Skip to content

අපිට තියෙන්නේ තව ටික කාලයයි

ලෝකය සෑම කෙනෙකුගේම අවශ්‍යතාවයට ප්‍රමාණවත්වන නමුත් සෑම කෙනෙකුගේම කෑදරකමට ප්‍රමාණවත් නොවේ - මහත්මා ගාන්ධි

ලෝකයේ ඕනෑම දෙයකට දැරීමේ ධාරිතාවක් ඇත. බුදුරජාණන් වහන්සේගේ දේශනය තුළ දැක්වෙන්නේ ද සියල්ල අනිත්‍ය වන බව වන අතර උන්වහන්සේගේ ද පරමායුෂ වූයේ වසර අසූවක් පමණ සුළු කාලයකි. අප ජීවත්වන පෘතුවියට ද එසේමය. එයට ද දැරීමේ ධාරිතාවයක් ඇත. අපගේ සියළුම රැඟුම් රඳා පවතින්නේ පෘථිවියේ මේ දැරීමේ ධාරිතාව ඉක්මවා යන තුරු පමණි.

සාගරයේ ගමන් කරන නැවකට කොපමණ භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යා හැකිද යන්න විස්තර කිරීමට ඉංජිනේරුවන් විසින් ප්‍රථමයෙන් ම මෙම දැරීමේ ධාරිතාව යන යෙදුම භාවිතකොට ඇති අතර පසුව පරිසර විද්‍යාඥයින් විසින් මෙය පෘථිවිය පිළිබඳව විස්තර කිරීම සඳහා යොදාගනිමින් පෘථිවිය නම් මෙම වාසස්ථානයට කොපමණ ජනගහනයක් දරාගත හැකි ද යන්න තේරුම් ගැනීමට උත්සාහ ගන්නා ලදී. එහිදී පෘථිවියේ දැරීමේ ධාරිතාව වශයෙන් අදහස් කරණුයේ පෘථිවිය නම් මෙම වාසස්ථානයේ ඇති භූගෝලීය භෞතික සම්පත්වලට කොපමණ ජනගහනයක් නඩත්තු කළ හැකි ද යන්නය.

මින් වසර 300,000 ට පමණ පෙර හෝමෝ සේපියන්ස් පළමුව පෘථිවියේ දර්ශනය වූ විට ලෝකයේ මුළු ජනගහනය 100 - 10000 අතර වී ඇත. නිව්යෝර්ක් හී රොක් ෆෙලර් විශ්වවිද්‍යාලයේ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ජනගහන පර්යේෂණාගාරයේ ප්‍රධානී Joel - E Cohen පවසන්නේ එසේ පැවති ලෝකයේ මිනිස් ජනගහනය දෙගුණවීමට ආසන්න වශයෙන් වසර 35,000 ක් පමණ ගත වූ බවය. මීට වසර 15,000-10,000 අතර කාලයට පෙර කෘෂිකර්මාන්තය සොයා ගැනීමෙන් පසු පෘථිවියේ පුද්ගලයන් මිලියන 1 - 10 ත් අතර සංඛ්‍යාවක් සිටින විට මානව ජනගහනය දෙගුණ වීමට වසර 1,500 ක් ගත වී ඇත.


16 වන සියවස වන විට ජනගහනය දෙගුණ කිරීමට අවශ්‍ය වූ කාලය වසර 300 දක්වා අඩු වී ඇති අතර 19 වන සියවස ආරම්භ වන විට එය වසර 130 දක්වා අඩු වී ඇත.

1930 සිට 1974 දක්වා පෘථිවියේ ජනගහනය වසර වසර 44 ක් ඇතුළත දෙගුණ වූ අතර එහිදී 1960 දශකයේ ගෝලීය ජනගහනය උච්ඡස්ථානයකට පැමිණ ඇත. එමෙන්ම 1950 දශකයේදී කාන්තාවක් හට සාමාන්‍ය උපත් අනුපාතිකය 5.05 ක් වූ අතර  2020 වන විට එය විශාල වශයෙන් අඩු වී කාන්තාවකට ළමුන් සාමාන්‍යයෙන් 2.44 ක් පමණ විය. එම නිසා ගෝලීය ජනගහන වර්ධන වේගය මදගාමී වූවත් මීට වසර 300,000 ට පමණ පෙර සිටි 100-10,000 අතර ජනගහනය මේ වන විට ආසන්න වශයෙන් බිලියන 7.6 ක් දක්වා වර්ධනය වී ඇත. මෙම ප්‍රමාණයෙන් බිලියන 2 ක් 1993 න් පසුව ජනගහනයට එකතු වී තිබීම ද විශේෂත්වයකි. එසේ නම් පෘථිවියට තව කොපමණ මිනිසුන් ප්‍රමාණයක් නඩත්තු කළ හැකි ද ? දරාගත හැකි ද?

