Skip to content

Global positioning system (GPS) නැතිනම් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය පිළිබඳව ලියැවුණු ලිපි, පොත් පත් සඟරා සහ වීඩියෝ පට අති විශාල සංක්‍යාවක් අන්තර්ජාලයේ සොයා සපයා ගැනීම ඔබට මහත් වෙහෙසක් දැරිය යුතු නැති කාර්යයක් බව සැබෑය. එමෙන්ම වර්තමාන ලෝකයට මෙය අමුතු තාක්ෂණයක් ද නොවේ. අඩුම තරමින් ඔබ " මෙම බස් රථය GPS තාක්ෂණය මඟින් අධීක්ෂණය කෙරේ " යනුවෙන් බස් රථයක නාම පුවරුවක් හෝ දැක ඇත. නමුත් මීට පෙර ඔබ වෙත ගෙන ආ GIS සිංහලෙන් යන ලිපිය තුළින් ද මා ප්‍රකාශ කළ ආකාරයට මෙම තාක්ෂණයන් පිළිබඳව පවතින දැනුම අපට වඩාත් හුරුපුරුදු භාෂාවෙන් සහ මෙම තාක්ෂණයට ආධුනික පුද්ගලයකු හට තේරුම් ගැනීමට පහසු ආකාරයෙන්  නොපැවතීම විශාල ගැටළුවක් බව මාගේ පුද්ගලික අත්දැකීමයි. එබැවින් GPS සිංහලෙන් යනුවෙන් ගෙන එන මෙම ලිපිය ද විශේෂයෙන් පාසල් දරුවන්ට සහ විශ්වවිද්‍යාලයීය නවක ශිෂ්‍යයින් හටත් GPS පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස හටත් ප්‍රයෝජනවත් වේවි යැයි සිතමි. එක් අතකට මේ මොහොතේ ඔබට ප්‍රයෝජනවත් විය නොහැකිවීමට ඉඩ ඇතිමුත් අනාගතයේ යම් දවසක ඔබට මෙය වටීවි යැයි නැවත වරක් සිතමි.

GPS තාක්ෂණය ද වර්තමානයේ ලෝකයේ සෑම ක්ෂේත්‍රයයකටම නැතුවම බැරි තාක්ෂණයක් වී ඇති අතර GIS සිංහලෙන් යනුවෙන් ගෙන එන ලද ලිපිය තුළ මා ප්‍රකාශකර සිටියේ GIS හී වැඩකටයුතු කිරීම සඳහා අපට අවකාශීය දත්ත අවශ්‍ය වන බවත් අවකාශීය දත්ත බොහෝ විට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් රැස්කරන  බවත් ය. එසේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අවකාශීය දත්ත රැස් කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මෙවලමක් වන්නේ මෙම GPS තාක්ෂණයයි. ඒ අනුව නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පයන් හී ඉතා වැදගත් සහ ජනප්‍රිය යෙදවුමක් වශයෙන් හඳුනාගත හැකි GPS තාක්ෂණය යනු භූගෝලීය තොරතුරු පද්ධතිය නැතිනම් GIS සඳහා ද දත්ත සපයන ප්‍රධාන මූලාශ්‍රයකි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් GPS යනු දුරස්ථ සංවේදන මෙවලමකි. ( Rimote sensing tool )

GPS යනු පෘථිවියට ඉහළින් කක්ෂගත කර ඇති චන්ද්‍රිකා පද්ධතියක් මඟින් පෘථිවියේ ඕනෑම ස්ථානක් , කිසියම් වස්තුක් හෝ රූපමිතික් ඉතාම නිවැරදිව ඛණ්ඩාංකගතව හඳුනා ගැනීම සඳහා නිර්මාණය කොට ඇති යාන්ත්‍රණ පද්ධතියයි. නැතිනම් යම් වස්තුවක් මතුපිට හෝ ගුවනේ තිබෙන ස්ථානය අක්ෂාංශ සහ දේෂාංශ අනුසාරයෙන් ප්‍රකාශ කිරීමේ මූලික අරමුණ මත සැකසුණු තාක්ෂණය GPS වේ. ( ඔබ ශ්‍රී ලංකාවේ පිහිටීම දක්වන විට උතුරු අක්ෂාංශ 5-10 අතර සහ නැගෙනහිර දේෂාංශ 79-82 ත් අතර පිහිටා ඇතැයි යන්න අසා ඇත. මෙසේ අක්ෂාංශ සහ දේෂාංශ අගයන් දැන ගැනීමට භාවිත කරන්නේ GPS තාක්ෂණයයි )

