Skip to content

අපි නොදන්න ක්‍රිකට් 1

ක්‍රිකට් ක්‍රීඩාවේ අසාමාන්‍ය නීති කීපයක්

ක්‍රිකට්, ලෝකයේ වඩාත් සංකීර්ණම ක්‍රීඩාවක් වුවත් ශ්‍රී ලාංකිකයින් බහුතරයක් ක්‍රිකට් නීති සහ තරග රටා පිළිබඳ දැනුම්වත්ය. කෙසේ නමුත් කාලයෙන් කාලයට ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් එකතුවන සහ වෙනස්වන නීති සහ සම්මතයන් එක්වරම තේරුම් ගැනීම ක්‍රීඩාව පිළිබඳ පුළුල් දැනුමක් ඇති අයකුට පවා වටහා ගැනීමට අසීරුය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය සහ උද්වේගකාරිත්වය වැඩි කිරීම මෙන්ම ක්‍රීඩකයින්ගේ (විශේෂයෙන් පිතිකරුවන්ගේ) ආරක්ෂාව අරමුණු කරගනිමින් මෙලෙස නවනීති හඳුන්වා දීම සහ වෙනස් කිරීම මෙරිල්බෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදෙනු ලබයි. ඇතැම් විට මෙම නීති හඳුන්වාදීම පිටුපස කිසිම තාර්කික බවක් නොමැති බව හැඟී ගියද අදාල නීති යෙදවෙන අවස්ථාවල එහි වැදගත්කම පැහැදිලි වෙයි.

මේ බොහෝ ක්‍රිකට් ලෝලින් නොදන්නා නමුත් දැනටත් ක්‍රියාත්මක වන ක්‍රිකට් නීති සහ සම්මතයන් කීපයක් පිළිබඳ හඳුන්වාදීමට getpeakonline ගන්නා උත්සාහයකි.

01. එක් පන්දුවකට ලබාගත හැකි උපරිම ලකුණු ගණන.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය තීරණය කිරීමේ මූලිකම ඒකකය කණ්ඩායමක් ලබාගන්නා ලකුණු ගණනය. සරලව ගතහොත් තරගයක වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම ජයග්‍රහණය කිරීම සාමාන්‍යයෙන් ලැබෙන අවසන් ප්‍රථිඵලයයි. (මෙය වෙනස්වන අවස්ථාද තිබිය හැකිය.)

කෙසේ නමුත් ලකුණු රැස් කිරීම සම්බන්ධයෙන් පැනවී ඇති නීතිරීති අතරේ එක් පන්දුවකට ලබාගත හැකි උපරිම ලකුණු ගණනට සීමාවක් නොමැති බව ඔබ දැන සිටියාද? පන්දුව හතරේ සීමාව ඉක්ම යන තුරු පිතිකරුවන්ට තමන්ට හැකි තරම් ලකුණු ලබාගැනීම වෙනුවෙන් කඩුළු අතර දිව යා හැකිය.

අතීතයේදි ක්‍රීඩා පිටියේ පිහිටි ගසක පන්දුව රැඳීම, සත්ව ගුලකට වැටීම වැනි පන්දුව සොයාගැනීමට නොහැකි අවස්ථාවන පන්දු රකින පිළට 'lost ball' යනුවෙන් තරග විනිසුරුවන් දැනුම්වත් කර පිතිකරුවන් ලකුණු කරා දිව යෑම නැවැත්විය හැකිය. එවැනි බාධක වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනවල සුලභව දැකිය නොහැකි නමුත් 2003 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දි චමින්ද වාස් තරගයේ පළමු පන්දු තුනේදි බංග්ලාදේශයට එරෙහිව කඩුළු ත්‍රිත්වයක් වාර්තා කළ තරගය පැවැත් වූ පීටර්මාරිට්ෂ්බර්ග් සිටි ඕවල් පිටිය එවැනි ක්‍රීඩාංගනයකි.

එහිදී විනිසුරු විසින් පිතිකරුවන් ඒ වන විට අදාළ පන්දුවට දිවගිය ලකුණු ගණන හෝ ලකුණු 6ක් (වඩා වැඩි ගණන) පිරිණමනු ලබයි.

2. හිතාමතා කොට ලකුණක් (Short - Run) වාර්තා කිරීමට දඬුවම

කොට ලකුණක් (Short - Run) ලෙස විනිසුරු විසින් සලකුණු කරනු ලබන්නේ ලකුණක් සඳහා පිතිකරුවන් කඩුළු අතර දිව යෑමේදි අනෙක් පස පිතිකරු පැති සීමා ඉරට (Popping crease) එපිටින් පිත්ත සලකුණු නොකර දෙවැනි ලකුණ හෝ ඊට වඩා වැඩි ලකුණු ගණනක් සඳහා දිව යෑමේදි එසේ වාර්තා වන අවස්ථාවට එක් ලකුණ බැගින් පිතිකරණයේ යෙදෙන කණ්ඩායමෙන් අඩු කිරීමය.

