Skip to content

ජගත් පරිසර දිනය අදයි

සෑම වසරකම ජූනි මස 05 වන දින ලෝකයට වටිනාම දිනය වශයෙන් ජගත් පරිසර දිනය සමරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය 1972 වසරේ පවත්වන ලද මානව පරිසරය පිළිබඳ ස්ටොක්හෝම් සමුළුවේදී  මානව අන්තර් ක්‍රියා සහ පරිසරය ඒකබද්ධ කිරීම පිළිබඳ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 1973 වර්ෂයේ ජූනි මස 05 වන දින "එකම පෘථිවිය" යන තේමාව යටතේ ජගත් පරිසර දිනය ප්‍රථම වරට සමරා ඇත.

අද සමරනු ලබන ජගත් පරිසර දිනයේ තේමාව වන්නේ "ප්ලාස්ටික් දූෂණයට විසඳුම් (solutions to plastic polution)" යන්න වන අතර මේ වන විට ලොව පුරා සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 400 කට වඩා නිපදවන අතර ඉන් අඩක්ම නිර්මාණය කර ඇත්තේ එක් වරක් පමණක් භාවිතයට ගැනීම සඳහා ය. එමෙන්ම එයින් ප්‍රතිචක්‍රීකරණය කරණුයේ 10% කටත් වඩා අවම ප්‍රමාණයක් වන අතර වසරකට නිපදවන එම ප්ලාස්ටික් ප්‍රමාණයෙන් ටොන් මිලියන 19 - 23 අතර ප්‍රමාණයක් වැව්, ගංගා, ඇල දොළ සහ සාගරයට ද එකතුවන බව පරිසරවේදීන්ගේ අදහසයි. මෙහි ඇති භයානක බව වඩාත් අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ නම් මෙසේ එකතුවන ප්ලාස්ටික ප්‍රමාණයේ බර අයිෆල් කුළුණු 2200 ක තරම් බරකට සමානය. මේ ආදී හේතු සාධක නිසා මෙම වසරේ ජගත් පරිසර දිනයේ තේමාව වශයෙන් යොදාගෙන ඇත්තේ ප්ලාස්ටික් දූෂණයට විසඳුම් යන්නය.

පරිසරය පිළිබඳව සාකච්ඡා කරනවිට දී අවධානය යොමුකළ යුතු ඉතාමත් වැදගත් සංකල්ප දෙකක් වන්නේ පරිසර නියතිවාදය සහ ශඛ්‍යවාදය වන අතර ජර්මන් ජාතික විද්‍යාඥයකු වන ෆෙඩ්‍රික් රැට්සල් විසින් 19 වන ශතවර්ෂයේ  ඉදිරිපත් කළ පරිසර නියතිවාදී සංකල්පයෙන් ප්‍රකාශ කර සිටියේ මිනිසා පෘථිවියේ නිර්මාණයක් මිස පෘථිවිය මිනිසාගේ නිර්මාණයක් නොවන බැවින් මිනිසාගේ සියළුම කරුණු තීරණය කරණුයේ පරිසරය යන වගය. එනම් මිනිසාට පරිසරය ජයගත නොහැකි බව, මිනිසා පරිසරයට අනුවර්තනය විය යුතුය යන බව සහ මිනිසා පරිසරයේ අංශුවක් පමණක් ය යන්න පරිසර නියතිවාදයේ මූලික හරයන් වේ. නමුත් රැට්සල්ගේ මෙම සංකල්පයට විරුද්ධව 20 වන සියවසේ දී ශඛ්‍යවාදය ඉදිරිපත් වූ අතර එහි පුරෝගාමියා වූයේ 1920 ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාල භූගෝල විද්‍යාඥයකු වූ පෝල් විඩල් ඩී ලා බ්ලාච් ය. ඔහු පෙන්වා දුන්නේ මිනිසා පරිසරයේ නිර්මාණයක් වූවද මිනිසාගේ සියළු කටයුතු පරිසරය විසින් තීරණය නොකරන බවය. එමෙන්ම මිනිසාට ශඛ්‍යතාවයන් රාශියක් පවතින බැවින් දැනුම තාක්ෂණය ආදිය භාවිත කරමින් මිනිසාට පරිසරය ජයගත හැකි බව ඔහු සිය මතය තුළින් වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් මෙම සංකල්ප දෙක අතුරින් කල් යත්ම නියතවාදී සංකල්පය අපට පිළිගැනීමට සිදුවන බව පරිසරය විසින් ඔප්පුකොට ඇති අතර ඒ අනුව අනාගතය දෙස බලන්නේ නම් 2050 වන විට ලෝකයේ පරිණත ගෝලීය වනාන්තර 13% කින් හැකිලෙනු ඇත. එමෙන්ම ආසියාවේ, යුරෝපයේ සහ දකුණු අප්‍රිකාවේ ජෛව විවිධත්වය සැලකියයුතු ලෙස අද පවතින මට්ටමට වඩා 10% කින් අඩුවන ඇතැයිද පුරෝකතනය කර ඇත. ජෛව විවිධත්වය අහිමිවීමට බලපාන ප්‍රධාන හේතු ලෙස ඉඩම් පරිහරණය වෙනස් කිරීම, කෘෂිකර්මාන්තය, වාණිජ වන වගාව, යටිතල පහසුකම් සංවර්ධනය, ස්වාභාවික වාසස්ථාන කණ්ඩනය වීම සහ පරිසර දූෂණය යනාදී හේතු හඳුනාගෙන ඇත. මෙම හේතු සාධක අතරින් 2050 වන විට ජෛව විවිධත්වය විනාශ වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්මාන්තය සහ දේශගුණ විපර්යාසයි.

එමෙන්ම 2050 වනවිට බිලියන 1.2 ක ජනතාවකට දැනට පදිංචි වී සිටින ස්ථානයන්ගෙන් වෙනත් ස්ථාන වෙත යෑමට බලකරණු ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ ග්ලැසියර් දියවීම, සාගර ජල මට්ටම ඉහළ යෑම, වර්ෂණය, සුළං සංසරණ රටා වෙනස් වීම ආදී හේතු සාධකවල බලපෑමෙන් මිනිසුන්ගේ ජීවිත සහ ජීවනෝපාය කඩාකප්පල්කාරී තැනකට තල්ලුවීමට නියමිතය. අපට පරිසරය සම්බන්ධයෙන් ගත් විට ඉදිරි දශක කිහිපය තුළදී උදාවීමට නියමිතව ඇත්තේ මෙවැනි ඉතාමත් භයානක තත්වයක් වන අතර පෘථිවියේ අංශු මාත්‍රයක් වන අපට මෙම ලෝකය බේරා ගැනීමට නොහැකි වූව ද තවත් ශතවර්ෂ කිහිපයකට හෝ මිනිසා ඇතුළු සියළු ජීවී අජීවී සම්පතේ පැවත්ම උදෙසා අපට කළ හැකි සුළු හෝ කාර්යභාරයක් පවතින බැවින් ජගත් පරිසර දිනයේ ඒ පිළිබඳව අප නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත.

Latest