Skip to content

දේශපාලඥයින් බුද්ධිමත් විය යුත්තේ ඇයි ?

මාතෘකාගත පාඨය දකින ඕනෑම අයෙකු හට විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ක්‍රියා කලාපය සහ ජනතා නියෝජිතයන්ගේ හැසිරීම් දෙස බලන්නේ නම් දේශපාලඥයින් බුද්ධිමත් විය යුතුය වූවා නම් ඉතා හොඳ යැයි විගසින් කියවෙන්නට පුළුවන. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම මාතෘකාව දිගු කාලයක් තිස්සේ පවතින සර්වකාලීන මාතෘකාවක් වශයෙන් හඳුනාගත හැකි අතර විශේෂයෙන් මැතිවරණ සමයකදී බොහෝ පිරිසගේ මුවෙහි රැඳෙන කාරණයක් වන්නේ "අප මේ මේ අවස්තාවේ හෝ බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතුය " යන කාරණයයි. කෙසේ නමුත් යටත්විජිතකරණයට ලක්වූ සහ සමාජ, ආර්ථික දේශපාලන, සංස්කෘතික යන සෑම අංශයකින් ම සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල්වල පවුල්වාදී දේශපාලනය තුළ දේශපාලඥයින්ගේ තත්වය පිළිබඳව සළකා බලනවිට ඔවුන්ගෙන් බහුතරයක් දේශාපාලන විඥණයෙන් තබා හුදු සාමාන්‍ය දැනුමකින් ද තොර වූවන් බව ඇස අගම පෙනෙන්නට තිබෙන කරුණක් ය යන්න පිළිබඳව ඔබට කිසිදු විරුද්ධත්වයක් නැති බව මාගේ අදහසය.

නමුත් බුද්ධිමත්කම යනු අචාර්ය මහාචාර්ය උපාධි සතුවීමනම් නොවන බව අප මෙහිදී මතක තබා ගතයුතු කරුණක් වන අතර හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද වරෙක ප්‍රකාශ කර සිටියේ සැබවින්ම රටට අවශ්‍ය නායකත්වය දිය හැකි පිරිසක් බවය. එබැවින් දේශපාලඥයින් සියල්ල හට ආචාර්ය හෝ මහාචාර්ය උපාධි පැවතීම අවශ්‍ය නොවන අතර  වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළද අධ්‍යාපන සුදුසුකම් සහිත ජනතා නියෝජිතයින් ඕනෑතරම් සිටි බවද අපි දනිමු. එමෙන්ම හිටපු ජනාධිපති හෝඨාභය රාජපක්ෂගේ වියත්මගේ කාර්ය පටිපාටිය පිළිබඳව ද අපට ඉතා හොඳ අත් විඳීම් ද ඇත. එම නිසා සැබවින්ම දේශපාලඥයින්න්ගේ බුද්ධිමත්කම යනු අදාළ ප්‍රශ්නය තේරුම් ගැනීමේ හැකියාව සහ ඒ වෙනුවෙන් නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමේ පරිණත බවය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී විදවතුන් දක්වා ඇති අදහස් පිළිබඳව ද මෙහිදී සලකා බැලිය යුතු අතර ලෝකයේ දේශපාලනය පිළිබඳව ආදිතම අදහස් දැක්වූ දාර්ශනිකයා වන ග්‍රීසියේ ප්ලේටෝ විසින් සිය Republic කෘතිය තුළ දක්වා ඇති ආකාරයට දේශපාලඥයා දාර්ශනිකයකු විය යුතුය. බුද්ධිමතෙකු විය යුතුය. එපමණක් නොව දේශපාලඥයින් හට දේශපාලනය ආධ්‍යයනය කිරීම සඳහා උපකාරක ආයතනයක් ද පිහිටවිය යුතු බව ප්ලේටෝගේ අදහසයි. මෙම ප්‍රකාශවලට හේතු වශයෙන් ප්ලේටෝ දක්වන්නේ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ උත්තරීතර වගකීම දේශපාලඥයින් හට පැවරෙන හෙයින් බවය. දේශපාලඥයකු වීම දුෂ්කර කාර්යයක් බවත්, විශාරද දේශපාලන නුවණ උත්‍තරීතර නැතහොත් රාජ්‍යත්වය පිළිබඳ විද්‍යාවක් බවත් දේශපාලඥයා එබඳු අයෙකු නොවීම රටක අභාග්‍ය බවත් තව දුරටත් ප්ලේටෝ අදහස් දක්වමින් කියා සිට ඇත.

