Skip to content

ආදරය ගැන අපි මොනවද දන්නේ 1

ලොකයේ සියළුම මනුෂ්‍ය ජීවීන් හට ජීවිතයට වඩාත්ම අවශ්‍ය දේ සහ ඔවුන් වැඩිපුරම සොයනු ලබන්නේ ආදරයයි කීම යුක්ති යුක්තය. හෝමෝ සේපියන්ස් නම් මේ බුද්ධිමත් මිනිසා කොහොමත් ගවේෂණයට මනාප සහ ඒ වෙනුවෙන් කැප වූ සත්වයෙකි. එහිදී ඔහු සිය ජීවිතය පුරා තත්පරව සොයා ඇත්තේ ආදරයයි. නමුත් සැමොම ආදරය කලත් සමහරවිට ආදරය යන්නෙහි තේරුම හෝ ඔබ මේ වන විට නොදැන සිටින්නට ඉඩ ඇති අතර ප්‍රථමයෙන් ම ආදරය යනු කුමක්දැයි හෙමින් සීරුවේ ලෙහාගත ගත යුතුය.

ආ යනු අව්‍ය පදයකි. එහි අර්ථය නම් වෙතට යන්නය. දර යන්න නිර්මාණය වන්නේ දෘ නමැති ධාතුවෙනි. එහි අර්ථය තැකීම, සැලකීම හෝ ගරු කිරීම යන්නය. ඒ අනුව  ආදරය යනු යම් කෙනෙක් හෝ යම් දෙයක් තම සිතට ගෙන තකන සළකන සහ ගරු කරන ගුණයයි. මෙය වූ කලී ආදරය සඳහා යෙදෙන භාෂාත්මක අර්ථය වන අතර නමුත් ආදරය යනු හැඟීමක් වන බැවින් ආදරය පිළිබඳව හැඟීමාන්තික නිර්වචනයක් සපයා ගැනීම තම තමන්ට බාරය.

කෙසේ නමුත් ආදරය යන්න ගත්විට අප එය ගේහ සිත ආදරය පමණමැයි සිතා සිටිය ද, ගේහ සිත ආදරයට පමණක් එය කෝණකර සිටිය ද ආදරය යනු ඊට වඩා පුළුල් අර්ථයකින් විශාල පදාසයක් ආවරණය කරන්නකි. නමුත් ආදරය යන්න ගත් විට මා මුලින් කීවා සේ ප්‍රධාන වන්නේ ගේහ සිත ආදරය වන අතර ඊට අමතරව මා පිය දූදරු ආදරය ද මෙහිදී ප්‍රධාන වේ. නමුත් ගේහ සිත හෝ මා පිය දූදරු හෝ ආදරය ගැන අපි මොනවද දන්නේ ? ඒ පිළිබඳව අපට වඩා දන්නා වෙන කවුරුන් හෝ සිටී ද ? අපි නොදන්න ඔවුන් දන්න ආදරයක් තිබේ ද? සැබවින්ම ඔව්.

මා මිනිසා යනු කවරෙක්දැයි යනුවෙන් මීට පෙර ගෙන එනු ලැබූ ලිපිය තුළින් ප්‍රකාශ කර සිටියේ මේ ලෝකයේ මහා නුවණැත්තා, ලෝකයේ අග්‍රේෂයා, මනසින් උසස් කෙනා ආදී වශයෙන් අපි අප ගැන සිතා සිටිය ද යම් යම් කාරණා තුළදී අපට සත්වයින් ඉදිරියේ දණ නැමීමට සිදුවන බවය. ඒ යම් යම් කාරණා වලට අයත් ප්‍රධාන කාරණයක් වන්නේ ආදරයි. ආදරය යන කාරණාව තුළදී අපට සත්වයින් ඉදිරියේ අකමැත්තෙන් හෝ දණ නැමීමට සිදුවනු ඇත. ඔවුන් අපට වඩා ආදරය ගැන දනී. සැබවින්ම ඔවුන් හා සසංදනය කර බලන විට ගේහ සිත සහ මා පිය දූ දරු ආදරය ගැන අපි මොනවද දන්නේ ? මේ එය සපත කිරීම සඳහා ගෙන එනු ලබන සාක්ෂි කිහිපයකි.