GPS තාක්ෂණයේ මූල බීජයන් පිළිබඳව සාකච්ඡා කරන්නේ නම් ලෝක බලවතා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය තම යුධ ශක්තිය සහ බලය ලෝක ප්‍රජාවට නිතර නිතර ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගන්නා රාජ්‍යයකි. යුද්ධයකදී නිසි තැනට තම ප්‍රහාරක යානා, භට පිරිස් සහ නාවික යාත්‍රා ස්ථානගත කිරීම මඟින් අනෙක් රටවල් අභිබවා යෑම යුද්ධයකදී ඉතාම වැදගත්වන බව ඇමෙරිකාව මුල් කාලයේ සිටම දැන සිටි කරුණකි. මෙවැනි පසුබිමක් තුළ GPS තාක්ෂණය 1978 වර්ෂයේදී ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් මුල්වරට හඳුන්වා දුන් අතර එලෙස හඳුන්වා දෙන ලද්දේ ආරක්ෂක යුධ මෙවලමක් වශයෙනි.

මෙම අවධිය වන විට ඇමෙරිකාව වියට්නාම් යුද්ධය අවසන් වී සෝවියට් දේශය සමඟ සීතල යුද්ධයක පැටලී සිටි අවධියක් විය. සීතල යුද්ධයේදී එකිනෙකා අවි අමෝරා සටන් නොකලද යුධ උපකරණ, තාක්ෂණය, භට පිරිස් සහ වෙනත් රාජ්‍යයන් තම කඳවුරට එකතුකර ගැනීම ආදී ක්‍රමවේදයන් හරහා තම බලය එකිනෙකාට ප්‍රදර්ශනය කරන්නට වූ අතර මෙම ක්‍රියාදාමයේ ඉදිරි පියවරක් වශයෙන් මෙලෙස ඇමෙරිකානු ආර්ක්ෂක දෙපාර්තමේන්තුව මඟින් GPS තාක්ෂණය ලොවට හඳුන්වා දෙන්නට විය. කෙසේ නමුත් GPS සඳහා මූලික පර්යේෂණ කටයුතු 1960 දී පමණ ආරම්භ වී මෙය මුල් කාලයේ සම්පුර්ණයෙන්ම යුධ අරමුණු සඳහා පමණක් භාවිත වූ අතර GPS තාක්ෂණය හා සම්බන්ධ ඉතා වැදගත් සිද්ධියක් වශයෙන් 1983 දී සැප්තැම්බර් මස පළමු දින සෝවියට සමූහාණ්ඩුව විසින් කොරියානු සිවිල් ගුවන්‍ යානයක් විනාශ කිරීමේ සිද්ධිය ගත හැකිය.

මෙයට හේතුව වූයේ කොරියාව මඟින් සෝවියට් ගුවන් සීමාව උල්ලංගනය කිරීමය. මෙයට හේතුව වී ඇත්තේ ගුවන් යානයට ගුවනේදී ඇති වූ මඟ සෙවීමේ දෝෂයකි.  ලොවම කම්පා කරවූ මෙම සිද්ධියෙන් පසුව ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් 1983 සැප්තැම්බර් මස 16 වනදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ සිවිල් ගුවන් ගමන් කටයුතු සඳහා ද GPS තාක්ෂණය ගාස්තුවකින් තොරව ලබාදෙන බවටය. කෙසේ නමුත් වර්තමානය වන විට ඉතාම පහසුවෙන් ජංගම දුරකථන හරහාද මෙම තාක්ෂණය බොහෝ කටයුතු සඳහා භාවිත කළ හැකිය. නමුත් ඔබ මෙහිදී මතකතබාගත යුතු ඉතා වැදගත් කරුණක් පවතී. එනම් GPS යනු ස්ථානයක පිහිටීම සොයා ගැනීම සඳහා භාවිතවන එක් තාක්ෂණයක් පමණක් බවය. මෙය වඩාත් ජනප්‍රිය බැවින් අප බොහෝවිට දන්නේ GPS පිළිබඳව පමණි. නමුත් ලෝකයේ GPS හැරුණු විට කිසියම් ස්ථානයක පිහිටීම සොයා ගැනීම සඳහා නිර්මාණය කර ඇති පද්ධති කිහිපයක් ඇත. ලෝකයේ වෙනත් බලවත් රාජ්‍යයන් ද ඇමෙරිකාවට අභියෝගයක් වෙමින් ඔවුන්ට ආවේණික වෙනත් මෙහෙයුම් පද්ධති භාවිත කිරීමට නැඹුරු වූ නිසා වෙනත් පද්ධති කිහිපයක් ද නිර්මාණය විය. උදාහරණ ලෙස

