Skip to content

ස්වාපනය හෙවත් මෝහනය යනු කුමක් ද ? (Hypnotism)

" මාගේ දෑස දෙස බලනු. ඔබ දැන් වල් ඌරෙක් වල් ඌරෙක් " යන පද කිහිපය ශ්‍රී ලංකාවේ අදටත් බාල මහළු සියල්ලගේම ජනාදරයට පාත්‍ර වූ " සූර පප්පා කාටූනය තුළ අන්තර්ගත වූ අතර අප කුඩා කාලයේ ප්‍රථම වරට මෝහනය පිළිබඳ අදහස දැන හඳුනාගන්නා ලද්දේ එමඟිනි. සැබවින්ම මෝහනය යනු මනෝ විශ්ලේෂණය සඳහා ද යොදාගන්නා ඉතා ගැඹුරු සංකල්පයක් වන අතර ස්වාපනය නමින් ද හැඳින්වෙන මෙමඟින් සිදු කරණුයේ පුද්ගලයකු තාවකාලික නින්දකට පත් කර ඔහුගේ අවිඥාණයේ  තැන්පත් වී ඇති සියල්ල එළියට ඇද ගැනීමය. අවිඥාණය යනු ආවේගයන් මුසු සිතුවිලි සහිත පුද්ගලයකුගේ සාමාන්‍ය සම්ප්‍රජානනයෙන් එපිට මනසේ නිදන්ගතව පවතින සිතුවිලි, ආවේග සහ අපේක්ෂාවන් වන අතර මෙම සිතුවිලි, අවේග සහ අපේක්ෂාවන් මතුපිටට නිරාවරණය කර ගැනීම මෝහනය මඟින් සිදු කරයි. බිය, ශෝකය, මිත්‍යා විශ්වාස වැනි ස්වයං සංසිද්ධි නැතිනම් මානසික රෝග ඉවත් කිරීම සඳහා මෝහනය මනෝ විශ්ලේෂණවාදයේදී මනෝ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ද යොදා ගනී.

එපමණක් නොව මෝනය කිරීම මඟින් අතීතයේ කිසියම් පුද්ගලයකුගේ භවගාමී ජීවිතය අනාවරණය කර ගැනීමටත්, අනාගතයේ ඔහු අපේක්ෂිත තත්වයන් අනාවරණය කර ගැනීමටත් සහ එම පුද්ගලයාගේ පෞරුෂ ලක්ෂණ වෙනස් කිරීමටත් හැකියාව ඇති බැවින් මෙය ඉතා ප්‍රවේශමෙන් හැසිරවිය යුතුය. ඇතැම්විට මෙය පුද්ගලයකුට එරෙහිව භාවිත කළ හැකි භයානක ආයුධයක් වශයෙන් ද හැඳින්විය හැකි අතර එයට හේතුව වන්නේ පුද්ගලයකුගේ අවිඥාණයේ තැන්පත් වී ඇති දේ මතුපිටට ගෙන නව යෝජනා මෝහනය කිරීම මඟින් මනසේ තැන්පත් කළ හැකි බැවිනි. මෝහනය සඳහා ස්වාපන විද්‍යාව, වශීකරණය යන නාමයන් ද භාවිත වන අතර මෙය ඉතා දිගු ඉතිහාසයක් සගිත මනෝ ප්‍රතිකාර ප්‍රවේශයක් වශයෙන් සැළකිය හැකිය.

දොස්තර ෆාන්ස් ඇන්ටර් මේස්මර් ස්වාපන විද්‍යාව පිළිබඳ වඩාත් ප්‍රකට පර්යේෂකයා වේ.  සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝ විශ්ලේෂණ න්‍යාය ඉදිරිපත් කිරීමට පෙර සිටම ස්වාපන විද්‍යාව භාවිත කළ බවට වාර්තා වන අතර සිග්මන්ඩ් ප්‍රොයිඩ් ද ස්වාපනය මඟින් සුවකිරීමේ හැකියාව ලබාගෙන ඇත්තේ සුප්‍රකට ස්නායු වෛද්‍යවරයකු වන ජාන් මාර්තැන් චාකෝර්ගෙනි. මෝහනයේදී සිදුවන්නේ පුද්ගලයකු සිය ස්වකීය පියවි ස්වාභාවයෙන් ඉවත්කොට තාවකාලික නින්දකට යොමුකර කිසියම් චර්යාවක් කිරීමට හෝ නොකර සිටීමට ඔහුගේ අවිඥාණයට විධාන නිකුත් කිරීමයි. නැතහොත් ඇණවුම් ලබා දීමයි. ඉන් අණතුරුව උද්ගලයා පියවි සිහියට පැමිණීමෙන් පසු ඔහු අදාළ විධානයන්ට අනුකූලව ක්‍රියා කරණු ලබයි.

