Skip to content

සංස්කෘතිය යනු කුමක් ද?

සංස්කෘතිය යන පදය සමඟ ශ්‍රී ලාංකික සමාජය නොයෙකුත් අවස්ථාවලදී ගැටෙන සිද්ධීන් ඉතාමත් සුලභ වන අතර මෑත අපට මතක සිද්ධ් කිහිපයක් ගතහොත් විටෙක ඔවුන් ගුරුතුමියන්ලාගේ සාරිය සංස්කෘතික සමඟ පටලවන ලදී. තවත් විටෙක උඩරට පාරම්පරික මුල් ඇඳුම් සංස්කෘතිය සමඟ පටලවන ලදී. තවත් විටෙක වසර දෙදහස් පන්සීයක ඉතිහාසය සංස්කෘතිය සමඟ පටලවයි.

මේ ආකාරයට සංස්කෘතිය යන පදයෙන් අපට කිසිම විට ගැලවීමක්නම් ලැබී නැත. නමුත් මෙය මගේ පුද්ගලික අදහසකි. එනම් අප නොයෙක් නොයෙක් අවස්ථාවලදී විවිධ කාරණා උදෙසා සංස්කෘතිය යන පදය ගාවා ගත්ත ද එය හරි හැටි විග්‍රහ කර නොගැනීමේ විශාල අඩුවක් පවතී.

බොහෝ පිරිස සංස්කෘතිය යනු මෙන්න මෙයයි කියා නිර්වචනයක් ඉදිරිපත් කර ඉන් පසුව සංස්කෘතිය හා සම්බන්ධකරන අනෙක් කාරණාව විග්‍රහ කිරීමට යනු විනා සංස්කෘතිය යනු කුමක්දැයි කරුණු ඇතිව විග්‍රහ කිරීමට නොයෑම සැබවින්ම කණගාටුවට කරුණක් යැයි සිතෙන බැවින් මෙම ලිපිය ඔස්සේ සංස්කෘතිය යනු කුමක්දැයි යන්න නිසි ලෙස විග්‍රහ කර ගැනීමට උත්සාහ දරමු. එය ඔබට මතු යම් දිනෙක සංස්කෘතිය සම්බන්ධ කාරණා විග්‍රහ කර ගැනීමට යෑමේදී උපස්ථම්භක වේ යැයි බලාපොරොත්තු වෙමි.

සැබවින්ම සංස්කෘතිය යනු කුමක් ද ?

ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන culture යන පදයට අනුරූපිතව සිංහලෙන් සංස්කෘතිය යන පදය ගොඩනැගී ඇති අතර එයින්ම සංස්කෘතිය යනු කුමක් ද යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචනය ගෙනහැර දැක්වීම ආරම්භ කරන්නේ නම්

" මානව චර්යාව, එනම් වාචික සහ වාචික නොවන නිෂ්පාදන ඇතුළත් සහ භෞතික නොවන සංස්කෘතිය ද ඇතුළත් කරගත් සියල්ල පොදුවේ සංස්කෘතිය වශයෙන් හැඳින් වේ ".

" තවත් තැනක සඳහන් වන ආකාරයට සංස්කෘතිය යනු මිනිසුන්ගේ ජීවන රටාවයි. මිනිසුන්ගේ ජීවන රටාව කලින් කලට වෙනස් වන්නා සේම සංස්කෘතිය ද කලින් කලට වෙනස් වේ".

" සංස්කෘතිය යනු ආගම භාෂාව ආදිය නිසා ඇති වූ හැඩ ගැස්ම, හැදුණුකම, අධ්‍යාපනය සහ අභාෂය කරන කොටගෙන මිනිසුන්ගේ ඇති වූ සිතු පැතුම්, ඇවතුම් පැවතුම් ආදියේ දියුණුවයි ".