1. රුසියාවේ GLONASS ( Global navigation sattelite system ) මෙය දැනටමත් රුසියාවේ යොදාගන්නා අතර සමහර ස්මාර්ට් ජංගම දුරකථන තුළ ද මෙය යෙදවුමක් ලෙස ඇත.

2. යුරෝපීය සංගමයේ Galileo positioning system

3. චීනයේ BeiDou navigation sattelite system

4. ඉන්දියාවේ NAVIC ( මෙම පද්ධතිය හරහා ඉන්දියාව මේ වන විට චන්ද්‍රිකා හයක් මඟින් සිය භූමි ප්‍රමාණය ආවරණය කර අවසන්.)

5. ජපානයේ Quasi - zenith sattelite system ( ජපානය මෙම පද්ධතිය හරහා චන්ද්‍රිකා දෙකක් මඟින් GPS තාක්ෂණයෙන් ආවරණය නොවන ප්‍රදේශ ආවරණය කරයි )

පෘථිවිය වටා කක්ෂගත වී තිබෙන චන්ද්‍රිකා යොදාගනිමින් සිදුකර ඇති GPS නම් තාක්ෂණික විෂ්මකර්මය මඟින් එය භාවිත කරන්නන් හට නිවැරදි පිහිටීම ලබාදෙන අතර එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. එනම් අභ්‍යාවකශ කොටස (space segment), මෙහෙයුම් පද්ධතිය (control segment) සහ පාරිභෝගිකයන් (users sgment) වශයෙනි.

අභ්‍යවකාශ කොටස ගත් විට මෙහි ප්‍රධාන වන්නේ කක්ෂගතකර ඇති චන්ද්‍රිකාවන් ය. පෘථිවි පෘෂ්ඨයට 20,180 km ක් පමණ ඉහළින් මෙම චන්ද්‍රිකා කක්ෂගත කර ඇත. කක්ෂයක් යන්නට බොහෝ දෙනා දන්නා වචනය වන්නේ orbit ය. සම්පූර්ණ කක්ෂ නැතිනම් orbit හයක් වන අතර එක් කක්ෂයකට චන්ද්‍රිකා හතර බැගින් ක්‍රියාකාරී චන්ද්‍රිකා විසි හතරක් ක්‍රියාත්මක වේ. එපමණක් නොව මොන යම් හෝ හේතුවක් මත චන්ද්‍රිකාවක් අකර්මණ්‍ය වුවහොත් භාවිතයට ගැනීම සඳහා අමතර චන්ද්‍රිකාවක් සෑම කක්ෂයකම ස්ථානගතකර ඇත. සෑම චන්ද්‍රිකාවක්ම දිනකට පෘථිවිය වටා දෙවරක් ගමන් කරන අතර යම් ස්ථානයක සාර්ථකව අක්ෂාංශ දේෂාංශ පිහිටීම ලබා ගැනීමටනම් චන්ද්‍රිකා හතරක් මඟින් රේඩියෝ තරංග GPS මෙවලම සඳහා ලැබිය යුතුය.

දෙවන කොටස වන්නේ පාලක කොටසයි. ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙය නිර්මාණය කර ඇති බැවින් පාලන කටයුතු සිදුකරන්නේ එම ආරක්ෂක දෙපාර්තමේන්තුව වන අතර එහි ප්‍රධාන මෙහෙයුම් පාලන මැදිරිය එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තයේ පිහිටා ඇත. ඊට අමතරව පරිවාර මෙහෙයුම් පාලන මැදිරි කිහිපයක් ලෝකයේ රටවල් කිහිපයක ස්ථාපිත කර ඇත.

