Skip to content

RAMIS පද්ධති වල වගකීම කාටද?

දැනට මෙරට භාවිතයේ පවතින RAMIS පද්ධතීන් වල සම්පූර්ණ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගකිව යුතු නමුත්, එම දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මානව සම්පත් හා අභ්‍යන්තර ශක්‍යතාවය වර්ධනය කගෙන නොමැති බව ක්‍රම සහ විධි පිළිබදව කාරක සභාවේදී හෙලිවී ඇත.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබදව වන කාරක සභාව සභාපති පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.ඒ පසුගිය 27 වෙනිදා පාර්ලිමේන්තුවේදීය.

මෙම කමිටු රැස්වීමට පෙර ක්‍රම සහ විධි පිළිබදව වන කාරක සභාවේ නියෝජිතයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ නිරීක්ෂණ චාරිකවකද නිරත වී ඇත.කාරක සභ රැස්වීම කැදවා ඇත්තේ ඉන් අනතුරුවය.

RAMIS පද්ධතිය සම්බන්ධයෙන් කටයුතු කරන සිංගප්පූරු සමාගමක් විසිනි. එම සමාගම හා ඇති ගිවිසුමට අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට RAMIS පද්ධතියේ සම්පූර්ණ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාරගත යුතුව ඇත.නමුත් මේ සදහා අවශ්‍ය වන මානව සම්පත ඇතුළුව අභ්‍යන්තර ශක්‍යතාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ වර්ධනය වී නොමැති බව මෙහිදී අනාවරණය වී ඇත.ඒ අනුව ක්‍රම සහ විධි පිළිබදව වන කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක මහතා මේ සමබන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත. එසේම මෙම වාර්තාවේ RAMIS පද්ධතිය භාර ගැනීමට මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා සංයුත්ත යෝජනාවලියක් ඇතුළත් විය යුතු බවත් මෙහිදීම සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

එසේම වසර 8කට පෙර හඳුන්වාදුන් RAMIS පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් කමිටුවේ අප්‍රසාදය පළ වී ඇත.

තවද රාජ්‍ය ආයතන 13ක් ඒකාබද්ධ කරමින් ගොඩනගන තවත් ඒකාබද්ධ තොරතුරු පද්ධතියක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන 13 සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර මෙහි දී මෙම සියළුම ආයතන සිය තොරතුරු පද්ධතිවල පොදු කේතයක් ලෙස ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බව යෝජනා විය.

මෙම කමිටුව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න,ශෂීන්ද්‍ර රාජපක්ෂ,අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, ආචාර්ය හර්ෂ ද සිල්වා,සංජිව එදිරිමාන්න, අශෝක් අබේසිංහ, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න,ඉෂාක් රහුමාන් සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.

Latest