ආචාරධර්ම නැතිනම් චර්යාධර්ම යනු අසංවිධිත සමාජයක් සංවිධිත අයුරින් පවත්වාගෙන යෑම සඳහා පොදුවේ ගොඩ නගාගත් එකඟතාවයන් වශයෙන් හඳුනාගත හැකි අතර වෙනත් ආකාරයකට පවසන්නේ නම් පුද්ගලයන්ගේ හැසිරීම් හෝ ක්‍රියාකාරකම් පාලනය කරණු ලබන මූලධර්ම සියල්ලම ආචාර ධර්ම වශයෙන් හඳුනාගත හැකිය.
කෙසේ නමුත් ආචාරධර්ම නැතිනම් ethics යන පදය ව්‍යවහාරයට එකතු වන්නේ ethos යන ග්‍රීක වචනයේ සහ ethice යන ලතින් වචනයේ සම්මිශ්‍රණයක් ලෙසය. එය සදාචාරාත්මක දර්ශනය හැඳින්වීම සඳහා මුල් කාල වකවානු වලදී භාවිත වී ඇත. සදාචාරාත්මක වශයෙන් හොඳ සහ නරක මෙන්ම හරි දේ සහ වැරදි දේ විස්තර කිරීමේදී ද ethics යන පදය බොහෝ විට යොදා ගනී. එමෙන්ම මේ සඳහා චර්යා ධර්ම, ගුණ ධර්ම යන පද ද බොහෝ විට යෙදේ.

කෙසේ නමුත් ඕනෑම සමාජයකට ආචාරධර්ම / චර්යාධර්ම අවශ්‍ය වන්නේ මිනිසා ගසෙන් බැසගත් දා පටන් අද දක්වා දියුණු ලෙස පරිණාමය වූව ද ඔහුගේ වනචාරී ගති ලක්ෂණ සම්පූර්ණ වශයෙන් මැකී ගොස් නැති බැවිනි. එම ගති ලක්ෂණ ඕනෑම අවස්ථාවක මතුවිය හැකි අතර එම නිසාම සමාජයේ සෑම සංවිධාන මට්‍ටමක ඒ ඒ සංවිධාන මට්ටමට අයත් වූ ආචාර ධර්ම පද්ධතියක් ඇත.
සමාජයේ ජීවත් වන විට සමාජයක් වශයෙන් පිළි පැදිය යුතු, පාසලක පාසල් ළමයින් වශයෙන් පිළිපැදිය යුතු, ආගමික ස්ථානයක වන්දනාකරුවන් වශයෙන් පිළිපැදිය යුතු, ආයතනයක සේවකයින් වශයෙන් පිළිපැදිය යුතු, පවුලක සාමාජිකයින් වශයෙන් පිළිපැදිය යුතු මෙන්ම පාර්ලිමේන්තුවක මංත්‍රීවරුන් වශයෙන් පිළිපැදිය යුතු ආචාර ධර්ම ද රාශියක් ඇත.

කෙසේ නමුත් සමාජ සංවිධාන මට්ටම තුළින් ඉහත සඳහන් මට්ටම් රාශියම පාහේ අප නියෝජනය කර ඇති බැවින් ඒ ඒ මට්ටම් තුළ පිළිපැදිය යුතු ආචාරධර්ම නැතිනම් චර්යාධර්ම සම්බන්ධයෙන් අපට කිසියම් අවවෝධයක් ඇත. නමුත් පාර්ලිමේන්තු මංත්‍රී වරයකු වශයෙන් අප බොහෝ දෙනෙකු හට කටයුතු කිරීමට නොහැකි බැවින් සහ එය මහ සමාජයෙන් වෙන්ව වෙනත් උත්තරීතර ආයතනයක් වශයෙන් පිහිටුවා ඇති බැවින් එහි පිළිපැදිය යුතු ආචාර ධර්ම සම්බන්ධයෙන් අපට ඇත්තේ ඉතාමත් අල්ප වූ අවබෝධයකි.
සැබවින්ම පාර්ලිමේන්තු මංත්‍රී වරයෙකු වශයෙන් පිළිපැදිය යුතු ආචාරධර්ම රාශියක් ද ඇත්තේ එහි ද විටින් විට වනචාරී ගති ලක්ෂණ මතුවන නිසාවෙන් වන අතර ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කිරීමට හේතුව වන්නේ එය රටට වග කීමට, රටට මඟ පෙන්වීමට, රට මෙහෙයවීමට සහ රටට ආදර්ශයක් වීමට පිහිටුවා ඇති ස්ථානයක් නිසාවෙන් ය. නැතිනම් රටේ සියල්ලම පාහේ තීරණය කරන ස්ථානය නිසාවෙන් ය. නැතිනම් එහි ආචාර්ධර්ම පිළිබඳව සොයා බැලීමට සාමාන්‍ය ජනතාව වන අපට කිසිදු අවශ්‍යතාවයක් නැත.