දාරක සෙනෙහසින් ආරම්භ කරන්නේ නම් රාජාලියන් යනු මිනිසාට වඩා මින් බොහෝ ඉදිරියෙන් සිටින සත්වයෙකි. ගැහැණු රාජාලියන් තම දරුවන් ගැන සිතීමට පටන් ගණුයේ  ඔවුන්ගේ බිත්තර දැමීමටත් ප්‍රථමයෙන් ය. මෙය ඉතා රසවත් කතා ප්‍රවෘත්තියකි. ගැහැණු සත්වයින් කෝටුවක් හොටින් ගෙන ඉහළ අහසේ වටේ පියාසර කරයි. එවිට සිදුවන්නේ පිරිමි රාජාලියන් කිහිපදෙනෙකු ඒ වටා එක් රොක් වීමය.

මෙසේ පිරිමි රාජාලියන් එක්‍ රොක් වූ විට ගැහැණු සත්වයා සිදුකරන්නේ හොටින් ගත් කෝටුව බිමට අත හැරීමය. එවිට පිරිමි රාජාලියන් අතුරින් එක් අයෙකු බිමට වැටෙන කෝටුව අල්වාගෙන නැවත ගැහැණු සත්වයා හට ගෙනත් දෙනු ලබයි. වාර ගණනාවක් මෙම ක්‍රියාවලිය මෙසේ සිදුකරණ අතර පිරිමි රාජාලියා වෙහෙසට පත්වන තුරුම ගැහැණු සත්වයා මෙය සිදු කරයි. අවසානයේ එක් සහකරුවකු ඇය තෝරා ගනී. එසේ කරන්නේ ඇයි.

රාජාලීන් දෙදෙනා බිත්තර දැමීම සඳහා උස් ස්ථානයක සිය කූඩුව තනන අතර බිත්තරවලින් පැටවුන් බිහි වූ පසු ටික දිනක් යනතෙක් පැටවුන් පෝෂණය කිරීම සිදු කරයි. නමුත් සිය පැටවුන් ස්වාභාවධර්මයාට ස්වාධීන කළ යුතුය. එය සිදු කිරීමටනම් ඔවුන්ට පියෑඹීමට හුරු කළ යුතුය. දෙමාපියන් දෙදෙනා පැටවුන්ට තරමක් දුරින් හිඳ ආහාර ගන්නා අතර එය දකින කුඩා පැටවුන් දෙමාපියන් වෙත යෑමට උත්සාහ ගනී. නමුත් ඔවුන්ට තවදු පියෑඹීම කළ නොහැක. කූඩුවෙන් බිමට වැටී මහා ප්‍රපාතයකට ඇද හැලීමට පටන් ගනී. එය දකිනා පිරිමි රාජාලියන් වේගයෙන් පියඹා සිය පැටවුන් නැවතත් කූඩුව වෙත ගෙනත් තබයි. පැටවුන් නැවතත් ප්‍රපාතයට ඇද හැලේ පිරිමි රාජාලියා නැවත නැවතත් සිය දරුවන් පියඹා යෑමට හුරුවන තුරු මේ ක්‍රියාවලියේ නිරත වේ.

ගැහැණු රාජාලියන් ලී කෝටුව බිමට අතහැරීමේ හේතුව වන්නේ එයයි. මන්ද තම දරුවන් හොඳින් රැක බලා ගන්නා පියෙකු සොයා ගැනීම ඇයට අවශ්‍ය බැවිනි. දරුවන් ගැන සිතන්නේ ඔවුන් ඉපදීමටත් පෙර සිටිය. කුමක් නැතත් රජාලියන් විශ්වාස කරන්නේ සිය දරුවන්ගේ ආරක්ෂාව පමණි. ඒත් සමඟම මිනිස් සමාජයේ සිය පියා අතින් දූෂණයට පත් වූ අපමණ දරුවන් පිළිබඳව අප අසා ඇත. කිරි කැටියන් ගඟට විසිකළ, කුණු ගොඩවල් තුළ දමා ගිය මව්වරුන් පිළිබඳව අප අසා ඇත. ඉදිං ආදරය ගැන අපි මොනවද දන්නේ ?

