පසුගිය ජූලි 4 වනදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රබුපුර නම් ග්‍රාමයක නිවසකට පැමිණි ප්‍රාන්ත පොලිසිය විසින් 27 හැවිරිදි පාකිස්ථාන ජාතික සිව් දරු මවක වන සීමා ගුලාම් හයිදර්, ඇගේ සහකරු බව කියන 23 හැවිරිදි සචින් මීනා සහ සචින්ගේ පියා නේත්‍රපාල් මීනා යන අය අත්අඩංගුවට ගන්නා ලදහ. සීමාට ආගමන විගමන නීති උල්ලංඝණය කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති අතර සචින් සහ ඔහුගේ පියා ඇයට රැකවරණය දීම පිළිබඳ චෝදනා ලබා සිටිති. සීමා මෙසේ දේශසීමා තරණය කරමින් පැමිණ ඇත්තේ ක්‍රීඩා කිරීමේදී හමුවී ප්‍රේමයෙන් බැඳුන සචින් සමග ජීවත් වීමට ය.
පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ නීතීඥයකු වෙතින් ලද තොරතුරකට අනුව ය. සීමා සහ සචින් සිය විවාහය පිළිබඳ උපදෙස් ලබාගැනීමට අධිකරණය වෙත පැමිණ ඇති අතර සීමා සතුව පාකිස්ථාන ගමන් බලපත්‍රයක් තිබීම හේතුවෙන් අදාල නීතීඥයා ඒ බැව් පොලිසියට දන්වා තිබේ.
ජෙවාර් දිසා අධිකරණය වෙත ඔවුන් ඉදිරිපත් කරන ලද අවස්ථාවේ විනිසුරුවරයා තීරණය කර ඇත්තේ සීමා දේශසීමා තරණය කරනු ලැබුයේ අයහපත් චේතනාවකින් නොව සචින් සමග ජීවත්වීමේ අදහසින් බව පෙනී යන බවයි. එහෙයින් ඔවුන් දෙදෙනාට ඇප ලබාදෙන ලදී. සචින්ගේ පියාට කලින් දිනයක ඇප ලැබී තිබිණ. කෙසේ වෙතත් සීමා සහ සචින්ගේ අනාගතය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින අතර අධිකරණමය කටයුතු කෙසේ නිමවේදැයි කිව නොහැක.

"කවුරුහරි අපි ගැනත් ගදාර් හරි වීර් සාරා හරි වගේ චිත්‍රපටයක් හදන්න ඕන" ජූලි 8 වනදා ඇප මත නිදහස් කරනු ලැබීමෙන් අනතුරුව සීමා ඔවුන් හමුවීමට පැමිණි මාධ්‍යවේදිණියක සමග විහිළුවෙන් මෙන් පවසා සිටියා ය.
සීමා සහ සචින් මුණගැසී තිබෙන්නේ කෝවිඩ්-19 වසංගත සමයෙහි PUBG ජංගම දුරකථන යෙදවුම හරහා එම ක්‍රීඩාවෙහි නිරතවන අතරතුර ය. සචින් එම ක්‍රීඩාවට දැක්වූ දක්ෂතාව දැක ඔහු හා කතාබහ කිරීම පටන්ගත් බව සීමා කියයි. කෙමෙන් ඔවුන් අතර වූ මිත්‍රත්වය ප්‍රේමයකට පෙරළිණ. 2021 ජනවාරියේදී ඔවුන් එකිනෙකාට ආදරය ප්‍රකාශ කළ හ. නමුත් මෙම ප්‍රේමයට බාධා එකක් නොව කිහිපයක් වූයේ ය. සීමා විවාහ වී දරුවන් සිව් දෙනකු සිටින මවකි. එමෙන්ම ඈ සිටියේ වෙනත් රටක ය. එය ද පාකිස්ථානයේ ය.
කෙසේ වෙතත් ඈ සචින් හා එක්වීමට අදිටන් කරගෙන සිටියා ය. ඒ සඳහා ක්‍රමයක් සෙව්වා ය. පොලිසිය පවසන පරිදි ඇය ඩුබායි හරහා නේපාලයේ කත්මන්ඩු නුවර වෙත පැමිණ එතැනින් පොකාරා කරා විත්, පොකාරා සිට බසයකින් ඉන්දීය දේශසීමාව තරණය කර ඇත. දරුවන් සිව් දෙනකු හා ගමන් කරන කාන්තාවක බැවින් ඇයට ඒ මාර්ගයෙන් දේශසීමාවේදී වැඩි පරීක්ෂණයන්ට ලක් නොවී ඉන්දියාවට ඇතුල් වීමට අවකාශය ලැබී ඇති බව විශ්වාස කෙරේ.
ඉන්දියාවට පැමිණීමට පෙර 2023 ජනවාරියේදී ඈ කත්මන්ඩු නුවරදී සචින් මුණගැසී තිබේ. ඔවුන් කත්මන්ඩු හි සුප්‍රකට පශුපතිනාත් දේවොලේදී විවාහ වූ බව සීමා පවසන්නීය. එමෙන්ම තමන් ඉන්දියාවට පැමිණි පසු හින්දු ආගම වැළඳගත් බවත් තම දරුවන්ගේ නම් ද වෙනස් කළ බවත් සීමා ප්‍රකාශ කරයි.
වෙළඳසලක රැකියාවක් කරන සචින් මාසයකට ඉන්දියානු රුපියල් 13,000 ක් පමණ උපයයි. කාමර දෙකකින් යුතු නිවසක දෙමාපියන් සමග ජීවත් වූ ඔහුට වැඩිමහල් සහෝදරියන් තිදෙනෙක්, වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරයෙක් වෙති.