කෙසේ නමුත් පාර්ලිමේන්තු ආචාරධර්ම පිළිබඳව සැබෑ ලෙසම සාකච්ඡා කිරීමට යුතුව තිබුණේ 2018 වසරේ නොවැම්බර් මස 14, 15, සහ 16 යන දිනයන් වලදීය. එයට හේතුව නම් අප කවුරුත් දන්නා දින 52 ආණ්ඩුව තුළ ඉහත සඳහන් කළ දිනයන්හී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වනචාරීන්ටත් එහා ගිය හැසිරීමක් ප්‍රදර්ශනය කළ බැවිනි.
එම සිද්ධියේදී මිරිස් කුඩු ගැසීම, මංත්‍රීවරුන්ට සහ පොලිසියට පහර දීම, පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, මයික්‍රෆෝන කඩා දැමීම, කතානායකවරයාගේ අසුනට හානි කිරීම, සෙංකෝලය පැහැර ගැනීම, ස්වාමීන්වහන්සේලාගේ වෘෂණ කෝෂ මිරිකීම සහ අසභ්‍ය වචන පිටකිරීම ආදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මංත්‍රීවරුන් 59 දෙනෙකු හට චෝදනා එල්ල විය.
නමුත් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා ඉතා හොඳින් දන්නා බැවින් එය විස්තර කිරීමට නොයන අතර නමුත් එම සිද්ධිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම වශයෙන් ඉතිහාසයේ ලිය වී ඇත. එමෙන්ම විදෙස් මාධ්‍යය ද ඒ සම්බන්ධයෙන් එවකට ජාත්‍යන්තරයේ ඉතාමත් කනගාටුදායක අයුරින් සිද්ධිය වාර්තා කර තිබුණු අයුරු නිරීක්ෂණය කළ හැකි විය.