" මිනිසා සිය ඉතිහාසය මුළුල්ලේ රැස් කරන ලද සිය ඥාණමය සහ භාවමය සම්පත් සියල්ල සංස්කෘතිය වන අතර ඥාණමය සම්පත් යනු ශ්‍රී ලංකාවේ නම් අප කාලයක් තිස්සේ පුරුදු පුහුණු කළ වාරි තාක්ෂණය, කෘෂිකාර්මික තාක්ෂණය ආදී දැනුමයි. භාවමය සම්පත් යනු ආදරය, කරුණාව,  දයාව, ත්‍යාගශීලී බව, ආගන්තුක සත්කාරය ආදී හැඟීම් ගුණදහම් ය. මෙයින් තව දුරටත් ඉදිරියට යන්නේ නම් මෙම ඥාණමය සහ භාවමය සම්පත් ඉදිරි පරම්පරාවට පවරා දීම අපි අධ්‍යාපනය වශයෙන් හඳුන්වමු

සැබවින්ම ඕනෑම මාතෘකාවක් සාකච්ඡා කිරීමට යෑමේදී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන ප්‍රථමයෙන් දැක්වීම සිරිත වන අතර එබැවින් සංස්කෘතිය හා සම්බන්ධ ඉදිරිපත් වී ඇති නිර්වචන රාශියක් අතරින් මෙම නිර්වචන කිහිපය ගෙනහැර දැක්විය හැකිය. මන් ද ලාංකික සමාජයේ විද්වතුන් සංස්කෘතිය සම්බන්ධයෙන් බොහෝ විට යොදාගනු ලබන්නේ මෙම නිර්වචනය.

කෙසේ නමුත් වසර මිලියන ගණනක් වූ මානව ඉතිහාසය දෙස අවධානය යොමුකර බැලීමේදී මිනිසා යනු හුදෙකලාව වාසය කෙරූ ජීවියකු බව හඳුනාගත නොහැක. මිනිසා ද ඇතුළුවන ප්‍රිමාටාවන් යනු උපතින්ම සමාජශීලීත්වයට හුරු වූ සත්වයෙකි. අතීතයේ සිට කණ්ඩායම් වශයෙන් ජීවත් වූ මානවයා සිය ආරක්ෂාව සහ අකණ්ඩ පැවැත්ම උදෙසා විවිධාකාර නීති රීති ගොඩනගන්නට වූ අතර මන් ද කණ්ඩායමක් වශයෙන් ජීවත්වන විට කිසියම් සම්මුතියක් අවශ්‍ය වන බැවිනි.

කෙසේ නමුත් මෙම නීති රීතීන් ගොඩ නගා ඇත්තේ මිනිසා යුග වශයෙන් පරිණාමය වීමේදී ලද අත්දැකීම අනුවය යන වග හඳුනා ගත හැකි අතර උදාහරණ ලෙස දක්වන්නේ නම් තමන්ට වැඩි වශයෙන් ලැබුණු හෝ වාසි සිදු වූ ප්‍රදේශ දෙවියන්ගේ අඩවි ලෙස සලකා භක්‍තිමත්බවක් සහ පූජනීය බවක් එයට පුදකර ඇත.

මානව ප්‍රජාව ක්‍රමිකව විකාශනය වෙත්ම ඔවුන් සතු ජීවන තත්වයන් ද වර්ධනය වන්නට වූ අතර ඊට සමගාමීව ඔවුන් සම්මතය තුළින් පනවා ගත් නීති රීති ප්‍රමාණය ද සංක්‍යාත්මකව වැඩි වූ අතර එයට අනුරූපව විවිධත්වයන් ද වර්ධනය වී ඇත. සිතන්න අපි අද අතුකොළ වලින් අපගේ නිරුවත් වසා ගැනීමට නොයා ඇඳුම් අඳින්නේ අපගේ ජීවන තත්වය ක්‍රම ක්‍රමයෙන් යුග ගණනක් තිස්සේ වර්ධනය වූ බැවිනි. එසේ ජීවන තත්වය යුග ගණනක් තිස්සේ වර්ධනය නොවූ මිනිසුන් ද ලෝකයේ ඇත.

