Skip to content

එක්ප්‍රස් පර්ස් නෞකාව ආසන්නයට නොයාම නිසා හානි පූර්ණය ගණනය කිරීමට බාධා ඇති වී තිබෙන බව හෙළි වේ

2021 වසරේ මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉතිරිවී ඇති කොටස් ආසන්නයට ගොස්, හානිපූර්ණය ගණනය කිරීම සදහා සාම්පල ලබා ගැනීමට, අදාළ විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා පසුගියදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට  දැනුම් දුන්නේය.

‌‌පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් 4 දින පැවැති මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු ද එක්වූහ.

එසේම   එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමේ නියෝජිතයන්ද (P & I Club), පරිසර ඇතුළු හානිය තක්සේරු කිරීම සදහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන්, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීහු ද පරිසරවේදීහු පිරිසක් ද මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

‌‌පරිසර හා අනෙකුත් හානි පූර්ණය ගණනය සදහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නේ නැව අසලටම හෝ නැව තුළට යාම නොහැකිවීමෙන් පරිසර හානිය තක්සේරු කිරීමට යම් බාධාවන් ඇති වූ බව ය.

අනතුරු බව පෙන්වා දෙමින් නැව අසලට යාම වැළැක්වූවද ඒ සදහා නාවික හා ගුවන් හමුදාවල සහය ලබාගෙන පහසුකම් සැලසීමට කටයුතු කළ යුතුව තිබූ බවද විද්වත් කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

මේ අනුව නැව ආසන්නයෙන්ම මෙම සාම්පල ලබා ගැනීමට නොහැකිවීම වන්දි ඉල්ලා පවරන නඩුවේදී අවාසි සහගතවීමට ඉඩ ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් සලසන ලෙස කමිටු සභාපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ නාරා ආයතනයට  උපදෙස් දුන්නේය.

Latest