කෙසේ නමුත් එම අවස්ථාව පාර්ලිමේන්තු ආචාරධර්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉතාමත් සුදුසු වේලාව වූව ද එවකට getpeakonline අපගේ වෙබ් අඩවිය ආරම්භක කර නොතිබූ බැවින් කල් ගොසින් හෝ ඒ පිළිබඳව සාකච්ඡා කර තිබීම වටී යැයි සිතේ.
මන් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ මංත්‍රීවරුන් යනු අපගේ එදිනෙදා සාකච්ඡා තුළ හමුවන ප්‍රධාන කොට්ඨාශයක් බැවින් ඔවුන් පිළිබඳව තක්සේරු කිරීමට, ඔවුන් පිළිබඳව තීරණ ගැනීමට, ඔවුන්ගේ ක්‍රියා කලාපයන් හරි හැටි තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ හැසිරීම් කරුණු සහිතව විනිශ්චය කර ගැනීමට ඔබට ඉදිරියේදී මෙම ආචාරධර්ම පිළිබඳව දැන සිටීම මොළයට ලාභයක් වන හෙයිනි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ ආරම්භයේ සඳහන් වන්නේ පහත සඳහන් අයුරිනි. "පාර්ලිමේන්තුව විසින් 2018 මාර්තු මස 07 වැනි දින අනුමත කරන ලදුව, 2018 අප්‍රේල් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු යැයි සම්මත කරන ලදී ". ඒ අනුව මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් ඉතිරිකරන්නට යෙදුණු අවස්ථාව වන විට ද මංත්‍රීවරුන් සඳහා චර්යාධර්ම පද්ධතියක් හඳුන්වා දී තිබුණි.
කෙසේ නමුත් මෙම චර්යාධර්ම හඳුන්වා දීමට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්, ඔවුන්ගේ ඡන්ද දායකයන් සම්බන්ධයෙන් සහ පොදුවේ මහජනයා සම්බන්ධයෙන් සිය වගකීම ඉටු කරණු පිණිස සිය බලතල ක්‍රියාත්මක කිරීම, කාර්ය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා ඔවුනට සහය වීම සඳහා ය. යනුවෙන් චර්යාධර්ම සංග්‍රහයේ සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ මූලාසනය හොබවන මංත්‍රීවරයන්, අග්‍රාමාත්‍යවරයා, සභා නායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩුවේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ඇතුළු එක් එක් මංත්‍රීවරුන්ට ඔවුන්ගේ පොදු ජීවිතවල සියළුම අංගයන් කෙරෙහි මෙම චර්යාධර්ම සංග්‍රහය අදාළ වන අතර එසේ වූවත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත මින් නියාමනය නොවේ.
චර්යාධර්ම සංග්‍රහයේ මංත්‍රීවරුන්ගේ කාර්යභාරය ද දක්වා ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් දිවුරුම් දීම හෝ ප්‍රතිඥාදීම කරවනු ලැබීම හේතුවෙන් සෑම මංත්‍රීවරයෙකුටම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි පැදීමට සහ ආරක්ෂා කිරීමටත් රාජ්‍යයේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීමටත් වගකීමක් ඇත.
එමෙන්ම සෑම මංත්‍රීවරයකු විසින්ම මූලික ඓතිවාසිකම් වලට අදාළ නීති පිළිපැදිය යුතු අතර සෑම අදස්ථාවකදීම සිය ඡන්ද දායකයන් සම්බන්ධයෙන් සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී , කාර්ය කිරීමේදී සහ කර්තව්‍ය ඉටු කිරීමේදී වෙනස් ආකාරයකට නොසලකන පරිදි ක්‍රියා කළ යුතුය.
එපමණක් ද නොව සෑම මංත්‍රීවරයෙකුම සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී , කාර්ය කිරීමේදී සහ කර්තව්‍ය ඉටු කිරීමේදී පොදුවේ ජාතියේ යහපත සහ විශේෂයෙන් ම සිය ඡන්ද දායකයින්ගේ යහපත පිණිස ක්‍රියා කළ යුතුය. එහිදී මංත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර සෑම විටම යම් පොදු සම්පත් භාවිතය ද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් සහ ඒකානුතාවයකින් විය යුතුය.