පසු කාලීනව මෙම තත්වය සංවර්ධනය ඔස්සේ  වෙනස්වන අතර විවිධ ආකාරයේ යාග හෝම මූලිකකොට සලකන්නට විය. නමුත් මෙම තත්වය වර්තමානයේ පවතින ඉතා සංකීර්ණ ආගමක් ලෙස වටහා ගැනීම නොකළ යුතු අතර අදෘෂ්‍යමාන භෞතික දේ මගින් ආරක්ෂාව සහ පිහිට පැතීමේ ගුණාංග පදනම්කොටගනිමින් බිහි වූ ඇදහිල සහ විශ්වාස දක්වා මෙම රීති මාලාව විවිධ අවධි පසු කරමින් සංවර්ධනය වූ අතර ලොව විවිධ යුගයන්හී පහළ වූ විවිධ ආගම් මගින් මෙම පොදු රීති මාලාව පෝෂණය වීම තුළ ලෝකයේ ආගම් සංවර්ධනය වීම සිදුව ඇත.

ඒ අනුව ආගම් සහ පොදු රීති මාලාවන්ගේ ගුණාංග රැගත් සංස්කෘතිය නම් සම්මතයක් ලෝකයේ බිහිවීම සිදු වී ඇත. එසේම යම් රීති මාලාවන් වෙත විවිධ ආගම්වලින් වන බලපෑම එම සංස්කෘතිය සඳහා ආගම එකතු වී ඇති අනුපාතයට අනුලෝම අනුපාතයන් විචලනය වන්නේ අනෙකුත් සමාජයීය අවශ්‍යතාවලට ගැළපෙන අයුරිනි.

උදාහරණයක් ලෙස දක්වන්නේ නම් ශ්‍රී ලාංකික සමාජය තුළ  වූ පොදු රීති මාලාවන් විශාල වශයෙන් බෞද්ධ දර්ශනය සමග බද්ධ වීමෙන් සිංහල සංස්කෘතිය නිර්මාණය වී ඇත. මෙලෙස ක්‍රිස්තියානි ආගම ඇතුළත්ව ක්‍රිස්තියානි සංස්කෘතිය බිහි වී ඇත. මේ අයුරින් ලොව ප්‍රතිසන්ධිය ලද සංස්කෘතීන් විශාල ගණනක් දක්නට ලැබෙන අතර මේ අනුව සංස්කෘතිය යනු පොදු රීති මාලාවන් හා ආගම්‍ යන අනුපාතයන්ගේ මිශ්‍ර වීමෙන් සෑදෙන්නක් ය යන්න මේ වන විට ඔබට පැහැදිලි වී ඇත.

සංස්කෘතිය යන පදය ලාංකීය සමාජය තුළ නොයෙකුත් අර්ථ නිරූපණය කරන බව ද විටින් විට පැමිණෙන සමාජ කතිකාවන් තුළ හඳුනාගත හැකි අතර එහීදී විටෙක සාමාන්‍ය ව්‍යවහාරයේ සංස්කෘතිය යන අර්ථයේ උස් පහත් වීමක් සහ ශිෂ්ඨ අශිෂ්ඨ යනුවෙන් බෙදීමක් දක්නට ලැබේ. උදාහරණ ලෙස ශිෂ්ඨ සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පංති නියෝජනය කරන සමාජයයි. අශිෂ්ඨ යැයි කියූ විට ම්ලේච්ඡ සමාජ සංස්කෘතියක් ගැන ද කියැවේ.

මානව විද්‍යාවේද සංස්කෘතිය යන සංකල්පය සවිස්තරාත්මකව විග්‍රහ වන අතර එසේම එමගින් විද්‍යාත්මක පදනමක් ද දැකගත හැකිය. මානව සමාජයේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධ වන බව එහිදී කියැවෙන අතර එහිදී එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි ආයුධ, ඇඳුම් පැලදුම් ,සිරිත් විරිත්, විශ්වාස සහ පුද පූජා ආදී සියල්ලම සංස්කෘතියට අයත්වන බව මානව විද්‍යාවේ කිය වේ.

