Skip to content

රටටම තර්ජනයක් වූ වැලිමැස්සා

උතුරුමැද පලාතෙන් ප්‍රධාන වශයෙන් වාර්ථා වූ වැලිමැස්සා මේ වන විට දිවයින පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බැවින්  වැලිමැස්සාගෙන් ජනතාවට ඇතිවිය හැකි රෝගයන් පිළිබඳව පූරණ දැනුවත් වීමක් වියයුතු යැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටිති..

වැලිමැස්සා දෂ්ඨ කිරීම හේතුවෙන් වැළඳෙන "ලිෂ්මනයිසීස්" (leishmaniasis) නමැති චර්ම රෝගය සහිත රෝගීන් දිවයිනේ පළාත් කිහිපයකින් මේ වන විටත් බහුලව වාර්තා වන බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එච්.ඩී.ජනප්‍රිය මහතා පවසයි.

වෛද්‍යවරයා විසින් පෙන්වා දෙන්නේ උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණ යන පළාත්වලින් එම රෝගීන් බහුල වශයෙන් වාර්තා වන බවටය..

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය එච්.ඩී.ජනප්‍රිය විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේ,

"ලිෂ්මනයිසීස් රෝගය දැනට ලංකාවේ ඉතාම සුලබ රෝගයක් වෙලා. උතුරු මැද පළාත, උතුරු පළාත, වයඹ පළාත, දකුණු පළාත ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉතාමත් බහුලව දැනට රෝගීන් වාර්තා වෙනවා. එහිදී රෝග වාහකයා වශයෙන් කටයුතු කරන වැලිමැස්සා කියන මි.මී 2 - 4ක පමණ දිගින් යුතු ළා දුඹුරු පාට රෝම සහිත ඉතා කුඩා මැසි වර්ගයක්. වැලි මැස්සා සන්ධ්‍යා කාලයේ සහ අලුයම් කාලයේ ඉතාම ක්‍රියාශීලි වෙනවා. මිනිසුන් අනපේක්ෂිත වශයෙන් මෙම සතාගේ ගොදුරු බවට පත්වෙනවා එම කාලසීමාව තුළ දී. රෝග ලක්ෂණ විදියට මතුවෙන්නේ ප්‍රධාන වශයෙන්ම හමේ පාට සහිත හෝ ළා රතුපාට, හමේ ගැටිත්තක්, ඉස්සුනු පැල්ලමක් හෝ ලොකු තුවාලයක් වශයෙන් දැනෙනවා. ප්‍රධාන වශයෙන් ශරීරයේ නිරාවරණය වූ තැන්වල තමා සුලබව දක්නට ලැබෙන්නේ. අනුරාධපුර නම් සෑම සායනයකටම දිනකට රෝගීන් 10ක් වගේ අලුතින් එනවා. දිනකට පැමිණෙන රෝගීන් ප්‍රමාණය වැඩියි. නිසි ප්‍රතිකාර කරලා සුවපත් කරනවා." යනුවෙනි

(Leishmaniasis) ලිෂ්මනියසිස් නැමති මෙම රෝගය ලිශ්මේනියා ගනයට අයත් ප්‍රෝටසෝවාවක් මගින් වැලෙඳන රෝගයකි. මෙහි රෝගවාහකයා ආසාධිත ගැහැණු වැලි මැස්සෙක් වේ.

සායනික වශයෙන් මෙම රෝගය ප්‍රධාන වර්ග 3 කට බෙදිය හැකි වේ.

1. සම මත ඇතිවන ආසාධිත තත්ත්වය

2. විකෘතිතා ඇති කළ හැකි ශ්ලේෂ්මල පටල (උදා:- මුඛය, නාස්කුහරය) ආසාධනය

3. මාරාන්තික අභ්‍යන්තර අවයව ආසාධනය

මෙම විවිධ වර්ගයන් සඳහා බලපාන ලීශ්මේනියා (Leishmania) විශේෂ එකිනෙකට වෙනස් අතර, මිනිසාට මේ රෝගය ඇති කරන විශේෂ 21ක් පමණ මේ වන විට සොයාගෙන ඇත. දැනට මෙම රෝගය ලෝකයේ රටවල් 88ක පමණ පවතින අතර මිලියන 12 ක පමණ රෝගීන් සංඛ්‍යාවක් මෙම රෝගයට මේ වනවිට ගොදුරුව ඇත. වසරකට මිලියන 1.5 - 2 අතර නව රෝගීන් සංඛ්‍යාවක් මෙම රෝගයට ගොදුරුවේ.

ලංකාවේ පවතින මූලිකම වර්ගය සම මත ඇතිවන ආසාධන තත්ත්වය වන අතර, පළමු රෝගියා 1992 දී අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මේ වන විට ලංකාවේ සමහර පළාත්වලට මෙම රෝගය ව්‍යාප්තව ඇති අතර රෝගය පැතිරීම සහ රෝගීන් සංඛ්‍යාව වර්ධනයක් පෙන්නුම් කරයි. වැඩිපුර රෝගීන් වාර්තා වී ඇති ප්‍රදේශනම් අම්බලන්තොට, තංගල්ල, දික්වැල්ල, කෝට්ටගොඩ, වැලිඔය, පොළොන්නරුව, පදවිය , තලාව, ඇලහැර, බකමූණ, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ නාඋල වේ.

Latest