පාර්ලිමේන්තු චර්යාධර්ම සංග්‍රහයේ දක්වා ඇති පරිදි සෑම පාර්ලිමේන්තු මංත්‍රීවරයකුම පොදු කටයුතු සහ සිය කාර්යභාරයන් කරගෙන යෑමේදී පහත සඳහන් චර්යා මූලධර්මවලට අනුව කටයුතු කළ යුතුය.
සෑම මංත්‍රීවරයෙකුම තීරණ ගන්නා විට සෑම අවස්ථාවකම මහජන සබැඳියාවන් සැළකිල්ලට ගත යුතු අතර ඔවුනට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට, මිතුරන්ට හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් යම් තැනැත්තන්ට යම් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ හෝ පෞද්ගලික ලාභයක් අපේක්ෂා නොකළ යුතුය.
කිසිම මංත්‍රීවරයෙකු සිය නිල කටයුතු කිරීමේදී තමාට බලපෑමක් ඇතිවිය හැකි යම් ආකාරයකට යම් පිටස්තර පුද්ගලයකු හෝ සංවිධානයකට යම් මූල්‍යමය හෝ වෙනත් බැඳීමක් ඇතිවන තත්වයකට පත් නොවිය යුතුය.
යම් යම් කටයුතු සඳහා තැනැත්තන් නිර්දේශ කිරීමට අදාළව සිය කාර්යයන් කරගෙන යෑමේදී මංත්‍රීවරුන් විසින් එම කටයුතු හුදෙක් කුසලතා මත කරනු ලබන බවට වග බලාගත යුතුය.
මහජනතාව සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ කටයුතු සම්බන්ධයෙන් මංත්‍රීවරුන් වගකිව යුතු අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ධූරයට යෝග්‍යවන යම් පරීක්ෂාවකට හෝ යම් මහජන පරීක්ෂාවකට හෝ යටත් වේ. එමෙන්ම තම කටයුතු සම්බන්ධයෙන් හැකිතාක් මහජනතාවට මංත්‍රීවරුන් විවෘත විය යුතු බව ද දක්වා ඇති අතර අදාළ තීරණවලට හේතු දැක්වීම ද කළ යුතුය. පුළුල් මහජන අවශ්‍යතා සම්බන්ධයෙන් පමණක් ඔවුන්ට තොරතුරු සීමා කළ හැකිය.
මංත්‍රීවරයන් විසින් සිය මහජන කටයුතුවලට අදාළවන යම් පුද්ගලික සබැඳියාවක් ඇත්නම් හෝ සබැඳියාවක් සම්බන්ධ ගැටීමක් ඇත්නම් ඒවා ප්‍රකාශ කිරීම කළ යුතු අතර මහජන සබැඳියාවන් ආරක්ෂාවන පරිදි එසේ ඇතිවන යම් ගැටීමක් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ද ගත යුතුය.
චර්යාධර්ම සංග්‍රහයේ V වන කොටස යටතේ චර්යා රීති පිළිබඳව දක්වා ඇති අතර ඒ අනුව සෑම මංත්‍රීවරයකුම පහත සඳහන් රීතිවලට අනුකූල විය යුතුය.
ඒවා නම් හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම, මානව අයිතිවාසිකම් වලට සහ ජනතාවගේ නෛසර්ගික අභිමානයට ගරු කිරීම, ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝග්‍යවන පරිදි කටයුතු කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජීව ගුණයෙන් බැඳී සිටීම සහ බලතල බෙදීමේ න්‍යාය සහ නීතියේ ආධිපත්‍ය යන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක සංකල්ප බලාත්මක කළ යුතුය.

තමන් වග කිව යුතු චර්යාව සහ කාර්යබාරය සම්බන්ධයෙන් වගකිව යුතු අතර යම් නීතියක් යටතේ තමන්ට භුක්ති විඳීමට හිමිකම් ඇති වරප්‍රසාද භාවිත කිරීම සහ තමා විසින් දරනු ලබන රාජ්‍ය නිලයෙහි කටයුතු අනලස්ව, අභිමානයෙන් යුක්තව, නිසි සැලකිල්ල ඇතිව ගෞරවයෙන් ඉටු කළ යුතුය.

සෑම මංත්‍රීවරයකුම පාර්ලිමේන්තුව ඵලදායී සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම සඳහා දායක වීම සම්බන්ධයෙන් පෞද්ගලිකව වගකිව යුතුය. පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කාර්යභාරය, ස්වාධීනත්වය, අයිතිවාසිකම් සහ වගකීම්වලට සෑම මංත්‍රීවරයෙකුම ගරු කළ යුතුය.
එමෙන්ම සෑම මංත්‍රීවරයෙකුම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේදී විධායකය පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සහතික කිරීමෙහිලා වගකිව යුතුය. කිසිම මංත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ හෝ එහි මංත්‍රීවරයන්ගේ හෝ රටේ කීර්තියට සහ ඒකාග්‍රතාවයට හානිකර විය හැකි යම් කටයුත්තක් භාර නොගත යුතුය.
චර්යාධර්ම සංග්‍රහයේ VIII වන කොටස මඟින් පැමිණීම, හැසිරීම සහ ආචාරශීලීත්වය සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇත්තේ පහත දැක්වෙන අයුරිනි.
සෑම මංත්‍රීවරයෙකුම අවස්ථාවට උචිත පරිදි පාර්ලිමේන්තුවේ හෝ අදාළ මංත්‍රීවරයා සාමාජිකයකු වන යම් කාරක සභාවක අවසරය ඇතිව මිස පාර්ලිමේන්තුවේ හෝ සෑම කාරක සභාවකම සෑම රැස්වීමක් සඳහාම පැමිණිය යුතු අතර එසේ පැමිණෙන විට නිසි ඇඳුමින් පැමිණිය යුතුය.