පාලක කොටස ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන, මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ඇන්ටෙනා මධ්‍යස්ථාන වශයෙන් නැවත කොටස් තුනකට බෙදෙන අතර ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයේ කොළරාඩෝවල පිහිටා ඇති බව මීට පෙර සඳහන් කළ අතර ඉන් පසුව ප්‍රධාන වශයෙන් මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටා ඇති ස්ථාන පහකි. එනම් කොළරාඩෝ ස්ප්‍රින්ග්ස්, හවායි දූපත්, ඇසෙන්ෂන්, දියාගෝ ගාෂියා සහ ක්වායින් ය. එමෙන්ම ඇන්ටෙනා මධ්‍යස්ථාන ද මෙම ස්ථානවල පිහිටා ඇත.

අවසාන කොටස වන පරිශීලක කොටසට අයත් වන්නේ අපය. එනම් කුමන හෝ අවශ්‍යතාවයක් සඳහා GPS භාවිත කරන පිරිසය. GPS මඟින් නිකුත්කරන තොරතුර රිසීවරයක් මඟින් ඔබට ලබාගත හැකිය. උදාහරණ ලෙස ඔබට ඔබගේ නිවසේ පිහිටීම දැනගැනීමට අවශ්‍ය වූවා යැයි සිතමු. ඒ සඳහා ඔබ GPS දුරකථන යෙදවුමක් මඟින් නිවසේ පිහිටීම විමසා බලන්නේ නම් ඔබ අයත් වන්නේ මෙම පරිශීලක කොටසටය. (ඔබ එසේ ඔබේ නිවසේ පිහිටීම අක්ෂාංශ සහ දේෂාංශ අනුව ලබාගත් පසුව ඔබට අවශ්‍යනම් GIS සිංහලෙන් යන ලිපියෙහි දැක් වූ පරිදි එම අක්ෂාංශ සහ දේෂාංශ අගයන් arc  gis මෘදුකාංගය වෙත ලබාගෙන සහ ශ්‍රී ලංකාවේ ග්‍රාම නිළධාරී වසම් දැක්වෙන shp file එකද එයට සම්බන්ධ කර ඔබගේ නිවසේ සිතියමක් සාදාගත හැකිය) GPS රිසීවර රථවාහන තුළ, නිවාස තුළ සවි කිරීමටත් අතේ ගෙන යෑමටත් හැකි අතර විශේෂයෙන් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය ද GPS ග්‍රාහක උපකරණයක් ලෙස භාවිත කළ හැකිය. ඔබට කිසියම් ස්ථානයක නිවැරදි පිහිටීම ලබා ගැනීමට අවශ්‍යනම් ප්ලේස්ටෝහී gps cordinator නමින් ඇති පහත සඳහන් දුරක්ථන යෙදවුම වඩාත් සුදුසුවන බව මාගේ අදහසයි.

GPS පිළිබඳව මේ දක්වා මෙම සටහන කියවූ ඔබට මේ වන විට එක් ගැටළුවක් පැන නැගී ඇත. එනම් චන්ද්‍රිකා සම්බන්ධ වී GPS මඟින් කිසියම් ස්ථානයක නිවැරදි පිහිටීම දක්වන්නේ කෙසේ ද ? යන ගැටළුවයි. එයට පිළිතුරු ලබාදෙන්නේ නම් GPS මඟින් කිසියම් ස්ථානයක නිවැරදි පිහිටීම සොයා ගැනීම වඩාත් සංකීර්ණ ක්‍රියාවලියක් සේ පෙණුන ද එය එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවන බව කීම සාධාරණය. මෙහිදී නිවැරදි පිහිටීම සොයා ගැනීම සඳහා භාවිත වන්නේ trilateration (ත්‍රිකෝණකරණය) නම් ක්‍රමයයි. මෙහි ඇති සරල ස්ද්ධාන්තය වන්නේ චන්ද්‍රිකාවේ සිට ග්‍රාහකයා වෙත ඇති දුර මැන ගැනීමයි.

