංහ )

යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීවු ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සිටි නිවැසියන් 05 දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තවත් අයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක් මේ වන විට විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයිද ඩෙල්ෆ් පොලීසිය පවසයි.

මිය ගිය අයගේ මළසිරුරු රැගෙන යන ආකාරය.

නෙඩුන්තීවු ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල පුද්ගල මළ සිරුරු ඇති බවට ඩෙල්ෆ් පොලීසියට ඊයේ (22) දින ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකරන ලද සෝදිසියකදී මළසිරුරු 05 ක් සමග බරපතල තුවාල ලැබූ වයෝවෘද්ද කාන්තාවක් සොයාගනු ලැබීය.

අසල්වැසියෙකු විසින් මිය ගිය අයෙකුට දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් එම අය නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවස තුල සිදුව ඇති මෙම ඝාතනයන් දැක ඒ බව පොලීසියට අසල්වාසීන් විසින් දැනුම් දී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් නිවසේ හිමිකාරිය සහ ඇගේ සහෝදරියන් දෙදෙනාද, නිවෙස් හිමිකාරියගේ ස්වාමි පුරුෂයා සහ තවත් ඥාති පුද්ගලයෙකු බවට පොලීසිය විසින් හඳුනාගනු ලැබීය.

එමෙන්ම අදාල ඝාතනයන් පෙරේදා (21) දින රාත්‍රියේ හෝ ඊයේ (22) දින අලුයම සිදුව ඇති බවටද පොලීසිය සැකපල කර සිටියි.

කෙසේ වෙතත් අදාල පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ අවුරුදු 100 ක් පමණ වයසැති කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

තුවාල ලැබූ කාන්තාව

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතරම උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ අධීක්ෂණයන් යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් විසින් පුලුල් පරික්සණයක් මේ වන විට ආරම්භ කොට ඇති අතරම මේ වන විටත් සැකසහිත පුද්ගලයින් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.

තියුණු ආයුධවලින් පහරකෑමෙන් මෙලෙස මියගොස් ඇත්තේ නෙඩුන්තීවු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75 ට වැඩි වයෝවෘද්ද පුද්ගලයින් වන අතර එම අය වන්නේ 78 හැවිරිදි වේලායුදම් නාගෙන්ද්‍ර රත්නම්, 82 හැවිරිදි නාගනිධි බාලසිංහම්, 76 හැවිරිදි නාගසිංහම් කන්මණිපිල්ලෙයි, 83 හැවිරිදි කාතරිකේසු නාගේස්වරී සහ 75 හැවිරිදි එස්. මහාදේවන් නැමති අය වෙයි.

මේ අතර අදාල ඝාතනයන් සමගම නෙඩුන්තීව් ප්‍රදේශයේ ජනතාව අතර දැඩි භීතියක් හටගෙන ඇති බවටත් වහාම ඝාතකයින් අල්ලා නීතිය හමුවට ගෙන ආයුතු බව පවසමින් ප්‍රදේශවාසීන් රැසක් ඊයේ (22) සවස විරෝධතාවයකද නිරත වූහ.

මෙම ඝාතනයන් සිදුකිරීමට නිශ්චිතවම හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම මහෙස්ත්‍රාත් පරික්ෂණයන් සහ මරණ පරික්සණයන් සිදුකිරීමෙන් අනතුරුව මළසිරුරු ඥාතීන් වෙතට භාරදීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Latest