මංත්‍රීවරුන් ආචාරශීලීව කටයුතු කළ යුතු අතර දේශපාලන කතාවලදී සහ විශේෂයෙන් ම විවාද වලදී උචිත භාෂාවක් භාවිත කළ යුතුය. එමෙන්ම කිසිම මංත්‍රීවරයෙකු යම් තැනැත්තෙකුට පහර දීම හිරිහැර කිරීම හෝ තර්ජනය කිරීම නොකළ යුතුය.

සෑම මංත්‍රීවරයකුම සිය සාමාජික මංත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ද මහජනතාව ද සම්බන්ධයෙන් ගෞරවාන්විතව, ආචාරශීලීව සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි නොවන අයුරින් ද කටයුතු කළ යුතුය.
මෙම චර්යාධර්ම මංත්‍රීවරුන් හට අදාළ කරවීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මකවන පාර්ලිමේන්තුවට අදාළ කාරණයක් ය යනුවෙන් ද දක්වා ඇති අතර චර්යාධර්ම සංග්‍රහයේ නිශ්චිතව දක්වා ඇති විදිවිධානවලට අනුකූලව යම් මංත්‍රීවරයකු විසින් කටයුතු කිරීමට අදාළ වන යම් යම් කාරණා විමර්ෂණය කිරීම ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව විසින් කළ හැකිය.
අචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සිය කාර්යය ඉටු කිරීමේදී විශේෂඥයන්ගේ සේවාව ලබා ගැනීම, ලේඛණ ගෙන්වා ගැනීම, සාක්ෂිකරුවන් කැඳවීම සහ ඔවුන් විභාග කිරීම කළ හැකිය. එම කාරක සභාව විසින් යම් මංත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අවශ්‍ය යැයි සලකනු ලබන දඬුවමක් සලකා බලා නිර්දේශ කළ හැකිය.

කෙසේ නමුත් චර්යාධර්ම කඩකිරීම සම්බන්ධයෙන් මංත්‍රීවරුන්ට ඉදිරිපත් වන චෝදනා විමර්ෂණය කර දඬුවම් ලබා දීම වංකගිරියේ යෑම හා සමවන්නක් යැයි කීම සාධාරණ වන්නේ එම ක්‍රියාපටිපාටික විමර්ෂණය කර බලන විටය.
මංත්‍රීවරයකු විසින් කරන ලදැයි කියන සදාචාර විරෝධී හැසිරීමක්, චර්යාධර්ම සංග්‍රහයේ විදිවිධාන කඩ කිරීමක් සහ 17 වැනි වගන්තිය යටතේ යම් මංත්‍රීවරයකු විසින් ඔහුගේ සබැඳියාවන් සම්බන්ධයෙන් වැරදි හෝ සාවද්‍ය තොරතුරක් දීම යනාදී කාරණා සම්බන්ධයෙන් මංත්‍රීවරයකුට විරුද්ධව පැමිණිලි කළ හැකිය.
එසේ යම් තැනැත්තෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක එම පැමිණිල්ල මංත්‍රීවරයකු විසින් ප්‍රති අත්සන්කොට එම මංත්‍රීවරයා විසින් කතානායක හට යොමුකළ යුතුය.