පෙර සඳහන් කළ පරිදි මෝහනයට පත්කරණු ලබන පුද්ගලයා හට දෙනු ලබන විධානය හෙවත් ඇණවුම් අතිශයින්ම කතාබහට සහ සංවාදයට පාත්‍ර වූ මාතෘකාවක් වන අතර එයට හේතුව වී ඇත්තේ මෙය යහපතට මෙන්ම අයහපතට ද ක්‍රියාත්මක කළ හැකි බැවිනි. රෝගියකු නම් සැබවින්ම ඔහු මෝහනය කළ පසු සුවපත් වන්නේ මෝහනය කළ නිසා නොව මෝහනය කිරීමේදී ඔහුට දෙනු ලබන විධානයන් නිසාය. ඇතැම්විට රෝගියා සිහියට පත් වූ වහාම දෙනු ලබන විධාන ඉටුකරන අතර ඇතැම්විට වැඩි කලක් ගත වී වූව ද එකී විදානයන් ඉටුකරණු ලබයි. මෝහනයේදී " මා දුම් පානය අතහරිනවා " යැයි විධාන ලබා දුන් පසු පියවි සිහියට එළඹීමෙන් පසුව ඔහු දුම් පානය අත හරී.

මෝහනය සිදුකරණ ආකාරය පිළිබඳව කරුණු සොයා බලන්නේ නම් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ නිදහස් ස්ථානයකි. මෙහිදී මෝහනයට පත්වන පුද්ගලයා ඇඳක හාන්සි කරවණු ලබන අතර පසුව මෝහනය සිදුකරන පුද්ගලයා හාන්සි වූ පුද්ගලයාගේ මුහුණ දෙස බලා දීප්තිමත් දෑස් හමුවක් ලබා දෙමින් හාන්සි වූ පුද්ගලයා අමතයි. කිසියම් දිදුලන ස්ථානයක යම් වස්තුවක් හෝ රූපයක් දෙස ඇසිපිය නොහෙලා මඳ වේලාවක් දෑස් දල්වාගෙන සිටින ලෙස උපදෙස් ලබා දේ. හාන්සි වූ පුද්ගලයා නැතිනම් රෝගියා එසේ දෑස් යොමා සිටින අතර මඳ වේලාවකට අනතුරුව මනෝ වෛද්‍යවරයා රෝගියාව අමතමින් අදාළ විධානයන් ලබාදීම සිදු කරයි. " දැන් ඔබට වෙහෙසයි, වෙනදාට වඩා මහන්සියි, නිදිමත ගතියක් වගේ දැනෙනවා, දෑස් පියවීගෙන යනවා, ටිකක් නින්ද යනවනම් " ආදී  වශයෙන් රෝගියා අමතයි. මෙහිලා කට හඬ ගුප්ත ස්වරූපයෙන් හැසිරවීම මෙන්ම කෙටි වාක්‍ය ශෛල්‍යය බොහෝවිට යොදා ගනී.

සැබවින්ම අදාළ විධානයන්ට අනුකූලව රෝගියා නිද්‍රාවට පත්වූයේ නම් මෝහනයෙන් 50 % ක් සාර්ථකය. ඉන් පසුව ඇත්තේ මනෝ වෛද්‍යවරයා සුදුසු විධානයන් රෝගියාගේ අවිඥාණයට නිකුත් කිරීම පමණි. එසේ නැතිනම් රෝගියාගේ අවිඥාණයේ තැන්පත් වී ඇති තොරතුරු, කරුණු කාරණා එළියට ඇද ගැනීම සඳහා ද මේ අවස්ථාව යොදාගත හැකිය. සමහරවිට රෝගියාගේ රෝගයට තුඩු දුන් පූර්ව සිදුවීම්, අතීත අතදැකීම් එළිපෙහෙළි කරගත හැකිය.