මේ ආකාරයට සංස්කෘතිය යන්න විවිධ අයුරින් විවිධ ලෙස විග්‍රහ කරගත හැකි අතර අපට එදිනෙදා ජීවිතයේ සංස්කෘතිය සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට සහ යම් යම් කාරණා සම්බන්ධයෙන් සබුද්ධිකව බැලීමට සැබවින්ම අවශ්‍ය වන්නේ සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමය.

එහිදී සංස්කෘතියේ ඇති ප්‍රධාන ලක්ෂණය වන්නේ සංස්කෘතිය යනු ගතික සංකල්පයක් වීමය. ගතික යනු වෙනස්වීමය. එය නිරන්තරවම වෙනස්වන අතර ස්තීරවම ගලේ කෙටූ අකුරක් වශයෙන් පවතින්නක් නොවේ. සංස්කෘතිය නොකඩවා වෙනස්වෙමින් පවතී. එය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමකි.

උදාහරණ ලෙස පවසන්නේ නම් අතීතයේ මානව සමාජයේ පැවති බොහොමයක් සංස්කෘතික අංග අද වන විට අපගේ සංස්කෘතිතියෙන් බැහැර වී ඇත්තේ පරම්පරාගතව මිනිසා කිසියම් දියුණුවක් අත්කරගෙන ඇති බැවිනි. සමහරවිට එහිදී අතීතයේ පැවති සංස්කෘතිකාංගවලට හාත්පසින්ම දියුණු තත්වයට පත් වූ සංස්කෘතිකාංග අද තිබෙන්නට පුළුවන. නැතිනම් අතීතයේ පැවති සංස්කෘතිකාංගයන්ට හාත්පසින්ම නොදියුණු සංස්කෘතිකාංග අද තිබෙන්නට පුළුවන.

නමුත් දියුණුයි හෝ නොදියුණුයි කියා කිරීමට කිසිවක් නැත. මන්ද ඒවා මානව සමාජය වෙනස් වන විට යුගයේ අවශ්‍යතාවය අනුව භාවිතයට එක් වූ සංස්කෘතිකාංග වන බැවිනි. සංස්කෘතිය යනු ජීවන රටාව වන්නේ එම නිසාය. නමුත් සමාජයේ දැකගත හැකි පොදු ගැටළුවක් වන්නේ සංස්කෘතිය අල්ලා තදින් බැඳ තැබීමට යෑම වනමුත් එය එසේ සිදු කිරීමට කිසිදු හැකියාවක් නැත යන වග ද අප සිහියේ තබාගත යුතුය.

මේ අනුව සංස්කෘතියේ දෙවැනි ප්‍රධාන ලක්ෂණය ලෙස අපට හඳුනාගත හැක්කේ සංස්කෘතිය යනු ක්‍රියාවලියක් වන බවය. එය නොකඩවා සිදු වෙමින් පවතී. එය නොකඩවා සිදුවන ක්‍රියාවලියක් බවට පත්ව ඇත්තේ එහි පවතින ගතික ලක්ෂණය නිසා අපට සංස්කෘතික අල්ලා තදින් බැඳ තැබීමට නොහැකි වී ඇති නිසාය.

කෙසේ නමුත් සංස්කෘතිය යැයි කියූ විට ඒ එක්කම කියැවෙන වචන දෙකක් ඇත. එනම් ශිෂ්ඨාචාරය සහ සභ්‍යත්වයයි. මෙම වචනවල ප්‍රභල වෙනස්කම් හඳුනා ගැනීම අසීරු වන අතර කෙටියෙන් සඳහන් කරන්නේ නම් නිරුක්ති වශයෙන් ගත් කළ සභ්‍යත්වය යනු සභාවට සුදුසු බවයි. ශිෂ්ඨාචාරය යන වචනයෙහි නිරුක්ති සොයන විට එය පටන් ගන්නේ සිවිස් යන ලතින් වචනයෙන් බව පෙනේ.