කතානායකවරයා විසින් එම පැමිණිල්ල සුදුසු වේලාවකදී සභාවට ඉදිරිපත් කිරීමට අදාළ මංත්‍රීවරයාට ඉඩ ලබාදෙන අතර කතානායකවරයා විසින් එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද යෝජනා සම්මතයක් මත විමර්ෂණය කොට වාර්තා කිරීම සඳහා ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමුකල යුතුය.
ඉන් පසු පැමිණිළිකරු සිය අනන්‍යතාව ප්‍රකශ කළ යුතුය. චෝදනාව සනාථ කිරීම සඳහා ලේඛණ හෝ අන්‍යාකාරයෙන් වන උපකාරක සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. පැමිණිල්ල සද්භාවයෙන් කරන ලද බවට ඔහු සහතික විය යුතු අතර ඒ බව පෙන්නුම්කරන දිවුරුම් ප්‍රකාශයක් ද පැමිණිල්ල සමග තිබිය යුතුය.
එමෙන්ම පැමිණිල්ල සද්භාවයෙන් කරන ලද බවට අදාළ කාරක සභාව සෑහීමකට පත්වන තුරු ඔප්පු කළ යුතුය. සෑම පැමිණිල්ලක්ම ගෞරවාන්විත භාෂාවෙන් ලිවිය යුතු අතර පැමිණිල්ල ඉදිරිපත් කරන්නා එය අත්සන්කොට තිබිය යුතුය. එමෙන්ම ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් තහවුරු නොකරන ලද යම් මාධ්‍ය වාර්තාවක් පදනම්කොටගත් පැමිණිලි බාර නොගනී.

අදාළ කාරක සභාව විසින් අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති යම් කාරණයක් සලකා බැලීම නොකළ යුතු අතර යම් කාරණයක් අධිකරණයේ විනිශ්චයට භාජනය වී තිබේ ද නොතිබේ ද යන්න යන්න සම්බන්ධයෙන් කාරක සභාවේ තීරණය අවසාන තීරණය වේ.
මෙම පියවරයන්ගෙන් පසුව කාරක සභාව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සෑහීමකට පත් වේ නම් එම පැමිණිල්ල පරීක්ෂා කිරීම සඳහා භාරගනු ලැබිය හැකිය. මූලික පරීක්ෂණයෙන් පසුව බැලූ බැල්මට වරදක් සිදුකොට ඇති බවට පෙනෙන සාධක නොමැති බව කාරක සභාව අදහස් කරයි නම් එවැනි පරීක්ෂණයක් නොසලකා හැරිය යුතුය.
එමෙන්ම යම් පැමිණිල්ලක් සාවද්‍ය, නිරර්ථකාරී හෝ පීඩාකාරී වන බව සහ පැමිණිල්ල අසද්භාවයෙන් කර ඇති බව සොයාගනු ලබන යම් අවස්ථාවක ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් එම පැමිණිල්ල වරප්‍රසාද කඩ කිරීමක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළ හැකිය.
කෙසේ නමුත් වරදක් කර ඇති බව කාරක සභාව තීරණය කරන්නේ නම් එම කාරණය විභාගකොට පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය. එහිදී අපරාධ නීතියට අදාළ යම් කඩ කිරීමක් පවතින බව පෙනී යයි නම් වහාම එම කාරණය පොලීසියට හෝ ඒ සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති වෙන යම් ආයතනයකට යොමු කළ යුතුය.

මෙම දීර්ඝ ක්‍රියාවලියෙන් පසුව වරදකරුවකු වන මංත්‍රීවරයකු හට පහත සඳහන් දඬුවම් වලින් එකක් හෝ කීපයක් පනවන ලෙස කාරක සභාව විසින් සභාවට නිර්දේශ කළ හැකි අතර ඒවා නම්
දෝෂාරෝපණය කිරීම, තරවටු කිරීම, නිශ්චිත කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම අත් සිටුවීම ( පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පණතේ දක්වා ඇති සීමාවන් නොඉක්මවන සේ ) හෝ ශේෂ්ඨාධිකරණය විසින් නියම කරණු ලබන වෙනයම් දඬුවමක්

ඉදිං මේ පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ වත්මන් සාමාජිකයින් වන්න්නේ විජයදාස රාජපක්ෂ, චමල් රාජපක්ෂ, කනක හේරත්, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු

ඩලස් අලහප්පෙරුම, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල, ජයන්ත කැටගොඩ, ජී.ජී. පොන්නම්බලම්, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, අලි සබ්‍රි රහීම්, සමන්ප්‍රිය හේරත් සහ හරිනි අමරසුරිය යන අයයි.