Skip to content

ලෝක සංගීත දිනය ජූනි 21

ලෝකයේ විශ්වීය භාෂාව වශයෙන් හැඳින්වෙන සංගීතය ජාත්‍යන්තර වශයෙන් සමරනු ලබන දිනය එනම් ජාත්‍යන්තර සංගීත දිනය අදට යෙදී ඇත. සෑම වසරකම ජූනි මස 21 වන දින ජාත්‍යන්තර වශයෙන් සමරන ලෝක සංගීත දිනයේ ආරම්භය සිදුව ඇත්තේ 1982 වර්ෂයේ ප්‍රංශයේ දීය.

ප්‍රංශ දේශපාලඥයකු වූ ජැක් ලැන්ග් ලෝක සංගීත දිනය සැමරීමේ අදහස මුල් වරට ඉදිරිපත් කර ඇති අතර එසේ ඉදිරිපත් කර ඇත්තේ එවකට ප්‍රංශයේ සංගීත නිර්මාපකයෙකු සහ ගුවන් විදුලි නිෂ්පාදකයකු වූ මොරිස් ෆ්ලූරේට් සමඟ එක්ව ය. ඒ අනුව පළමු සංගීත දින සැමරුම 1982 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර පවත්වා ඇත. පසුව මෙය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම සිදුව ඇති අතර එම නිසා එය ගෝලීය දිනයක් බවට පත්ව ඇත.

ලෝක සංගීත දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ලොව පුරා සිටින සංගීතලෝලීන්ට නොමිලයේ සංගීතය සැපයීම සහ ආධුනික සහ වෘත්තීය කලාකරුවන්ගේ හැකියාවන් ලොව පුරා ප්‍රදර්ශනය කිරීමය. එමෙන්ම සංගීතයේ ප්‍රතිලාභ සහ වටිනාකම අවධාරණය කිරීම ද තවත් එක් අරමුණක් වී ඇත. සාමාන්‍යයෙන් අද දිනයේ ලෝක සංගීත දිනය රටවල් 120 ක පමණ සමරන බව වාර්තා වන අතර එහිදී ප්‍රධාන වශයෙන් ලෝකයේ පොදු ස්තානවල සංගීත ප්‍රසංග පැවැත්වීම සිදු වේ.

ලෝක සංගීත දිනයේ ඇති  විශේෂ කරුණු වන්නේ අද දිනයේ පවත්වනු ලබන සියළුම ප්‍රසංග ප්‍රේක්ෂකයින් සඳහා නොමිළයේ පවත්වනු ලැබීමත්, කලාකරුවන් ද ප්‍රසංග සඳහා මුදල් අය නොකිරීමත් සහ ලෝකයේ ඕනෑම අයකු හට මේ සඳහා සහභාගී විය හැකි වීමත් ය. 2022 වසරේ ලෝක සංගීත දිනයේ තේමාව මංසන්ධිවල සංගීතය නම් වු අතර මෙම වසරේ අද දිනය නම්කර ඇත්තේ "සංගීතයට උපහාර දැක්වීම" වශයෙනි.

ලෝකයේ ඕනෑම අයකු හට පොදුවේ රස විඳිය හැකි යමක් පවතීනම් එය සංගීතයයි. සංගීතය ජීවිතයේ හරය වශයෙන් නම්කොට ඇත්තේ එම නිසාය. එමෙන්ම බුදුරජාණන් වහන්සේ “ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.” යනාදී වශයෙන් දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන ලද

ඉපදීම නම් දුඛ සඳහා අපට විද්‍යාවෙන් යමතාක් දුරකට පිළිතුරු සෙවිය හැකිය. මන්ද උපත් පාලනය කළ හැකි බැවිනි. රෝගාතුර වීම නම් දුඛට  ද විද්‍යාවෙන් පිළිතුරු ලබා දී ඇත. මන්ද ඒ සඳහා ඖෂධ පවතින බැවිනි. මරණය නමැති දුඛ අපට කිසිදු අයුරකින් නැවත්වීමට නොහැකි වූව ද වෛද්‍ය විද්‍යාවේ දියුණුව හේතුවෙන් එයද සුළු ප්‍රමාණයකට හෝ පාලනය කළ හැකිය.

නමුත් ප්‍රියයන්ගෙන් වෙන්වීම සහ අප්‍රියයන් හා එක්වීම නිසා ඇතිවන දුඛට විද්‍යාවට කිසිවක් කළ නොහැක. එතනදී මැදිහත්වන්නේ කලාවයි. කලාවේද ප්‍රධාන මැදිහත්කරුවා වන්නේ සංගීතයයි. එම නිසා සංගීතය නම් මේ විශ්ව භාෂාවේ වැදගත්කම සහ එය සැමරීමේ අලංකාරත්වය කියා පෑමටත් එය මිනිසුන්ට අත්‍යාවශ්‍ය වන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමටත් අටුවා ටීකා අවශ්‍ය නොවේ.

Latest