Skip to content

ලෝක මට්ටමින් කොන්වෙන ශ්‍රී ලංකා රගර් : ශ්‍රී ලංකා රග්බිවලට මොකද වුනේ?


රග්බි පාපන්දු, ක්‍රිකට්වලට පසු ශ්‍රී ලංකාවේ දෙවැනි වැඩිම ප්‍රේක්ෂක පදනමක් ඇති ක්‍රීඩාව ලෙස හඳුනාගැනීම අතිශෝක්තියක් නොවේ. කොළඹ, මහනුවර යන නගර කේන්ද්‍රකරගෙන ගොඩනැඟුනු රගර් ක්‍රිඩාව මේ වනවිට අනෙකුත් නගර සහ ගම්බිම් කරා ව්‍යාප්තවී ඇති අතර වාර්ෂික රගර් ක්‍රීඩා වාරය යනු නිත්තවෙල, හැව්ලොක් පිටිය ආදි ක්‍රීඩාංගන අතුරු සිදුරු නොමැතිව ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් වැසී යන සමයකි.
ආසියානු මට්ටමින් ශ්‍රී ලංකා රග්බි පාපන්දුව පළමු රටවල් පහ අතර නිබඳවම රැඳී සිටීමට සමත් වූ අතර ලෝක මට්ටමට ළඟා විය නොහැකි වුවත් සත් සාමාජික ජාත්‍යන්තර තරගවලදි ශ්‍රී ලංකාව දක්වන දස්කම් කැපී පෙනෙන මට්ටමක තිබිණි. කෙසේ නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව පඹගාලක පැටලී අගාධයට යමින් සිටී.
තත්ත්වය නරකම තැනට හැරෙමින් පසුගිය දා (මැයි 17) ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ලෝක රග්බි සමාජිකත්වය අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් විණි. ලෝක රග්බි කවුන්සිලයේ නීති සහ හර පද්ධතිය බිඳ දමමින් ශ්‍රී ලංකා රග්බි වෙත කෙරන අනවශ්‍ය දේශපාලනික මැදිහත්වීම් සහ ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ ඇති ගැටළුකාරි තත්ත්වයන් පදනම් කරගෙන අදාළ තීරණයට එළැඹුනු බව ලෝක රග්බි සම්මේලනය දන්වා සිටියේය.

ලෝක රග්බි විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවමින් නිකුත් කළ ලිපිය


මෙම අකරතැබ්බය අනපේක්ෂිත පණිවිඩියක් නොවේ. එසේම තනි හුදෙකලා සිදුවීමක් ද නොවේ. ගතවුනු වසර දෙක තුන පුරා ක්‍රම ක්‍රමයෙන් ඔඩු දිවූ ක්‍රියාදාමයක ප්‍රථිඵලයකි. නිවැරදිවම සඳහන් කරනවානම් අර්බුදයේ දිග පලළ පිළිබඳව කිසිදු තැකීමක් නොකර රග්බි පන්දුව වෙනුවට කඹ ඇදීමේ ක්‍රීඩාවට සහ තිරය පිටුපස ක්‍රීඩාවලට යොමු වූ ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරින්ගේ හැසිරීම්වල ප්‍රථිඵලයකි. රටක් ලෙස ශ්‍රී ලංකාව පහළට ඇද දැමූ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේ තවත් ගොදුරක් බවට ශ්‍රී ලංකා රග්බි පත්වීමයි.
කෙසේ නමුත් අපි කිසිවෙකුට ඇඟිල්ල දිගු කිරීමට ඉක්මන් නොවන්නෙමු. නමුත් ඉතා ඉක්මනින් ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය හා එක්ව වැරදුනු තැන් නිවැරදි කරගත යුතුය. ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට තමන් ඉදිරිපත්වන බවට ලෝක රග්බි සම්මේලනය පළ කළ නිවේදනයේ ද සඳහන් විය.
මෙම සටහනෙන් ශ්‍රී ලංකා රග්බි තහනමට පාර තැනුනු සිදුවීම් මාලාවේ නිල වශයෙන් වාර්තා වූ  අවස්ථා හැකි උපරිමයෙන් පාඨක ඔබ වෙත සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.