ප්ලේටෝ 

කී.ජී.එච්. සැබිනේ නමැති දේශපාලන විචාරකයා ප්‍රකාශ කළ ආකාරයට නියම රාජ්‍ය තාන්ත්‍රිකයා කැපී පෙනෙන්නේ ඔහුගේ දැනුම් සම්භාරය මතය. රාජ්‍යතන්ත්‍රවාදය උත්තරීතර බැවින් රාජ්‍ය තාන්ත්‍රිකයා තම රාජ්‍යයයෙහි යහපත්  අයහපත් බව දැනගන්නේ වෛද්‍යවරයෙකු කෙනෙකුගේ සෞඛ්‍යයෙහි යහපත් අයහපත් බව දැනගන්නාක් මෙනැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දේ. මෙහිදී ඔහු දැනුමින් යුතු දේශපාලඥයා නියම වෛද්‍යවරයකුටත් දැනුමින් තොර දේශපාලඥයා හොර වෛද්‍යවරයකු හටත් සම කරන අතර සැවින්ම හොර වෛද්‍යවරයකුගෙන් ඖෂධ ලබාගත් විට සිදුවන්නේ රෝගය උත්සන්න වීම හෝ මිය යෑමය. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වී ඇත්තේ එම නිසාය.

සැබවින්ම දේශපාලන විද්වතුන්ගේ මෙම අදහස් පිළිබඳව විමර්ශනය කරනවිටදී වැටහී යන්නේ දේශපාලනය හෝ දේශපාලඥයකු වීම යනු ඉතා බාරදූර්ය කටයුත්තක් බව සහ එය හුදෙක් මැතිවරණයකට ඉදිරිපත් වී දේශපාලන ප්‍රචාරණය හරහා පාර්ලිමේන්තුවට පැමිණ වාද විවාදවලට සම්බන්ධ වී කුමක් හෝ පැවසීම නොවන බවය. එක් අතකට බලනවිට මෙය වත්මන් දේශපාලඥයින්ට හෝ ඔවුන් පත්කරණු ලබන ජනතාවට හෝ දොස් නැගිය හැකි තත්වයක් ද නොවන අතර මෙය ආණ්ඩුක්‍රම විකාශනය පිළිබඳ සංසිද්ධියේදී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමත් සමග සිදුවූවක් වන හෙයිනි. දේශපාලඥයින් ජනතාවගේ නියෝජිතයින් ලෙස පත්වීම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ බැවින් මෙවැනි තත්වයක් උදා වී තිබුණ ද එය එසේ යැයි කියා සැබවින්ම මෙහිදී දේශපාලඥයින්ට මෙන්ම ජනතාවට ද වගකීමෙන් මිඳිය නොහැක. මන්ද ඔවුන්ගේ ගණදෙනුව ඇත්තේ රාජ්‍යයක් සමග උපන් නුපන් අනාගතයක් සමග වන බැවිනි.

සිරිසේන විතානගේ මහතාගේ අපාය සහ දේශපාලඥයෝ  යන ග්‍රන්ථයේ දැක්වෙන පරිදි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ වර්තමාන සංකේතය වන්නේ පාර්ලිමේන්තුව වන අතර සකච්ඡාව යන අර්ථය දෙන ප්‍රංශ භාෂාවෙහි පාර්ල් ( PARLE ) යන වචනයෙන් බිඳී ආ පාර්ලිමේන්තුව රටකට බලපාන විවිධ ගැටළු සහ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවට භාජනය වන මූලික ස්ථානයයි. එබැවින් එම සාකච්ඡා සඳහා සම්බන්ධවන පිරිස හට අදාළ ප්‍රශ්නය තේරුම් ගැනීමේ හැකියාව සහ ඒ වෙනුවෙන් නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමේ පරිණත භාවය අත්‍යාවශ්‍යම යන්න පිළිබඳව කිසිදු තර්කයක් නැත. එසේ නොවන පිරිස් විසින් සිදුකරණු ලබන සාකච්ඡාව රටක අහිතකර බවට හේතුවක් ය යන්න සක්සුදක්සේ අපට පැහැදිලිය. එමෙන්ම ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන නියෝජිතයින් බුද්ධිමත් නොවූ තැන සිදුවන අවසනාවන්ත තත්වය ශ්‍රී ලංකාවේ පමණක් නොව තුන්වන ලෝකයේ කවර රටක වූවද අපහසුතාවයකින් තොරව නිරීක්ෂණය කළ හැකිය.