සිවිස් යන ලතින් වචනයේ තේරුම නම් නුවර හෝ පුරය යන්නය. මේ අනුව civilization නැතිනම් ශිෂ්ඨාචාරය, ශිෂ්ඨාචාරගතවීම යනු නුවරට සුදුසු වූ යන්නය. ඒ අනුව බලනවිට ඕනෑම සංස්කෘතික අංගයක් සභාවට සුදුසුනම් සහ නුවරකට ගැළපේනම් එහි කිසිදු ගැටළුවක් නැතැයි යන්න අදහස් වේ.

සංස්කෘතිය යනු ජීවිතය සාරවත් කරන මූලධර්මයක් වශයෙන් දුටු murdoc නම් විද්වතා සංස්කෘතියේ දැකගත හැකි ලක්ෂණ හතක් ද ගෙනහැර දක්වන අතර එය ද ඔබගේ දැන ගැනීම පිණිස සටහන් කර තබමි. සංස්කෘතික ජාන්මයෙන් ලැබෙන්නක් නොව ඉගෙන ගන්නා දෙයක් ය යන්න ඔහු දැක් වූ පළවන ලක්ෂණයයි.

එමෙන්ම සංස්කෘතිය යනු සමාජයීය දෙයකි. එය සංකල්පමය වූ පරමාදර්ශී දෙයකි. සංස්කෘතිය තෘප්තිය ලබා දෙන්නක් වන අතර සංස්කෘතිය අනුයෝජනශීලීය. අවසාන වශයෙන් සංස්කෘතිය සමගිය ඇති කරවන සුළුය.

නමුත් ලාංකීය සමාජයේ නම් බොහෝ විට සංස්කෘතිය හෝ සංස්කෘතියට සම්බන්ධ යම් දෙයක් පිළිබඳව සාකච්ඡා කිරීමට යෑමේදී ඉහත එකදු ලක්ෂණයක්වත් ප්‍රදර්ශනය නොකරන බව අපට හඳුනාගත හැකිය. කිසි විටෙකත් සංස්කෘතිය සිංහල සමාජයටනම් තෘප්තියක් ඇතිකර දෙන්නේ නැත. බොහෝ විට සිදුවන්නේ එකිනෙකා අතර ගැටුම් ඇති වීම වන අතර මෙයට හොඳම උදාහරණයක් වශයෙන් ගෙනහැර දැක්විය හැක්කේ පාසල් ගුරුතුමියන්ලාගේ සාරි ප්‍රශ්නය සම්බන්ධයෙන් සමාජයේ පැවති සංස්කෘතික කතා බහය.

නමුත් එය සංස්කෘතියේ ඇති වරදක් නොවේ. වරද ඇත්තේ අප තුළය.  වරද නම් සංස්කෘතිය යන්න අප හරි හැටි විග්‍රහකරගෙන නොතිබීමය. ඒ පිළිබඳව සොයා නොබැලීමය. සංස්කෘතිය අල්ලා තදින් බැඳ තැබීමට යෑමය. නමුත් මේ වන විට මෙම ලිපිය අවසාන වන තෙක් පරිශීලනය කළ ඔබට සංස්කෘතිය පිළිබඳව යම් අවබෝධයක් ඇතැයි සිතන අතර ඉදිරියේදී ඔබට පැණනැගින ඕනෑම සංස්කෘතික ගැටළුවක් විසඳා ගැනීම සඳහාත්, සංස්කෘතිය සම්බන්ධ ගැටළු සඳහා අදහස් දැක්වීමට යෑමේදීත් මෙම තොරතුරු උපස්ථම්භක වේ යැයි සිතමි.

කෙසේ නමුත් සංස්කෘතියේ අප මූලිකවම තේරුම්ගතයුතු කරුණ වන්නේ සංස්කෘතිය යනු ගතික සංකල්පයක් වන බව සහ එය අල්ලා තදින් බැඳ තැබීමට නොහැකි වන බවය.

Latest