2020 ජූලි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභිනව සභාපති ධුරයට රිෂ්ලි ඉල්ලියාස් මහතා නිතරගයෙන් තේරි පත් විය. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ උප සභාපතිවරයෙක් ලෙසද කටයුතු කර තිබූ ඉල්ලියාස්, ට්‍රේඩිස් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. කෙසේ නමුත් ඉල්ලියාස් මහතා නිතරගයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා රග්බි වාර්ෂික මහ සභාවාරයට පෙර එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා වෙත බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය සහ තවත් සංගම් කීපයක් ශ්‍රී ලංකා රග්බි වෙත සිය සමාජික ගාස්තු ගෙවීමට අපහොසත් ව ඇති බවට පැමිණිල්ලක් ලැබිණි.
ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස තමන් සතු බලතල පාවිච්චි කරමින් අලහප්පෙරුම අමාත්‍යවරයා අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීමට කමිටුවක් පත්කළ අතර කමිටුවේ නිර්දේශ අනුව බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය ඇතුළු සංගම් කීපයක සාමාජිකත්වය 2020 වසරේ ජුලි 17 වැනි දා අත්හිටු වූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස නිලවරනයකදි ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතියද ඔවුන්ට අහිමි විය.
පසුව අදාළ සංගම් විසින් හිඟ මුදල් ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුව විසින් නැවතත් සාමාජිකත්වය ලබා දීමට තීරණය විය.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම

ඩලස් අලහප්පෙරුම මහතාගෙන් පසු ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වගකීම භාරගත් නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ආසියානු රග්බි සමග සාකච්ඡා කර අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පිහිටුවීමට කටයුතු කළේය.
2022 අප්‍රේල් මස පළමුවැනිදා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් නිකුත් කළ විශේෂ ගැසට්ටුවක් මගින් ශ්‍රී ලංකා රග්බි තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළේය. ඒ අනුව ශ්‍රී ලංකා රග්බි පරිපාලනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන අමල් එදිරිසූරිය මහතා වෙත රාජපක්ෂ අමාත්‍යවරයා වෙත පැවරිනි. ශ්‍රී ලංකා රග්බි සංගමයේ කටයුතු අත්හිටුවීමට හේතුව ලෙස අමාත්‍යවරයා විසින් තීරණය කෙරෙන්නේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් 'තහනම් කළ සාමාජිකයින්' රග්බි සංගමයේ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම හේතුවෙන් බව පැවැසිණි.
කෙසේ නමුත් එවකට දිවයින පුරා උද්ගතව තිබුණු දේශපාලනික පරිසරය හේතුවෙන් අප්‍රේල් 03වැනිදා රාජපක්ෂ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විණි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය


2022 අප්‍රේල් ආසියානු රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන ලදි. ඒ රග්බි පාපන්දු ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් සිදු කිරීම සහ නීත්‍යානුකූලව පත් වූ නිලධාරින් ඉවත් කිරීම යන කරුණු පාදක කරගෙනය.


අප්‍රේල් මස අවසන් සතියේදි ආසියානු රග්බි සම්මේලනයේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා රග්බි හා සම්බන්ධ සියළු පාරිශ්වයන් හමු වී සාකච්ඡා කරමින් අදාළ තත්ත්වය පිළිබඳ දත්ත හා කරුණු එක්රැස් කළේය. ඉන් අනතුරුව අප්‍රේල් 29වැනි දා එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස සිටි තේනුක විදානගමගේ මහතා වෙත ලිපියක් යොමු කළ ආසියානු රග්බි පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් 2002 මැයි 28 වැනිදා ශ්‍රී ලංකා රග්බි නිලවරණය පැවැත්වෙන බවට දනුවා සිටියේය.