රාජලියන් පිළිබඳව සාකච්ඡා වූ හෙයින් එම සත්වයින්ගෙන් අපගේ ජීවිතයට ගත හැකි වෙනත් ආදර්ශ කිහිපයක් ද මෙහි සඳහන් කිරීම වටී යැයි සිතේ. රාජාලියා යනු හුදෙකලාවේ වූවත් තමන්ගේ ගමන තනිවම යන සත්වයෙකි. ඔහු තනිවම හැසිරෙන සත්වයකු බව අපි දන්නා අතර ඔහු තමන්ගේ අරමුණු වෙත යෑම සඳහා කිසිවකුගේ උදව් උපකාර බලාපොරොත්තු වන සත්වයකු නොවේ.

කුණාටුවක් පවා තමන්ගේ වාසියට හරවා ගැනීමට රාජාලියන් සමත් ය. ඔවුන් එයින්ද ප්‍රයෝජනයක් ගනී. කුණාටුවකදී කිසි විටෙකත් පසු නොබසින මොවුන් සුළඟේ වේගය භාවිත කරමින් අදාළ ඉලක්කය කරා පියාසර කරයි. මෙම සත්වයින්ගේ ඕනෑම දැක්මක් ද ඉතා තියුණුය. ජලය යට කිමිදෙන මාළුවකු වූවත් එක එල්ලේ දඩයම් කිරීමට තරම් ඌ ඉතා දක්ෂ දඩයක්කරුවෙකි. එමෙන්ම රාජාලියන් කිසි විටෙකත් දවසක් පරණ වූ හෝ. නරක් වූ හෝ නැවුම් නොවූ ආහාර පරිභෝජනය කරන්නේ නැත.

වැදගත්ම දෙය නම් සිය සතුරා ශක්තිමත් අවස්ථාවේ කිසි විටෙකත් ඔහු සමග සටන් කිරීමට රාජාලියන් පෙළඹෙන්නේ නැත. ඌ බිම සිටින සර්පයින් සමඟ සටන් නොකරයි. ඉතා සූක්ෂමය. සතුරා සමග සටන් කිරීමට සටන් බිම වෙනස් කරන මෙම සත්වයින් සර්පයින් අහසට ඔසවාගෙන ගොස් බිමට අත හැරීම සිදු කරයි. අහසේදී සර්පයින් හට ශක්තියක් නැත. සමතුලිතතාවක් නැත. බලයක් නැත.  රාජාලියන් පහසුවෙන් සටන ජය ගනී. කෙසේ නමුත් ප්‍රධාන මාතෘකාවෙන් තරමක් ඔබ්බට ගොස් රාජලියන් සම්බන්ධයෙන් මෙසේ දැක්වූ කරුණු තම තමන්ගේ ජීවිතයට ආදර්ශයක් ලෙස එක්කර ගන්නේ කෙසේ ද යන්න තම තමනට භාරය. එය තම තම නැණ පමණ සිදුවන්නකි.

ගිරිවුල්ල වික්‍රමශීලා ජාතික පාසලේ සංගීත ගුරුවරයා වූ සහ ශ්‍රී ලංකාව නිසි ලෙස වැඩක් නොගත් සංගීත ගුරුවරයා වූ සුනිල් දයානන්ද කෝනාර මහතා පද රචනා කළ සහ සංගීතවත් කළ කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන ගමට කලින් හිරු නම් ගීතය ශ්‍රී ලංකාවේ රස විඳ නැති කිසිවකු සිටීමටනම් නොහැක. එම ගීතයේ එක් තැනක මෙසේ සඳහන් වේ. " ඇත් රැජිණියනී ඔබෙ නැළවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා "

සැබවින්ම මවට මෙසේ ඇත් රැජිණ යනුවෙන් සඳහන් කර ඇත්තේ ඇයි. මන්ද ඇත් රංචුවක එක් ඇතින්නක් හට ඇත් පැටවෙක් උපන් පසු සිය රැලේ සියළුම ඇතින්නන් හට කිරි එරෙන බැවිනි. තම දරුවා නොවුණ ද වෙනත් දරුවකු වෙනුවෙන් කිරි එරීම සැබවින්ම ආශ්චර්යයකි. එමෙන්ම මේ ලෝකයේ ක්ෂීරපායින් අතුරින් වැඩිම කාලයක් දරු ගැබක් දරා සිටින්නේ ද ඇතින්නිය වන අතර එම කාලය මාස 18 - 22 ක් අතර කාලයකි. මිනිස් සමාජයේ ද ඇත් රැජිණිය වන් මව්වරුන් සොයා සපයා ගැනීම අපහසු නැතත්. මිනිස් මාතෲත්වය ද සමාන කරන්නේ ඇතින්නකගේ මාතෲත්වයටයි. සැබවින්ම ආදරය ගැන අපි දන්නේ මොනවද ?