එක්සත් ජාතීන්ගේ ජනගහන දත්ත පෙන්වා දෙන්නේ සෑම වර්ෂයකම මිලියන 83 ක ජනගහනයක් ලෝක ජනගහනයට එකතුවන බවත් සහ 2030 වන විට ලෝක ජනගහනය බිලියන 8.6 දක්වාත්, 2050 වන විට බිලියන 9.8 දක්වාත් සහ 2080 වන විට බිලියන 10.4 දක්වාත් වර්ධනය වී 2100 වන විට බිලියන 11.2 දක්වා හෝ 10.4 ම පවතිනු ඇති බවය. මෙම දත්ත පසුබිමේ තබා ගනිමින් වර්ෂ 1679 දී Antoni van leeuwenhoek නම් විද්‍යාඥයා පෘථිවියේ දැරීමේ ධාරිතාව පිළිබඳව දැක්වූ අදහස් සොයා බැලීම වටී. ඔහු එකළ ප්‍රකාශ කර ඇත්තේ එකල ලෝකය පැවති මට්ටමින් ඉදිරියට ගමන් කරන්නේ නම් පෘථිවියට බිලියන 13. 4 ක ජනතාවක් නඩත්තු කළ හැකි බවය. නමුත් 19 වන සියවසට පැමිණිවිට ලෝකය බොහෝ විපර්යාසයන්ට ලක් වෙමින් සහ විශේෂයෙන් ජනගහයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ජනගහනය අධික වී ඇති අතර එම නිසා Joel - E cohen වැනි ප්‍රකට විද්‍යාඥයින්ගේ අදහස වන්නේ පෘථිවිය දැනට පවතින මට්‍ටමින් ඉදිරියට ගමන් කරන්නේ නම් පෘථිවියට විශේෂයෙන් දැනට පවතින ආහාර සම්පත්වලින් බිලියන 10 ක පමණ ජන සංක්‍යාවක් පෝෂණය කළ හැකි බවය.

ඒ අනුව 2080 වන විට මිනිසුන් පෘථිවියේ දැරීමේ ධාරිතාවට ළඟා වීමට ඉඩ ඇති බවත් සහ 2100 වන විට දැරීමේ ධාරිතාවේ උපරිම මට්ටමට ළඟා වන බව විද්‍යාඥයින්ගේ මතයයි. ඒ අනුව අපගේ සියළු රැඟුම් ඇත්තේ 2100 දක්වා පමණකි. ඉන් ලෝක විනාශයක් සිදුවන්නේ යැයි අදහස් නොවන නමුත් මානව ජීවීන්ට පැවැත්ම පිළිබඳ දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇත. මෙය පොදුවේ සිදුකරන ලද පුරෝකතනය වූවත් නමුත් ඒත් සමඟම පෘථිවියේ දැරීමේ ධාරිතාව ස්ථීර අගයක් නොවන බව ද විද්‍යාඥයින්ගේ අදහසයි. දැරීමේ ධාරිතාව ළං වීම හෝ දුරස් වීම සාධක රාශියක් මත රඳා පවතී.

ඉන් පළමු වැන්න වන්නේ එක් එක් රටවල ජනගහන ප්‍රතිපත්තීන් ය. මෙය විශේෂයෙන් අදාළ වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට වන අතර සංවර්ධිත රටවල් තුළ මේ වන විට ජනගහනය ස්ථාවර මට්ටමක පවතී. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රමාණය ඉක්මවා ජනගහනය වර්ධනය වීම තනි තනි වශයෙන් ඒ ඒ රටවල සම්පත් කෙරෙහි දැඩි පීඩනයක් ඇතිකර ඇති අතර අනාගතයේ එය එසේම සිදුවුවහොත් දැරීමේ ධාරිතාව වඩ වඩාත් ළං වීමට ඉඩකඩ ඇත. මන්ද ආහාර අනුභව කිරීමට ඇති මුඛ ප්‍රමාණය වැඩි වූවද වැවීමට ඇති බිම් ප්‍රමාණය එයට සාපේක්ෂව වැඩි නොවන බැවිනි. මේ වන විට පෘථිවියේ අලුතින් වගා කිරීමට හැකි අක්කර බිලියන 3.5 ක භූමි ප්‍රමාණයක් පවතින අතර ඉන් වාර්ෂිකව ධාන්‍ය ටොන් බිලියන දෙකක් පමණ නිපදවිය හැකිය. එබැවින් වර්ධනය වීමට ඇති ජනගහනයේ අවශ්‍යතාවය සපුරාලිය යුතුව ඇත්තේ මෙම බිම් ප්‍රමාණයෙන් බැවින් ජනගහනය අධික ලෙස වර්ධනය වන්නේ නම් මෙම බිම් ප්‍රමාණයට ඇතිවන පීඩනය තව තවත් ඉහළ යනු ඇත. දැනට ලෝක භූමි ප්‍රමාණයෙන් 11% ක් පමණ භෝග වගා කිරීම සඳහා භාවිත කරයි. ඊටත් වඩා විශාල ප්‍රදේශයක් පශු සම්පත් සහ තෘණ සඳහා යොදා ගැනේ.

