Skip to content

ශ්‍රී ලංකාව 2014 වාර්තාව සම කරයිද?

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ super six වටයේ අවසාන තරඟය ඊයේ දිනයේ හරාරේහී දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්විණි.

තරඟය ආරම්භ වන විට පෙනෙන්නට තිබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම එතරම් ගැටළු සහගත නොවන බවත් සහ කොදෙව් කණ්ඩායමට ද එසේම බවය. එම නිසා දෙපිළම තරඟය ක්‍රීඩා කරන ලද්දේ ද එවැනි හැඟීමක් සිතෙහි තබාගනිමින් බව පෙනෙන්නට තිබූ ප්‍රධාන ලක්ෂණයක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ඇරයුමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හට ලබා ගැනීමට හැකි වූයේ පන්දුවාර 48 යි එක් පන්දුවකදී සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 243 ක් පමණි. තරඟාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා වූ මහීෂ් තීක්ෂණ මෙම තරඟයේදී ද කඩුළු හතරක් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු 244 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 42 යි පන්දු දෙකකදී කඩුළු දෙකක් පමණක් දැවී පසුකර යෑමට ශ්‍රී ලංකා කණ්ඩයාම සමත් වූ අතර එහිදී විශේෂයෙන් අපට දැකගත හැකි වූයේ හෙට පැවැත්වෙන නෙදර්ලන්තය සමග අවසාන තරඟයට පෙරහුරුවක් වශයෙන් මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන බවක් ය.

තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුවිශාල කාර්යබාරයක් කළ ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග මෙම තරඟයේදී විවේක ගන්වා තිබූ අතර වෙනුවට සහන් ආරචිගේ හට 210 වන එක්දින ක්‍රීඩකයා ලෙස එක්දින වරම් ලබා දෙමින් කණ්ඩායමට කැඳවා තිබුණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා හොඳ ආරම්භයක් ලබාගත් දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 190 ක සම්බන්ධතාවයක් පැවැත් වූ අතර එය තරඟාවලියේ වාර්තා වූ ඉහළම ආරම්භක සම්බන්ධතාවයයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමක් සිම්බාබ්වේ තුළ පැවැත්වූ ඉහළම එක්දින සම්බන්ධතාවය ලෙසත් කොදෙව් කණ්ඩායමට එරෙහිව තැබූ ඉහළම ආරම්භ සම්බන්ධතාවය ලෙසත් එය වාර්තා අතරට එක් විය. එපමණක් නොව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියක වාර්තා වූ ඉහළම ආරම්භක සම්බන්ධතාවය ද එය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය පිට පිට ලැබූ දෙවන ශතකය වාර්තා කළ පැතුම් නිශ්ශංක ලකුණු 104 ක් ද, දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34 ක් වාර්තා කිරීමට සමත් විය.

තරඟයේ වීරයා සම්මානය මෙම තරඟයත් සමග පිට පිට තරඟ දෙකකදී දිනා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර ඔහු මෙම තරඟාවලියේ දිනාගන්නා ලද තුන්වන වීරයා සම්මානය එය විය.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාව මේ වන විට පිට පිට එක්දින තරඟ 9 ක් ජයග්‍රහණය කර ඇති අතර මෙම තරඟාවලියේ පිට පිට ලැබූ 7 වන ජයග්‍රහණය එය විය. හෙට පැවැත්වෙන අවසන් මහා තරඟය ද ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට අපරාජිත ගෞරවය සමගම ලෝක කුසලානයට පිවිසිය හැකි අතර

එමෙන්ම 2014 න් පසුව පිට පිට තරඟ දහයක් ජයග්‍රහණය කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව ද සම කිරීමට අවස්ථාව උදාවනවා සේම ඉන් පසුව ආසියා කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන  පළවන තරඟය ද ජයග්‍රහණය කලහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලිවීමට ද අවස්ථාව උදාවනු ඇත.

තරඟාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අභියෝගයක් වූ නෙදර්ලන්ත කන්ඩායම සමග සුදුසුකම් ලැබීමේ අවසාන මහා තරඟය හෙට දිනයේ හරාරේහී දී පැවැත්විමට නියමිතය.

Latest