Skip to content

Windows 10 සදහා වූ ප්‍රධාන යාවත්කාලීනකිරීම් තවදුරටත් සිදු නොවන බව Mircosoft ආයතනය දැනුම්දෙනවා. ඒ අනුව මේ වන විට පවතින version 22H2, Windows 10 හි අවසන් සංස්කරණය වනු ඇති. නමුත් 2025 ඔක්තෝබර් මස 14 වන තෙක් Windows 10 හි ආරක්ෂාව සදහා වූ යාවත්කාලීන කිරීම් මාසිකව ලබා දෙන බව ඔවුන් පවසනවා. ඉන් අනතුරුව ඒ සදහා වූ සේවා සැපයීම අවසන් වීමට නියමිතයි. මෙය සෑම Windows 10 edition එකක් සදහාම වලංගු වේ. (Home, Pro, Enterprise, Education, Pro Education, Pro for Workstations, and IoT Enterprise editions)

තවදුරටත් ආරක්ෂාව පිණිස වූ යාවත්කාලීන කිරීම් ලබා දීම අවසන් වීමෙන් පසුව Windows 10, විවිධ අවදානම් තත්ව සදහා නිරාවරණය වන බැවින් Windows 11 වෙත සංක්‍රමණය වීම වඩා ආරක්ෂාකාරී බව Microsoft ආයතනය සදහන් කරනවා.

Windows 10 LTSC සදහා තවදුරටත් updates

Windows 10 LTSC (Long-Term Servicing Channel) යනු Microsoft වෙතින් ලබා දෙන Enterprise සංස්කරණයන්ගෙන් එකකි. එය බෙහෙවින් යොදාගන්නේ ව්‍යවසායකයින් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සදහායි. මෙය යම් විශේෂ කටයුත්තක් සදහා පමණක් අරමුණු කරගත් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම් අවශ්‍ය නොවන මෙහෙයුම් පද්ධතියක් ලෙස හැදින්විය හැකියි. වෛද්‍ය උපකරණ, ගුවන්යානා පරිගණක සහ කර්මාන්ත වල ඇති යන්ත්‍රසූත්‍ර ක්‍රියා කරවීම වැනි කටයුතු සදහා මෙය වඩා යෝග්‍ය වේ. Microsoft ආයතනය පවසන්නේ LTSC සංස්කරණය සදහා 2027 ජනවාරි මස වන තෙක් ප්‍රධාන යාවත්කාලීන කිරීම් ලබාදෙන බවයි.

මේ වන විට ලොව වටා Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පරිගණකවලින් 73% ක්ම Windows 10 භාවිතා කරන බවට Valve සහ Statcounter විසින් 2023 මාර්තු මස කරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරුව තිබෙනවා. ඊට හේතුව එහි ඇති ස්ථාවර සහ ආරක්ෂාකාරී ස්වභාවය බව Windows 10 භාවිතා කර ඇත්නම් ඔබද දන්නා කාරණයකි. එමනිසා මෙම තීරණය බොහෝ පාර්ශවයන්ගේ අප්‍රසාදයට ලක්වි ඇත.

Latest