පෘථිවිය වටා ගමන් කරන GPS චන්ද්‍රිකා ගෝලයක් ආකාරයට රේඩියෝ තරංග විමෝචනය කරන අතර එහිදී පෘථිවියේ සිටින GPS ග්‍රාහකයෙකුට මෙම තරංග ලැබේ. නමුත් මෙහිදී එක් එක් චන්ද්‍රිකාවට දුර මැන ගැනීමට හැකි වූවත් නිශ්චිත ස්ථානය ප්‍රකාශ කළ නොහැකිය. එයට හේතුව වන්නේ එක සමාන දුරකින් යුත් වපසරියක රේඩියෝ තරංග පැතිරීමය. යම් ස්ථානයක නිවැරදි පිහිටීම නිර්ණය කිරීමේදී චන්ද්‍රිකා අවම වශයෙන් හතරක් සම්බන්ධ වන්නේ මේ නිසාය. චන්ද්‍රිකා හතරක් සම්බන්ධ වූ විට වෘත්තාකාර වපසරයකින් විහිදෙන රේඩියෝ තරංග විච්ඡේදනය වන ස්ථාන කිහිපයක් ඇති බැවින් වඩාත් නිවැරදිව යම් ස්ථානයක පිහිටීම නිර්ණය කළ හැකිය. මේ දක්වා මා සටහන් කළ මෙම කරුණු සියල්ල පහත රූප සටහනත් සමඟ විමසා බලන්නේ නම් මෙහිදී වන ක්‍රියාවලිය ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.

මේ දක්වා ඔබ හඳුනාගත් GPS තාක්ෂණය මෙතරම් අවශ්‍ය වන්නේ ඇයි ? මෙම තාක්ෂණය භාවිත වන්නේ කුමන ක්ෂේත්‍රවල දැයි යනුවෙන් ද ඔබට ගැටළුවක් ඇත් නම් එම ගැටළුවට ද පිළිතුරු ලබා දෙන්නේ නම් GPS තාක්ෂණය සන්නිවේදන කටයුතු සඳහා, ගුවන් ගමන් කටයුතු සඳහා, නාවික කටයුතු සඳහා, ගොඩබිම් ප්‍රවාහන කටයුතු සඳහා, ධීවර කටයුතු සඳහා, ඛණිජ ගවේෂණය සඳහා, භූ විද්‍යා කටයුතු සඳහා, සිතියම්කරණය සඳහා, කාළගුණ විශ්ලේෂණය සඳහා, භූමි පරිහරණ කටයුතු සඳහා, යුධ හා ආරක්ෂක කටයුතු සඳහා, වනජීවී කටයුතු සඳහා, පාරිසරික කටයුතු සඳහා ආදී ක්ෂේත්‍රයන් රාශියක GPS භාවිත වේ. කෙසේ නමුත් GPS මූලිකවම භාවිත කරණුයේ කිසියම් ස්ථානයක නිවැරදි පිහිටීම නිර්ණය කිරීම සඳහා ය.

ඉහත සඳහන් ක්ෂේත්‍ර කිහිපයක GPS භාවිතාව පිළිබඳව කෙටියෙන් විමසා බලන්නේ නම් වනජීවී කටයුතු වලදී පාරිසරික වශයෙන් ඉතා සංවේදී සහ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොට්ඨාශයන්හී තිරසාර පැවැත්ම තහවුරු කිරීම සඳහා මෙම තාක්ෂණය විශේෂයෙන් යොදාගනු ලබයි. මෙහිදී සිදුකරණු ලබන්නේ අදාළ සත්වයාගේ සිරුරෙහි GPS Tracking උපකරණයක් සවිකර එම සත්වයාගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම් ආදිය නිරීක්ෂණය කිරීමයි. එමෙන්ම සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයන් විශ්ලේෂණය කිරීම සඳහා ද මෙම තාක්ෂණය යොදාගනු ලබයි. පහත රූපය මඟින් පක්ෂියකුගේ ගමන් මාර්ගය විශ්ලේෂණය කර ගැනීම සඳහා GPS යොදාගෙන ඇති ආකාරය පැහැදිලි වේ.

පරිසර සංරක්ෂණය සඳහා GPS හී භාවිතාව විමසා බලන්නේ නම් ලෝකයේ බොහෝ රටවල පාරිසරික වශයෙන් ඉතා සංවේදී ස්ථානයන්හී දත්ත රැස් කිරීම, නිරීක්ෂණය කිරීම GPS මඟින් සිදු කරයි. එමෙන්ම කුණු කසළ කළමණාකරණය කිරීමේදී මෙම තාක්ෂණය යොදාගත හැකි බවට ශ්‍රී ලංකාව තුළින්ම නිදසුන් සපයා ඇත. එනම් GPS හා සම්බන්ධ වූ දුරකථන යෙදවුමක් සිය ප්‍රදේශයේ කසළ කළමණාකරණය කිරීම සඳහා ඇඹිලිපිටිය නගර සභාව විසින් හඳුන්වා දුන් අතර කුණු කසළ බැහැර කර ඇති ස්ථාන, කසළ එකතු කිරීමේ රථ ගමන් කරන මාර්ග ආදිය නිරීක්ෂණය කිරීමටත් අනවසර කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටත් මේ හරහා අවස්ථාව ලබාදෙන ලදී.