කෙසේ නමුත් අප්‍රේල් 30වැනිදා රැස් වූ ආසියානු රගුබි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා, ආසියානු රග්බි සාමාජිකත්වය නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට තීරණය කළේය.
එහි දී ශ්‍රී ලංකා රග්බි ප්‍රතිචාර දැක්වූයේ තරමක ප්‍රාථමික ස්ථාවරයකින්ය. ආසියානු රග්බි තහනම බලපැවැත්වෙන්නේ ආසියානු රග්බි සම්මේලනය විසින් සංවිධානය කෙරෙන තරගාවලි සඳහා පමණක් බවත් ශ්‍රී ලංකා රග්බි, දේශීය තරගාවලි පවත්වන බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහ ආසියානු තරගාවලියට (2022 වසරේ සැප්තැම්බර් චීනයේදි පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය 2023 සැප්තැම්බර් දක්වා කල් දැමුණි.) සහභාගි වන බවත්ය.
ආසියානු රග්බි විධායක කමිටුව විසින් දන්වා සිටි කරුණු අනුව ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තහනම් කිරීමට හේතු වූයේ ආසියානු රග්බි ප්‍රතිපත්ති වන සමානාත්මතාවය, පාරදෘශ්‍යභාවය සහ වගවීම යන කුළුණු පවත්වා ගෙන යාමේ අරමුණින් බවය.


අධිකරණ නියෝගයකින් නාමල් රාජපක්ෂ අමැතිවරයාගේ පත්වීම් අවලංගු වෙයි


2022 මැයි 13වැනි දා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රයේ බල රහිත කරමින් අතුරු නියෝගයක් ලබාදෙමින් අප්‍රේල් 1වැනිදාට පෙර ක්‍රියාත්මක වූ නිලධාරි මණ්ඩලය වෙත යළිත් ශ්‍රී ලංකා රග්බි පරිපාලන වගකීම ලබා දීම සිදු විය. දින 43කට පසු යළි පත් වූ පැරණි නිලධාරි මඩුල්ලට ජුනි 30දක්වා කාළය ලබා දෙන්නේ වාර්ෂික මහ සභා රැස්වීමේ දි නැවත නිලවරණයක් පැවැත්වීමට සහ ඒ වන විට උද්ගතව තිබූ ගැටළු විසඳා ගැනීම සඳහා ය.


ඉල්ලියාස්ට එ⁣රෙහිවන ආසියානු රග්බි සම්මේලනය


2022 ජුලි 16වැනිදා රියාස් ඉල්ලියාස් මහතා ආසියානු රග්බි සම්මේලනයට සම්බන්ධ වීම අත්හිටුවනු ලබන්නේය. එය හා ශ්‍රී ලංකා රග්බි තහනම අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට කිසිසේත් සම්බන්ධයක් නොමැති බවත්, ඉල්ලියාස් විසින් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් ධලාහි වෙත පෞද්ගලිකව තර්ජනය කිරීම සහ වැරදි ප්‍රකාශ නිකුත් කිරීම අත්හිටුවීමට අදාළ චෝදනාව බවත් ආසියානු රග්බි සඳහන් කර සිටියේය.
ඉන් අනතුරුව 2022 දෙසැම්බර් මාසයේදි ඉල්ලියාස් වෙත ආසියානු රග්බි සමග 2024 වසරේ අවසානය වන තෙක් කිසිදු ආකාරයකින් සම්බන්ධ වීමට නොහැකි වන පරිදි තහනමක් පැනවීමට නිර්දේශ විය.
එයට එරෙහිව ආසියානු රග්බි වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව වාර්තා විය.

රිස්ලි ඉල්ලියාස් මහතා


රියාස් ඉල්ලියාස් නැවතත් 2024 තෙක් මුල් පුටුවට


2022 අගෝස්තු මස පැවැත්වූ ශ්‍රී ලංකා රග්බි මහ සභා රැස්වීමේදි රියාස් ඉල්ලියාස් මහතාට නැවත වතාවක් නිතරගයෙන් සභාපති ධුරයේ වගකීම ලබා දීමට ශ්‍රී ලංකා රග්බි නියෝජිතයින් තීරණය කළෝය. ඔහු සමග පත් වූ සෙසු නිලධාරින්ද අදාළ තනතුරුවලට පත් වන්නේ නිතරගයෙනි.