තිරිඟු කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා ජලය ලීටර් 500 - 4000 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. චොක්ලට් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා ජලය ලීටර් 17,196 ක් අවශ්‍යවන අතර හරක්මස් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා ජලය ලීටර් 15,415 ක් ද කුකුල් මස් කිලෝග්‍රෑම් එකක් සඳහා ලීටර් 4,325 ක් වැය වේ. මෙසේ දක්වන ලද්දේ ආහාර නිෂ්පාදනය සඳහා පාරිසරික සම්පත් වැයවීම සම්බන්ධයෙන් එක් උදාහරණයක් පමණි. එසේම දිනකට එක් මිනිසෙක් ජලය ලීටර් 7 ක් පමණ පානය කළ යුතුය. එම නිසා පෘථිවියේ දැරීමේ ධාරිතාව තීරණය වීම සම්බන්ධයෙන් පාරිසරික සම්පත්වල තිරසාරභාවය ද මූලික වශයෙන් වැදගත් වේ.

ආහාර පමණක් නොව ජනගහනය වැඩිවන විට ඔවුන්ට අවශ්‍ය වාසභූමි සැපයිය යුතුය. මිනිසා හැර අනෙකුත් සත්වයින් හට ද එකී අවශ්‍යතා සපයා ගැනීමට අවශ්‍ය පරිසරයක් තිබිය යුතුය. ඒ අතරතුර ආහාර නිෂ්පාදනනයට ප්‍රධාන වශයෙන් දායකවන ශාක සම්තේ සහ බමරුන්, මී මැස්සන් වැනි කෘමීන්ගේ පැවැත්ම තහවුරු කළ යුතුය. නමුත් විශේෂයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ ජෛව ගෝලයේ පැවැත්මට අත්‍යාවශ්‍ය ශාක විශේෂ සහ ජීවී විශේෂ තර්ජනයට ලක් වී ඇත. ග්ලැසියර දියවීම හේතුවෙන් සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් ගොඩබිම් ප්‍රමාණය අවම වෙමින් පවතී. කාර්මීකරණය හේතුවෙන් වායු දූෂණයේ සහ හරිතාගාර ආචරණයේ ද ඇත්තේ වැඩි වීමකි. මේ ආදී හේතු සාධක රාශියක් පෘථිවියේ දැරීමේ ධාරිතාවයට බලපායි.

විශේෂයෙන් විද්‍යාඥයින් විසින් මෙම දැරීමේ ධාරිතාව තීරණය කිරීමේදී  සළකා බලා ඇත්තේ ආහාර අවශ්‍යතාවයයි. එනම් පවතින ආහාර කොපමණ ජනගජනයකට ප්‍රමාණවත් ද යන්නයි. හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ  එඩ්වඩ් ඕ විල්සන් වැඩිදුරටත් පවසන්නේ ලෝකයේ සියළුම පුද්ගලයින් නිර්මාංශ වන්නේ නම් පශු සම්පත් සඳහා යොදවා ඇති භූමි ප්‍රමාණය වෙනත් ආහාර භෝග නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත හැකි බවය. එම ප්‍රමාණය හෙක්ටෙයාර බිලියන 1.4 කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමිය පවසන්නේ ඇමෙරිකාවේ සියල්ල නිර්මාංශ වුවහොත් ආහර භෝග වගා කිරීමට විශාල භූමි ප්‍රමාණයක් ඉතුරුවන බවය. නමුත් එසේ ලෝකයේ සියළුම පුද්ගලයින් නිර්මාංශවීමට සිය කැමැත්ත පල කරයිද යන්න සම්බන්ධයෙන් ඇත්තේ ගැටළුවකි.

කෙසේ නමුත් පෘථිවියට කොපමණ ජනගහනයක් නඩත්තු කළ හැකිද යන්න ස්ථාවර අගයක් නොවේ. මේ පුරෝකතනය කර ඇති ආකාරයයි. එය තීරණය කරන්නේ මිනිසුන් ස්වාභාවික සම්පත් පරිභෝජනය කරන ආකාරය මත ස්වාභාවධර්මයා විසිනි. අනාගත පරම්පරාවට වඩාත් යහපත් ලෝකයක් ඉතිරිකරවීමට දැනට ජීවත්වන මිනිසුන් තුළ ඇති කැමති අකමැතිභාවය ද ඊට බලපායි. එබැවින් ආරම්භයේ උපුටා දක්වන ලද මහත්මා ගාන්ධි තුමන්ගේ ප්‍රකාශය අවසාන වශයෙන් ද දක්වමි.

ලෝකය සෑම කෙනෙකුගේම අවශ්‍යතාවයට ප්‍රමාණවත්වන නමුත් සෑම කෙනෙකුගේම කෑදරකමට ප්‍රමාණවත් නොවේ.

Latest