මෝහනය පිළිබඳව මේ ආකාරයට කෙටියෙන් හඳුනාගත හැකි අතර සැබවින්ම ස්වාපනය හෙවත් මෝහනය පුදගල බද්ධ ක්‍රියාකාරීත්වයකි. මේ සඳහා පිළිගත් එකම ක්‍රම ශිල්පයක් නොව විවිධ ක්‍රම ශිල්ප භාවිත කළ හැකි අතර උදාහරණ වශයෙන් තොවල් පවිල් වලදී කට්ටඩි මහත්වරුන් විසින් යන්ත්‍ර මන්ත්‍ර ජප කරමින් රෝගීන් ආවේශයට  පත් කිරීම දැක්විය හැකිය.

ප්‍රකට මෝහන චිකිත්සකයකු වන ස්වීඩන් ජාතික වෙටස්ට්‍රෑන්ඩ් ගේ වාර්තා අනුව රෝගීන් 3148 කින් ඔහුට මෝහනයට පත් කළ නොහැකි වී ඇත්තේ 97 දෙනෙකු පමණි. නැතහොත් 3% කි. නිර්වින්ධන ඖෂධයක් වශයෙන් අ වෛද්‍යවරු මෝහනය පාවිච්චි කරන අතර දරු ප්‍රසූතිය, දත් ගැලවීම, සුළු ශෛල්‍යකර්ම යනාදී අවස්ථා වලදී නිර්වින්දනය සඳහා මෝහනය සාර්ථාක ලෙස භාවිත කර ඇත. විචාරකයන් පවසන්නේ ක්ලෝරොෆෝම් නමැති නිර්වින්දන ඖෂධය සොයා ගැනීමෙන් අනතුරුව ස්වාපන නිර්වින්දනය යටපත් වූ බවයි.

අවසාන වශයෙන් මෝහනයේ ඇති අපූර්‍රත්වය සහ භයානක බව පිළිබිඹු කිරීම සඳහා මහාචාර්ය රොනල්ඩ් අබේපාල මහතාගේ " සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය " නමැති ග්‍රන්ථයේ සඳහන් පහත සඳහන් උද්දෘතය ද උපුටා දැක්වීම වටී.

" එක්තරා පුද්ගලයකුට බඩේ අමාරුවක් පෙනෙන රූමත් කාන්තාවක් දුම්රියේදී මුණ ගැසුණි. තමා වෛද්‍යවරයකු බවත් එය සුවකළ හැකි බවත් පැවසූ එකී පුද්ගලයා විශාල මුදලක් ලබාගෙන ස්වාපනය මඟින් එම කාන්තාවගේ බඩේ අමාරුව සුවපත් කළේය. ඊට පසුව හිසෙහි, කොන්දේ, කකුලේ අමාරුව ආදී වශයෙන් වරින් වර ඇණවුම් මඟින් රෝග බෝ කරමින් සහ ඒවා සුවපත් කරමින් අවුරුදු 7 ක් පුරා ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස වෙදකම් කරමින් එම කාන්තාවගේ ධනය සූරා කෑවේය. මේ අතර ස්වාපන ඇණවුම් මඟින් කාන්තාවගේ ලිංගික ආසා උද්දීපනය කරමින් තමන් සංතර්පණය වීමෙන් නොනැවතී වෙනත් පුද්ගලයන් සඳහා ඇගේ ලිංගිකත්වය අලෙවි කර මුදල තමන්ට ලැබෙන ආකාරයෙන් මෝහන ප්‍රතිකාර කළේය. මේ පුදුමාකාර මැජික් කතාව අවසාන වන්නේ එකී ව්‍යාජ දොස්තර විසින් ස්වාපන ඇණවුමක් මඟින් එම කාන්තාව ගඟට පැන දිවි නසා ගැනීමට පෙළඹවීම් කිරීමෙනි. ස්වාපනය සම්බන්ධ ඇඟ කිලිපොලා යන මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වෙයි. මෙබඳු ක්‍රියා ප්‍රචාරය වීමත් සමඟම ස්වාපනයේ වැදගත්කම හෑල්ලුවට පත් විය. සදාචාර විරෝධී නීති විරෝධී සොරකම් වැනි කටයුතු සඳහා ස්වාපන ඇණවුම් යොදාගත හැකි බව අධිකරණවලදී පවා සනාථ වී ඇත ".

Latest