අර්බුද මැද ආසියානු රග්බි - ශ්‍රී ලංකාවට කොළ එලියක් දල්වයි


ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ආසියානු රග්බි වෙත කළ ඉල්ලීමක ප්‍රථිඵලයක් ලෙස 2022 'ඒසියන් රග්බි සෙවන්ස්' තරගාවලියේ අවසන් අදියර දෙකට ඔලිම්පික් කමිටු ධජය යටතේ සහභාගි වීමට ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම්වලට ඉඩ ලබාදීමට ආසියානු රග්බි තීරණය කළේය.
ඒ අනුව 2022 නොවැම්බර් මස දකුණු කොරියාවේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැති 'ඒසියන් රග්බි සෙවන්ස්' අදියර දෙකට ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් තරග වැදුණි.
එහිදී පිරිමි කණ්ඩායම ⁣මුල් තරගයේදි තරගාවලියේ ශූරතාව දිනාගත් හොංකොං කණ්ඩායම හමුවේ 40-0ලෙස පරාජයට පත් වුවද, එක්සත් එමීරය සහ චීනය පරාජය කරමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වූ අතර අවසන් පූර්ව වටයේදි දකුණු කොරියාව හමුවේ ලකුණු 31-14ක් ලෙස පරාජය වූ අතර තුන්වැනි ස්ථානය සඳහා වූ තරගයේදි පිලිපීනය හමුවේ පරාජය වන්නේ ලකුණු 24-7ක් ලෙසය.
කාන්තා කණ්ඩායම පළමු වටයේදි චීනය, හොංකොං සහ කසකස්ථානය හමුවේ දරුණු පරාජයන්ගේ අමිහිරි අත්දැකීම් විඳගත් අතර දෙවැනි වටයේදි මැලේසියාව සමග පැවැති තියුණු තරගයකින් අනතුරුව 17-14ක් ලෙස සැනසිලිදායක ජයක් ලබාගන්නේ කණ්ඩායම් අටක් අතරින් හයවැන්නා ලෙස ලැයිස්තුගත වෙමින්ය.
එක්සත් අරාබි එමීයේ පැවැති තරගාවලියේදි ශ්‍රී ලංකා පිරිමි කන්ඩායමට මැලේසියාව, හොංකොං සහ දකුණු කොරියාව ඉදිරියේ පරාජය බාර ගැනීමට සිදු වූ අතර දෙවැනි වටයේදි මැලේසියාව පරාජය කිරීමට සමත් විය.
එමීරයේදි කාන්තා කණ්ඩායමේ ඉරණම දකුණු කොරියාවෙදි අත් විඳි මතකයටත් වඩා තිත්ත අත්දැකීමක් විය. සහභාගි වූ තරග ප⁣හම පරාජය වන ශ්‍රී ලංකා කාන්තාවන්ට තරගාවලිය පුරා කිසිදු ලකුණක් වාර්තා කිරීමටවත් ඉඩ නොදීමට ප්‍රතිවාදිනියන් වග බලා ගත්හ.


රොෂාන් රණසිංහ අමත්‍යවරයා විසින් ⁣රිස්වි ඉල්ලියාස් නැවත තනතුරෙන් පහ කරයි.