රිලවුන්. වඳුරන් ආදී සත්වයින් යනු මේ වන විට ශ්‍රී ලංකාවේ දැවැන්තම අභියෝගයක් වන බව අපි දනිමු. නමුත් ඔවුන් සිදුකරණ වගා හානි පිළිබඳව පමණක් අප ඉතා හොඳින් දැන සිටිය ද ඔවුන්ගේ මාතෲත්වය පිළිබඳව අප දන්නේ මොනවා ද? රිලවුන් සහ වඳුරු රංචුවකට කරදරයක් අණතුරක් හෝ අණතුරක සේයාවක් දුටුවහොත් ඔවුන් කිසි විටෙකත් තම තමන්ගේ දරුවන් සොයා වෙන්කර ආරක්ෂා කිරීමට යන්නේ නැත. දරුවන් කාගේ වූව ද සිය අතට හසුවන පළමු දරුවා රැගෙන ඔවුන් අණතුරෙන් පලා යන්නේ කාගේ වූවත් දරුවන් දරුවන් වන බැවිනි. පසුව අණතුර පහව ගිය පසු තම දරුවන් තෝරා බේරා ගැනීම සිදු කරන්නේ මාතෘත්වය නම් මෙය යයි අපට පසක් කරමිනි.

එමෙන්ම උණහපුළුවාටත් උගේ පුතා මැණිකක් වන බවත් පොළොව යට බිත්තර දමන කටුසන්ගේ බිත්තර පිපිරී යන්නේ කටුස්සන් එම බිත්තර මතක් කිරීමෙන් වන බවත් යන ජනප්‍රාවාද කතා ප්‍රවෘත්තීන් ද අප අසා ඇත්තෙමු. දෙමා පිය දූ දරු ආදරය පාර්ශවයෙන් මිනිසුන් අභිබවා ඉහළින් සිටින වෙනත් සත්වයින් ද ලෝකයේ ඕනෑ තරම් ඇත. නමුත් මේ දක්වන ලද්දේ ශ්‍රී ලංකාවේ අපට හුරු පුරුදු අප දන්නා සත්වයින් කිහිපයකගේ වගතුග පමණි. ඉන් පසු ගේහ සිත ආදරයට ගිය විට

මීච්චා වශයෙන් හඳුන්වන ඉහත රූපයේ ඇති කුඩා පක්ෂියා සිය හඬ අවදි කර කෑ ගැසීම ශ්‍රී ලංකාවේ සලකන්නේ ඉතාමත් අසුභ පෙර නිමිත්තක් ලෙසය. එම සත්වයින්ගේ කෑ ගැසීම මරණයක පෙර නිමිත්තක් ලෙස සැළකීමට තරම් අසුභ බව තිවෘ වී ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික ආගමික ස්වාභාවය නම් එයය. අප සියල්ල ආල්ල ගන්නේ ඉතාමත් වැරදි තැනකිනි. නැතිනම් ඉතාමත් පසුගාමී තැනකිනි. එම නිසා එම සත්වයාගේ අනෙක් පැතිකඩ පිළිබඳව අප කිසිවක් සාකච්ඡා කරන්නේ නැත.

ලෝකයේ මිනිසා ඇතුළු බොහෝ සත්වයින් තම සහකරුවා හෝ සහකාරිය මිය ගිය විට වෙනත් සහකාරියක හෝ සහකරුවකු පැතුව ද මීච්චා වශයෙන් හඳුන්වන මෙම කුඩා පක්ෂියා එසේ නොවේ. තම ජීවන සහකරුවා මිය ගිය විට
ඔවුන් නැවත කිසි දිනෙකත් වෙනත් සහකාරියක හෝ සහකරුවකු පතන්නේ නැත. සමහරවිට එය මිනිසුන් වශයෙන් අපට මෝඩ තීරණයක් යැයි සිතෙන්නට පුළුවන. මන්ද අපගේ සමාජ සංස්කෘතික පරිසරය එසේ හැඩගැසී නොමැති බැවිනි. නමුත් එම පක්ෂීන් ප්‍රකට කරවන මෙකී අදාරවන්ත බවට අප හිස නැමිය යුතු නොවේ ද?