ශ්‍රී ලංකාවෙහි අපට ඉතා හොඳින් මතක සිදුවීම් කිහිපයක් පිළිබඳව නැවත සිහියට නගා ගන්නේ නම් එක් රැයකින් රසායනික පොහොර තහනම් කිරීම නිසා ආහාර අර්බුධයක් හට ගැනීම, පොහොර යැයි කියූ චීන අසූචි තොගයකට ඩොලර් බිලියන ගණනින් වන්දි ගෙවීම, භාණ්ඩාගාරයට මුදල් ගලා එන මාර්ගයන්ට බලපෑම්සහගත තීරණ ගැනීම මෙන්ම එම නිසා මුදල් අච්චු ගැසීම මෙන්ම උද්ධමනයකට පාර කැපීම, නිසි අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑම ආදිය මෙන්ම මේ වනවිට එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව ද කොටඋඩට පැමිණීම සහ ලෝකයේ දුක්ඛිතම රටවල් අතරින් එකොළොස්වන ස්ථානය දක්වා වර්තමානයේ අප පැමිණි ගමනට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාළ ප්‍රශ්නය තේරුම් ගැනීමේ හැකියාව සහ ඒ වෙනුවෙන් නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමේ පරිණත භාවය අතින් අප ජනතා නියෝජිතයින් ඉතාමත් දුප්පත් වීමය.

හුදෙක් විචාරවත් බවින් තොරව කටට ආවාක් පමණක් ප්‍රකාශ කර සිටින. තමන් මහජන නියෝජිතයකු ලෙස පත් වූයේ ඇයිද යන වගවත් නොදන්නා. ( එසේ පැවසීමට හේතුව වන්නේ මට ඉංග්‍රීසිත් බැරිය, ජාත්‍යන්තරත් බැරිය, මේ ප්‍රශ්නය නිමා වනතුරු මා පාර්ලිමේන්තු එන්නේත් නැතය යනුවෙන් ප්‍රකාශ කළ මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවිනි ) සහ වචනයේ බලයෙන් විරුද්ධ අදහස් මැඩපැවැත්වීම පමණක් දේශපාලනය වන බව සිතා සිටිනා තුන්වන ලෝකයේ රාජයයන් තුළ මෙම තත්වය වෙනස් කිරීමට නම් සිරිසේන විතානගේ මහතා සිය ග්‍රන්ථයේ දක්වන ආකරයට අපට ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කළ හැකිය. ඉන් එකක් පිළිබඳ වගකීම ඡන්ද දායයකින් හට පැවරෙන අතර අනෙක පිළිබඳ වගකීම පැවරෙන්නේ දේශපාලඥයින් හටය.

පලමුවැන්න නම් පාර්ලිමේන්තු නියෝජිතයින් නැතහොත් පාර්ලිමේන්තුවට දේශපාලඥයින් තෝරා පත්කර යැවීමේදී විද්වතුන් ප්‍රකාශ කර ඇති අර්ථකතනයන් සහ දේශපාලඥයින්ගේ පෙර ක්‍රියා කලාපයන් පිළිබඳව සිහියේ තබා ගනිමින් ඔවුන් තෝරාපත් කර යැවීමට ජනතාව වගබලා ගත් යුතුය. තම නියෝජිතයින් ලෙස තෝරා යවනු ලබන පිරිස සිය වගකීම ඉටු කිරීමට සමත් නොවුණහොත් තමන්ට අත්වන ඉරණම කෙබඳු දැයි සාවධානව කල්පනා කොට සුදුස්සන්ම තෝරා පත්කර යැවීමට පුරවැසියන් වග බලා ගන්නේ නම් පෙර කී අවසනාවන්ත ඉරණමෙන් මිඳීමට ජනතාව හට යම්තාක් දුරකට හෝ හැකිවනු ඇත.

දෙවැන්න නම් ආණ්ඩුක්‍රම සංශෝධනයක් මඟින් පාර්ලිමේන්තු මැතිවරණයක අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමේදී කිසියම් බුද්ධි මට්‍ටමක් ඇති පිරිසට පමණක් ඒ සඳහා ඉදිරිපත් වීමට හැකිවන සේ නීති සම්පාදනය කිරීමයි. නමුත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී නොවේ යැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇති වූවත් රට දැන දැනම සදාකාලික අඳුරකට තල්ලු කිරීමට වඩා මෙය ජනතාව වෙනුවෙන් සිදු කරණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් ලෙස සැලකීම උචිතය යන තර්කය ද කෙනෙකු හට නැගිය හැකිය. මෙම ප්‍රවේශයන් ද්විත්වයම අපහසු බව සිතන්නේ නම් ප්ලේටෝ කී ආකාරයට කිසියම් පුහුණුවක් මඟින් මංත්‍රීවරයකුගේ පාර්ලිමේන්තු භූමිකාව, වගකීම සහ සදාචාරාත්මක පැවැත්ම පිළිබඳව ලබා දීම යම් ප්‍රමාණයක හෝ රටට ජනතාවට සහ නූපන් පරපුරට ද විසඳුමක් වනු ඇත.

Latest