2022 දෙසැම්බර් මුල් සතියේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නැවත වරක් රිස්වි ඉල්ලියාස් ශ්‍රී ලංකා රග්බි හි තනතුරු දැරීම සහ පරිපාලනයට සම්බන්ධවීම අත්හිටුවීමට තීරණය කළේය. ආසියා රග්බි තහනමට ලක් වූ පුද්ගලයකු තනතුරු දැරීම ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාවට පටහැනිවීම අදාළ අත්හිටුවීමට හේතුව බව ක්‍රීඩා අමාත්‍යාංශය දන්වා සිටියේය.
2022 අගෝස්තු මස පැවැති නිලවරණය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යංශය සූදානම් වුවද අධිකරණ නියෝගයක් මගින් මහ සභා රැස්වීම පවත්වා රිස්ලි ඉල්ලියාස් මහතා නිතරගයෙන් 2024 දක්වා සභාපති ධුරයට තේරී පත්විය. කෙසේනමුත් ආසියානු රග්බි, රිස්ලි ඉල්ලියාස් සම්බන්ධයෙන් ⁣සිදුකරන පරීක්ෂණ අවසන් වන තුරු ඔහුගේ සභාපතිත්වය අත්හිටුවන බව අමාත්‍යාංශය නිවේදනය කළේය.
අදාළ අත්හිටුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලියාස් මහතා තීරණය කළේය.
2022 දෙසැම්බර් 16වැනි දා අධිකරණය විසින් අමාත්‍යවරයාගේ නියෝගයබල රහිත කරමින් 2023 ජනවාරි 27වැනිදා (ඊළඟ නඩු දිනය) තෙක් රිස්ලි ඉල්ලියාස් මහතාට සභාපති ධුරය දැරීමට අවසර ලබා දෙන්නේය.
ක්‍රීඩා අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා රග්බි සංගමයත් අතර මෙලෙස එහා මෙහා වන රග්බි පන්දුව කබලෙන් ලිපට වැටෙන්නේ 2023වසරේ අප්‍රේල් 12වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට සීල් තබා රියාස් ඉල්ලියාස් ප්‍රමුඛ නිලධාරි මඩුල්ල විසුරුවා හැරීමත් සමගමය. ඒ සමගම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සත්කාරක කමිටුවක් පිහිටුවා එහි ප්‍රධානියා ලෙස හිටපු ක්‍රීඩක චූලා ධර්මදාස පත් කරන්නේය.
අධිකරණ නියෝගයක් මගින් බස්නාහිර සහ ඌව පළාත් සංගම් ශ්‍රී ලංකා රග්බි පරිපාලනයට සම්බන්ධ කරනොගන්නා ලෙස දැනුම් දී තිබියදී එය කඩ කිරීම සහ ආසියා රග්බි මගින් තහනම් කළ රිස්වි ඉල්ලියාස් මහතාට ශ්‍රී ලංකා රග්බි තනතුරු දැරිය නොහැකිවීම  හේතුවෙන් අදාළ තීරණය ගැනීමට සිදු වූ බව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කළේය.  

ආසියානු රග්බි සභාපතිවරයා හමු වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා


නාමල්ගේ ගැසට්ටුව රොෂාන් රණසිංහ අවලංගු කරයි


2022 අප්‍රේල් 01වැනිදා නාමල් රාජපක්ෂ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා රග්බි පරිපාලනය අත්හිටඅවමින් නිකුත් කළ ගැසට් නිවේදනය වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය අධිකරණය විසින් පිළිගන්නා ලදි.
නැවතත් ආසියානු රග්බි සාමාජිකත්වය ලැබෙයි
2022 මැයි 01 දා ආසියානු රග්බි සාමාජිකත්වයෙන් පළවා හැර සිටි ශ්‍රී ලංකා රග්බි වෙත යලිත් අවස්ථාව ලබා දීමට ආසියානු රග්බි සම්මේලනය 2023 අප්‍රේල් 09 වැනිදා තීරණය කළේය. ඒ සඳහා ආසන්නම සහ ප්‍රධානම හේතුව වන්නේ නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කිරීම බව ආසියානු රග්බි සම්මෙලන සභාපති කයිස් අල් දලාහි මහතා දන්වා සිටියේය.


ඉල්ලියාස් නැවතත් නීතිමය පිහිට පතයි


ටොරිංටන් හි පිහිටි ශ්‍රී ලංකා රග්බි ආයතනය සීල් තැබීමට විරුද්ධව රිස්ලි ඉල්ලියාස් මහතා කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කරන්නේ පසුගිය අප්‍රේල් තුන්වැනි සතියේදි ය. දැනටමත් අධිකරණය හමුවේ විභාගවන නඩු කීපයකම සාක්ෂි ලියකියවිලි තිබෙන ගොඩනැගිල්ල මෙසේ සීල් කිරීමෙන් අදාළ ලියකියවිලිවලට යම් හානියක් වුවහොත් අදාළ පාර්ශ්ව එහි වගකීම බාරගත යුතු බව ඔහු පවසා සිටියේය.