සචින්ගේ දෙමාපියෝ සීමා පිළිබඳ බෙහෙවින් පැහැදී සිටිති. ඇයට ඇගේ විවාහයෙන් දරුවන් සිව් දෙනකු සිටීම ඔවුනට ප්‍රශ්නයක් නොවේ. සීමා දික්කසාද වී සිටින බවත් ඇගේ ස්වාමියා ඇයට හිංසා කරන බවත් ඔහු දැන් සිටින්නේ සෞදි අරාබියේ බවත් ඈ පැවසූ බව නේත්‍රපාල් සඳහන් කරයි. "පොලිස් පරීක්ෂණ අවසන් වෙලා අපට අවසර ලැබුණ ගමන් අපි මේ දෙන්නාව බන්ඳලා දෙනවා. මේ විදියට රටවල් හරහා එන එක ලේසි නෑ. සීමා නිර්භීත කාන්තාවක්. ඒ වගේ කෙනෙක් අපේ පුතා හා විවාහ වෙන එක කොච්චර දෙයක්ද?" ඔහු පවසයි.
සචින්ගේ මව ඊටත් වඩා සීමා කෙරෙහි පැහැදී සිටියි. ඔවුන් ව හින්දු චාරිත්‍රානුකූලව විවාහ කළ පසු තමන්ට දේශසීමාවෙන් ඔබ්බෙහි සිට පැමිණි ලේලියක සිටීම පිළිබඳ ගමෙහි වැසියන් සමග පුරාජේරු කිව හැකි යයි ඈ පවසයි. "මේ ගමේ එකෙකුටවත් පිටරටකින් ආපු ලේලියක් නෑ" ඈ මහත් ආඩම්බරයෙන් පවසන්නීය.

දෙමාපියන්ගේ ආශිර්වාදය හිමි වුවද සචින්ගේ ප්‍රේමය පිළිබඳ ඇතැම් ඥාතීන් හා ගම්වැසියන් දක්වන මතය වෙනස් ය. ඇතැමුන් සැක කරන්නේ ඈ පාකිස්ථාන ඔත්තුකාරියක විය හැකි බව ය. එමෙන්ම ක්‍රීඩා යෙදවුම් (Gaming Apps) බරපතල ප්‍රශ්නයක් බවත් ඒවා තහනම් කළ යුතු බවත් ඇතැම්හු කියති.
නමුත් සීමාගේ පාකිස්ථාන ජාතික ස්වාමිපුරුෂයා ඇය දික්කසාද වූ අයකු බව කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. ඔහු වීඩියෝ පණිවිඩයක් මගින් පවසා තිබුණේ හින්දු හෝ ඉස්ලාම් හෝ දහමට අනුව දික්කසාද නොවූ කාන්තාවකට වෙනත් විවාහයක් කරගත නොහැකි හෙයින් සීමා ආපසු පාකිස්ථානයට එවීමට ඉන්දියානු රජය පියවර ගතයුතු බව ය.
ආපසු පාකිස්ථානයට යවන ලදහොත් තමන්ව මරාදමනු ඇති බව සීමා පවසන්නී ය. "මම ඉන්දියානු රජයෙන් ඉල්ලන්නෙ එක දෙයයි. මට පුරවැසිකම ලබාදීලා සචින් සමග ඉන්නට දෙන්න" ඈ කියා සිටියි.