නාවික කටයුතු සඳහා ද GPS ප්‍රධාන වශයෙන් භාවිත වේ. සමුද්‍රීය යාත්‍රා ගමනාගමනයට මං සොයා ගැනීම, සමුද්‍රීය සෙවුම් සහ ගලවා ගැනීම් කටයුතු සඳහා මෙය යොදාගන්නා අතර මෙමගින් නාවිකයන් හට ආරක්ෂාව සපයමින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නංවයි. යාත්‍රා වරායෙන් පිට වී නැවත පැමිණීම දක්වා නිවැරදි මං සළකුණු සොයා ගැනීම අවශ්‍ය වන අතර ඒ සඳහා සහයට සිටින්නේ GPS ය.

GPS හී මූලික කාර්යය වන්නේ කිසියම් ස්ථානයක නිවැරදි පිහිටීම දැක්වීම වන අතර එමගින් ගොඩබිම් ප්‍රවාහනය ද වඩාත් කාර්යක්ෂම කර ඇත. ගොඩබිම් ප්‍රවාහන ක්ෂෙත්‍රයේදී ද මෙමගින් පහසු ප්‍රවේශයන් සපයා ඇති අතර විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේදී මෙය නැතුවම බැරි මෙවලමක් බවට පත්ව ඇත. තමන්ගේ ගමනාන්තය වෙත ළඟා වීම සඳහා මෙය මාර්ගෝපදේශ සපයන අතර එපමණක් නොව ගමන් මාර්ගයන් අධීක්ෂණය කිරීමට ද මෙමඟින් හැකියාව ලැබී ඇත. ( මෙම බස් රථය GPS තාක්ෂණය මඟින් අධීකෂණය කෙරේ යනුවෙන් බස් රථ තුළ සඳහන් කර තිබීම ඔබ බොහෝ විට දැක ඇතැයි සිතමි. )

GPS භාවිතය ගාස්තුවකින් තොරව අපට විවෘත වන්නේ ගුවන් ගමනාගමනයේදී ඇති වූ සිද්ධියක් මූලික කරගෙන බව මීට පෙර සඳහන් කරන ලදී. 1983 සැප්තැම්බර් මස පළමුවන දින සෝවියට් සමූහාණ්ඩුව විසින් කොරියානු ගුවන් යානයක් විනාශ කළ බව ඔබ දැනටමත් දන්නා කරුණකි. එයට හේතුව වූයේ කොරියානු ගුවන් යානයට ඇති වූ මං සෙවීමේ දෝෂයක් හේතුවෙන් සෝවියට සමූහාණ්ඩු ගුවන් සීමාවට ඇතුළු වීම බවද ඔබ දනී. නමුත් ඉතිහාසයේ ගුවන් ගමනාගමනයේදී ඇති වූ මෙවැනි මං සෙවීමේ දෝෂ GPS මඟින් මේ වන විට වලකා ඇත. ඒ අනුව වඩාත් සාර්ථක අයුරින් ගුවන් යානා සඳහා නිවැරදි මං සළකුණු කරමින් ආරක්ෂාකාරී සහ කාර්යක්ෂම ගුවන් සේවයකට අවස්ථාව GPS මඟින් සලසා දී ඇත.

සිතියම්කරණ කටයුතු සඳහා GPS හී භාවිතාව පිළිබඳව විමසා බලන්නේ නම් GPS යනු නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පයක් බවත් එය භූගෝලීය තොරතුරු පද්ධතිය සඳහා  දත්ත සපයන ප්‍රධාන මූලාශ්‍රයක් වන බවද මේ වන විට ඔබ දනී. GPS මඟින් සපයන දත්ත හරහා arc gis වැනි මෘදුකාංග තුළ සිතියම් නිර්මාණය කිරීම සිදුකරණු ලබයි. ඒ සඳහා පහසුකම් arc gis වැනි මෘදුකාංග තුළ ඇත. එපමණක් නොව මං සෙවීම සඳහා ඔබ නිතර භාවිත කරන google maps ද පදනම් වන්නේ මෙම GPS තාක්ෂණය මතය.