ක්‍රීඩා අමාත්‍යවරයා සහ ආසියානු රග්බි සභාපති හමුව


2022 අප්‍රේල් 19වැනි දා ඩුබායි හිදී ආසියානු රග්බි සභාපති කයිස් අල් දලාහි, ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර හමුවක් පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා විසින් එළැඹෙන අගෝස්තු මාසයේ නිලවරණයක් පවත්වන බවත් එතෙක් වැඩකටයුතු පවත්වා ගෙන යෑමට චූලා ධර්මදාස ප්‍රමුඛ කමිටුවක් පත් කළ බවත් දැනුම් දී සිටියේය.


ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත්වෙයි


ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් බලවත්ම ආයතනය වන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව 2023 මැයි 09 වැනිදා ලෝක රග්බි සම්මේලනය සභාපති බිල් බෝමන්ට් වෙත ලිපියක් මගින් දන්වා සිටියේ ඔවුන් ශ්‍රී ලංකා රග්බි ආයතනයට සහ එහි සභාපති රිස්ලි ඉල්ලියාස් ට නිල වශයෙන් සහාය ලබාදෙන බවයි.
ඔලිම්පික් කමිටු සභාපති මැක්ස්වෙල් ද සිල්වා මහතා එහිදී දන්වා සිටියේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අප්‍රේල් 11වැනි දින නිකුත් කළ අංක 2327/07 දරණ ගැසට් නිවේදනයෙන් ශ්‍රී ලංකා රග්බි අත්හිටුවීම සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දීමක් බවයි.
ජාතික ක්‍රීඩා සම්මේලනයකින් පත් කෙරුණු කමිටුවක් පමණක්, ලෝක ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


ශ්‍රී ලංකා රග්බි ලෝක රග්බි වෙතින් ප්‍රතික්ෂේප වෙයි


මැයි 11වැනිදා රැස් වූ ලෝක රග්බි කවුන්සිලය, ශ්‍රී ලංකා රග්බි සාමාජ්කත්වය අත්හිටුවීමට තීරණය කළ බව මැයි 17වැනිදා ශ්‍රී ලංකා රග්බි විධායක අධ්‍යක්ෂ හෂාන් සිංහවංස මහතා වෙත දැනුම් දෙන්නේය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බාහිරව පවත්වන කිසිම රග්බි තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම්වලට අවස්ථාව අහිමි වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිල වශයෙන් පත් වූ රග්බි ශ්‍රී ලංකා කමිටුව අවලංගු කර ස්ථායිකරන කමිටුවක් පත් කිරීම ලෝක රග්බි නීතියට අනුකූල නොවීම ශ්‍රී ලංකා රග්බි තහනමට හේතුව බව සඳහන් වෙයි. එසේම ලෝක රග්බි සහ ආසියානු රග්බි එක්ව ශ්‍රී ලංකා රග්බි හා සම්බන්ධ පාර්ශ්ව සමග සාකච්ඡා කොට විසඳුමක් කරා යාමට බලාපොරොත්තු වන බවත් දන්වා සිටියේය. එ⁣සේම ලෝක ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුවද රග්බි ස්ථායිකරණ කමිටුව පිළි නොගන්නා බවද අවධාරණය කර සිටියි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටුවේ ⁣මහ ලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදි ඔහු සඳහන් කර සිටියේ ජාතික ඔලිම්පික් කමිටුව ලෙස ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශ සහ අනපනත් අනුව කටයුතු කරන බවත් ජාතික ක්‍රීඩා සංගමයක වලංගු බව පිළිගනු ලබන්නේ අදාළ සංගමයේ සාමාජිකයින් විසින් පත්කරගනු ලැබූ විට පමණක් බවය.
කෙසේ වෙතත් රග්බි තහනම පිළිබඳ තම ආයතනයට අදහස් පළ කල නොහැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා රග්බි සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වයක් වන හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සම්බන්ධ කරගැනීමට හැකි වූ අතර ඒ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා රග්බි තහනමට හේතුව පැහැදිළිව ලෝක රග්බි සංගමය විසින් අවධාරණය කර ඇති බවත් දේශපාලනික මැදිහත්වීම් ලෝක රග්බි සංගමය අනුමත නොකරන බවත් ය.
එසේම තමන් වෙත එල්ල කරන චෝදනා පදනම් රහිත ඒවා බවත් වැඩි දුරටත් ඔහු පවසා සිටියේය.
ආසියානු රග්බි සභාපතිවරයා සමග පෞද්ගලික වට්ස්ඇප් පණිවිඩයක් හරහා යම් මතභේදාත්මක වචන හුවමාරුවක් සිදු වූ නමුත් නිළ වශයෙන් කිසිම මොහොතක තර්ජනය නොකළ බවත් ඔහු පවසා සිටියි.
රග්බි සභාපතිවරයා ලෙස තමා වග කියනු ලබන්නේ ශ්‍රී ලංකා රග්බි කවුන්සිලයට බවත් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රග්බි තහනම් කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බවත් ඔහුගේ අදහසයි.
තමා සභාපති ධුරයට යලිත් පත්වන මහසභා රැස්වීම මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු, රාජ්‍ය පරිපාලන සේවා නිලධාරියකු, ලෝක රග්බි නියෝජිතයකු සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නියෝජිතයකුගේ නිරීක්ෂණ යටතේ පැවැත් වූ බවත් ඒ සම්බන්ධයෙන් යම් චෝදනාවක් ඇත්නම් දින 14ක් ඇතුලත ගොනු කළ යුතුව තිබූ බවත් අමාත්‍යවරයා ගෙනහැර පාන චෝදනා කිසිවක් නොලැබුණු බවත් සඳහන් කළේය.


