වසර දෙකක පුහුණු කාලයක් සම්පූර්ණ කර ඇති දැණුම පුහුණුව තිබෙන තාක්ෂණවේදීන් 41 දෙනෙකුට වසරක කාලයක් ගෙවී ගියත තවමත් පත්වීම් ලබා දීමට රජය කටයුතු නොකිරීම ගැටළුවට කරුණක් බව අතුරු වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය
එළඹෙන සැප්තැම්බර් මාසයේදී සෞඛ්‍ය සේවකයින් අතර වෘත්තීය සමිති රැල්ලක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනක පුරෝකතනය කර තිබුණා. සැළසුම් සහගත වෘත්තීය සමිති රැල්ලක් ඇති නොවුනත් කිසියම් දෙයක් සිදු වෙයි කියලා අපිට හිතෙනවා.
සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමතිවරයා හෝ වගකිව යුතු අංශ පියවර ගන්නේ නෑ. මේ නිසා සෞඛ්‍ය සේවකයින් සිටින්නේ ගැටළු රාශියක බව කියන්න ඔනේ. ඒ නිසා තමයි වෘත්තීය සමිති රැල්ලක් රට පුරා ඇති වීමේ අවදානමක් වර්තමානය වන විට මතු වෙමින් තිබෙන්නේ.
මේ වන විට රජයේ මුදල් කළමණාකරනය යටතේ බදවා ගැනීම් සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙන බව කියනවා.නමුත් රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින මුල්‍ය කළමණාකරය අපිව බරපතල සැකයකට තල්ලු කර දමා තිබෙනවා.ඊට හේතු සාධක තියනවා.
විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවයේ EEG යන්ත්‍ර ශිල්පීන්,ඒ වගේම කීට විද්‍යා නිලධාරීන් සහ අක්ෂි තාක්ෂණ වේදීන් 41 දෙනෙක් වසර දෙකකට ආසන්න කාලයක් පුහුණුව ලබලා මේ මේ වන විට පත්වීම් නොමැතිව වසරකට ආසන්න කාලයක් නිවෙස් වලට වී කාලය ගත කරනවා.මෙම පිරිස පුහුණූ කිරීම සදහා රජය රුපියල් එක් කෝටි හැත්තෑපන් ලක්ෂයකට වඩා වැඩි මුදලක් වැය කර තිබෙනවා.ඒ වගේම රටේ මහජනතාව තමන්ගේ ඇස් පරීක්ෂා කර ගැනීම සදහා පෝලිම් වල ඉන්නවා.EEG සටහනක් ලබා ගැනීම සදහා පෝලිම් වල ඉන්නවා.ඩෙංගු රෝගය ඉතාමත්ම තදින් පැතිර යමින් තිබෙනවා.මෙවැනි අවස්ථාවකදී හෝ පෙර සදහන් කර ඇති පිරිසට පත්වීම් ලබා දීමට රජය කටයුතු කරන්නේ නැත්තේ ඇයි කියන කාරණය අපිට ඇති වෙලා තියනවා.
විශේෂයෙන්ම මුල්‍ය කළමණාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් අපි දුටුවා බහු කාර්ය කම්කරුවන් විශාල පිරිසකට පසුගියදා පත් වීම් ලබා දෙනවා.දහස් ගානකට ඒ වාගේ රැකියා ලබා දෙන විට දැණුම,පුහුණුව ඇති තාක්ෂණවේදීන් 41 දෙනෙකුට පමණක් පත්වීම් ලබා නොදෙන්නේ ඇයි කියන කාරණය අපිට තියනවා.