ලව් බර්ඩ් වශයෙන් හඳුන්වන කුඩා ගිරවුන් විශේෂය ද නොදන්නා කෙනෙකු නැත. විද්‍යාඥයින් පවසන්නේ මෙම කුරුළු විශේෂය ලෝකයේ ආදරය කිරීමටම උපන් කුරුළු විශේෂයක් වන බවය. විටෙක මිනිස් සමාජය තුළ ද ආදරයේ ප්‍රති මූර්තියක් ලෙස අදහන්නේ ලව් බර්ඩ්ස් නම් මෙම කුරුළු විශේෂයයි. ඔබ බොහෝ විට ආදරයෙන් වෙලී ඇති යුවලක් දුටු විට " ෂා ඔවුන් දෙදෙනා ලව් බර්ඩ්ස්ල දෙන්නෙක් වගේ " යැයි පවසනු අසා ඇත.

මෙම විශේෂයේ ගැහැණු සත්වයින් සිය පිහාටු ඔසවා පිරිමි සත්වයින් හට ආදර සංඥාවක් ලබා දෙන අතර පිරිමි සත්වයින් එයට ප්‍රතිචාර වශයෙන් ඉතා අලංකාර නර්තනයක යෙදෙන බව විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයයි. එමෙන්ම විශේෂත්වය වන්නේ පිරිමි සත්වයා කැදලි කාලය තුළ සිය සහකාරියගේ මෙන්ම දරුවන්ගේ ද එකම බාරකරුවා වශයෙන් ක්‍රියා කිරීමය. එමෙන්ම ඔවුන් සෑම විටම එකට හිඳ ගැනීමට ද කැමැත්තක් දක්වන අතර එකිනෙකා අතර පළතුරු කවා ගනුයේ ආදරයේ සංකේතයක් ලෙසය. විද්‍යාඥයින් පවසන තවත් විශේෂත්වයක් වන්නේ  සිය සහකරුවා හෝ සහකාරිය මියගියහොත් සත්වයින් මානසික අවපීඩනයකට ලක් වී විකෘති හැසිරීම් රටා පෙන්නුම් කරන බවය.

කිවි පක්ෂියා යනු නවසීලන්තයේ සංකේතයක් බඳු පක්ෂියකු වන අතර බොහෝ විය නවසීලන්ත ජාතිකයින් කිවියන් වශයෙන් හඳුන්වනු ද ඔබ අසා ඇත. නවසීලන්ත ජාතිකයින් ද ආදරයේ ප්‍රතිමූර්තියක් වශයෙන් මෙම කිවි පක්ෂීන් සලකන්නේ ඔවුන් ජීවිත කාලය පුරාවටම එකම සහකරුවකු පතන හෙයින් ය. එමෙන්ම මෙම පක්ෂීන් අතර ඉතා හොඳ බෙදා හදා ගැනීමක් ද නිරීක්ෂණය කල හැකි බව විද්‍යාඥයින් පවසන අතර එයට උදාහරණයක් වශයෙන් පිරිමි සත්වයින් මෙම සත්වයින්ගේ බිත්තර රැකීම දක්වයි.

මේ වන විට මිනිසා සත්ව ලෝකයේ ගවේෂණය කර ඇත්තේ ඉතාමත් සුළු කොටසක් බව සත්‍යයකි. ඔහුට තව බොහෝ දුර ගවේෂණය කිරීමට අවස්ථාව ඇත. ඒ ගවේෂණය කරන ලද කොටසින් වූව ද අපට සත්වයින්ගෙන් ඉගෙන ගැනීමට ඇති දෑ බොහෝ පවතින බව විසඳ වී ගොසින් ඇත. තාක්ෂණය, විද්‍යාව මෙන්ම ආදරය පිළිබඳව ද ඔවුන්ගෙන් අපට ඉගෙන ගැනීමට ඇති දෑ බොහෝය. මේ දක්වා සාකච්ඡා කරන ලද්දේ ආදරය සම්බන්ධයෙන් එකම සහකරුවකු පැතීමට අදාළ කරුණු කිහිපයක් පමණි. නමුත් ආදරය වෙනුවෙන් සත්වයින් සිදුකරනා තව බොහෝ කැප කිරීම් ඇත. එම නිසා මේ සාකච්ඡාව තවත් ලිපියක් මඟින් ඉදිරියට රැගෙන යෑම සිදු කළ හැකිය.

Latest