එසේම ආසියානු රග්බි සංගමයෙන් තමා වෙත තහනමක් පනවා නැති බවත් තහනම් කළ යුතුයැයි පරීක්ෂණය කළ නිලධාරියා නිර්දේශයක් ඉදිරිපත් කළ අතර ඊට එරෙහිව තමා අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩා ව්‍යවස්ථාව අනුව තමාට සභාපති ධුරය දැරීමට බාධාවක් නොමැති බව ඔහු අවධාරණය කර සිටියේය.
ඉල්ලියාස් මහතාට එරෙහිව විනය පරීක්ෂණය පැවැත් වූ නිලධාරියා ආසියානු රග්බි සම්මේලනයේ නීති උපදේෂකවරයකු බවත් එම පරීක්ෂණයද ස්වාධීන එකක් නොවන බවත් ඔහු පැවසීය.
එසේම පසුගිය ආසියානු සත් සාමාජික තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට හේතුව නිසි සූදානමකින් තොරව කණ්ඩායම් තරගාවලියට සහභාගි කරවීම බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා රග්බි පවත්වාගෙන යෑමේ අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව අදහන කණ්ඩායමක් මෙම සිදුවීම් දාමයේ තිරය පිටුපස සිටින බවත් තමා වරදක් කර ඇත්නම් එම වැරැද්ද පෙන්වා තමාව ඉවත් කරන ලෙසත් පෞද්ගලික මට්ටමින් පදනමක් නොමැති චෝදනා දමමින් පාලනය කිරීමට තමන් එකග නොවන බව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවසූ බවද ඔහු සඳහන් කර සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ පුද්ගලියින් කීප දෙනෙකුගේ අතාර්කික සහ ප්‍රාථමික ආශාවන් හේතුවෙන් අගතියට පත්වන්නේ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. ප්‍රේක්ෂකයන්ය. ක්‍රීඩාවෙන් අත්පත් කරගත් රටේ කීර්ති නාමයය.


ලෝක රග්බි විසින් යෝජනා කර ඇති පරිදි හැකි ඉක්මනින් සියලු පාර්ශ්ව එක්ව හැකි ඉක්මනින් ශ්‍රී ලංකා රග්බි සුවපත් කරනු දැකීම අපගේ අරමුණයි

Latest