ආරක්ෂක කටයුතු සඳහා GPS තාක්ෂණයේ භාවිතය පිළිබඳව විමසා බලන්නේ නම් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් මෙය නිර්මාණය කරන ලද්දේම ආරක්ෂක කටයුතු සඳහා ය. එහිදී යුධ සිතියම් නිර්මාණයට, ප්‍රහාරක යානා සහ භට පිරිස් නිරීක්ෂණයට ඔවුන් ස්ථානගත කිරීමට ආදී කටයුතු සඳහා GPS සහාය ලබා දේ. එපමණක් නොව ආරක්ෂක ක්ෂේත්‍රය ගත් විට පුද්ගල ආරක්ෂණය, තම පුද්ගලික දේපළ ආරක්ෂණය, ආයතන ආරක්ෂණය වැනි කටයුතු සඳහා මෙය භාවිත වේ. එක් එක් ක්ෂෙත්‍රයන් තුළ GPS හී භාවිතාව හඳුනා ගැනීමේදී මෙය මූලික වශයෙන් කිසියම් ස්ථානයක නිවැරදි පිහිටීම හඳුනා ගැනීම සඳහා භාවිත වන තාක්ෂණයක් බව පැහැදිලි ය.

මේ ආකාරයට GPS තාක්ෂණයේ මූලික හැඳින්වීමක් තුළින් ඔබට මට පෙනී යන්නේ මෙය ඔබට මට සහ මුළු මහත් ලෝකයට ඉතා වටිනා අසිරිමත් මෙවලමක් බවය. නමුත් අප මෙහිදී මතක තබාගත යුතු තවත් කරුණක් ඇත. එනම් GPS හී සීමාවන් කිහිපයක් ද පවතින බවය. ඒවා නම් ඝණ වනාන්තර , දොරු, බිත්ති , පාලම් සහ තාප්ප ආදිය ඇතිවිට GPS අවහිර වියහැකි අතර එවිට නිවැරදි පිහිටීම සොයා ගැනීම අපහසු වේ. සමහරවිට GPS ගෘහාශ්‍රිතව සහ භූගත ස්ථානවලදී ක්‍රියා නොකරයි. චන්ද්‍රිකා නඩත්තුව සහ සූර්ය කුණාටු ආදිය මගින් GPS ආවරණ හිඩැස් ඇතිවිය හැකිය. සාමාන්‍ය GPS සේවා මගින් ලබා ගන්නා තිරස් තොරතුරු වල සීමාව මීටර් කිහිපයක් වෙනස්විය හැකි අතර සිරස් තොරතුරු වල නිරවද්‍යතාව අවම විය හැකිය. නමුත් මිලිටරි සහ වාණිජ සේවා සඳහා මුදල් ගෙවා ලබාගත හැකි වඩා නිවැරදි GPS පිරික්සුම් සේවා ඇත. එමෙන්ම GPS මඟින් පුද්ගලයින් සිටින ස්ථාන නිරීක්ෂණය කළ හැකි බැවින් ඒ හරහා පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට හානි සිදුවන බවට ද විවේචන ඇත.

ආරම්භයේ සඳහන් කළ ආකාරයට GPS පිළිබඳව ලියැවුණු ලිපි, ග්‍රන්ථ සහ වීඩියෝ පට අන්තර්ජාලයේ අපමණ ප්‍රමාණයක් තිබුණද මේ සම්බන්ධයෙන් අපට හුරුපුරුදු භාෂාවෙන් පවතින දැනුම ඉතා අල්පය. දැනුම පැවතිය ද තාක්ෂණය පිළිබඳව මූලික හැඳින්වීමක් ලබා ගැනීමට එය ප්‍රමණවත් නොවිය හැකිය. උදාහරණ ලෙස ඔබට GPS යනු කුමක් ද, එහි ඉතිහාසය, එහි ක්‍රියාකාරීත්වය සහ එහි භාවිතය ආදිය පිළිබඳව දැන ගැනීමට අවශ්‍යනම් ඔබට එක් එක් කරුණ සඳහා ලිපි කිහිපයක් කියවීමට සිදුවන බව මාගේ පුද්ගලික හැඟීමය. නමුත් එම ගැටළුව මඟහරවා ගැනීමට ඔබට මෙමගින් හැකිවනු ඇති බවත් සහ විශේෂයෙන් උසස්පෙළ පාසල් දරුවන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ යැයි ද සිතමි. මෙම ලිපි පෙළ හරහ මී ළඟට rimote sensing සිංහලෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

Latest