කෙසේ නමුත් යම් හෙයකින් පිතිකරුවන් දෙදෙනා අතරින් වඩාත් දක්ෂ පිතිකරුවාට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීම වැනි උපක්‍රමයක් වෙනුවෙන් පිතිකරුවන් හිතාමතා කොට ලකුණක් වාර්තා කළේ යැයි විනිසුරුවන්ට හැඟී ගියහොත් අදාළ පන්දුවට පිතිකරුවන් ලබාගත් ලකුණු සියල්ලම අහිමි වන අතර පන්දු රකින පිලට ලකුණු පහක් පිරිනමණු ලබයි.

විනිසුරුවිසින් කොට ලකුණක් (Short run) සලකුණු කිරීම

3. ව්‍යාජ පන්දුරැකීමේ ඉරියව් ප්‍රදර්ශනය කිරීම

2017 වසරේ හඳුන්වා දුන් මෙම නීතිය අනුව පන්දු රකින්නන් විසින් පිතිකරුවන් මුලා කිරීම සඳහා ව්‍යාජ ලෙස පන්දුව විසි කිරීම, කඩුල්ල බිඳ දැමීම වැනි අභිනයන් දැක්වීම තහනම් කෙරිණි.

ශ්‍රී ලංකා හිටපු කඩුළු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදි පකිස්තාන් පිතිකරු අහමඩ් ෂේෂාඩ්ව දුවද්දි දවාගන්නා අභිනයක් දක්වමින් පිතිකරුවා අපහසුතාවට පත්කරන සිදුවීම ඔබට මතක ඇති. එකල මෙම නීතිය හඳුන්වා දී නොතිබුණු අතර එසේ තිබුණානම් පහත දඬුවම් විඳීමට සිදුවනු ඇත.

සංගක්කාරගේ ව්‍යාජ අභිනය

එවන් ව්‍යාජ අභිනයක් දැක් වූ විට;
*පිතිකරුවන් ලබාගන්නා ලකුණු ඔවුන් වෙත හිමිවෙයි.
*පන්දුවට පහර දෙන කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් හිමිවෙයි.
*අදාළ සිදුවීමට අදාළ පන්දුව අවලංගු වන අතර එය නැවත යැවිය යුතුය.
*නව පන්දුව පිළිගන්නා පිතිකරු කවුදැයි තීරණය කිරීමේ අයිතිය පිතිකරුවන් දෙදෙනාට හිමිවෙයි.

4. පිතිකරුගේ පා ඉන්න දෙසින් ස්ක්වෙයාර් ලෙග් කලාපය දක්වා රැඳවිය හැකි පන්දුරකින්නන් ගණන

කඩුළු රකින්නාට පිටුපසින් පිහිටි ලෝන්ග් ස්ටොප් කලාපයත් ස්ක්වෙයාර් ලෙග් කලාපයත් අතර පිහිටි වපසරිය තුල රැඳවිය හැක්කේ පන්දු රකින්නන් දෙදෙනෙක් පමණි. ශරීරය එල්ල කරමින් පන්දු යැවීමේදි ඉන් ආරක්ෂා වීමට පිතිකරුවන් දරණ උත්සාහය හේතුවෙන් උඩපන්දු ඇදීයෑම වැලැක්වීම මෙහි අරමුණ වෙයි.

ඒ අනුව පන්දු යවන්නන් පිතිකරුගේ සිරුරේ ඉහළ කොටස එල්ල කරමින් පන්දු යැවීම අධෛර්මත් කිරීම අවසන් අභිප්‍රායයි. කෙසේ නමුත් මෙම නීතියට අදාල සිදුවීම වසර සියයකට එහා අතීතයකට දිවයන අතර එවකට ඔස්ට්‍රේලියාවේ හිටපු සුපිරි පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ව පාලනය කිරීමට එංගලන්ත නායක ඩග්ලස් ජාඩිං තම වේගපන්දු යවන්නා වූ හැරල්ඩ් ලාවුඩ් යොදවා ස්ක්වෙයාර් ලෙග් සහ ලෝන්ග් ස්ටොප් කලාපයේ පන්දු රකින්නන් වැඩිපුර රඳවා පිතිකරුගේ සිරුර වෙත පන්දු යැවීමට සැලැස්වීමය. කුප්‍රකට බොඩිලයින් තරගාවලිය ලෙස හැඳින්වෙන්නේ එම තරගාවලියයි.

5. කඩුල්ල මුවා කිරීමේ වරදට අදාළ මීටර තුනේ නීතිය

ක්‍රිකට් ක්‍රීඩාවට තීරණ නැවත විමසීමේ ක්‍රමය (DRS) හඳුන්වාදීමෙන් අනතුරුව ඇතුල් වූ මීටර් තුනේ නීතිය තරමක් මතභේදාත්මක සහ ප්‍රේක්ෂකයින්ට තේරුම් ගැනීමට එතරම් පහසු වූ නීතියක් නොවූ බව සඳහන් කළ යුතුය.

පිතිකරුවෙක් පිතිකරණ සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරදීමේදි පිතිකරුගේ පාආවරණයේ පන්දුව වැදීමේදි පන්දු රකින කණ්ඩායම විසින් පිතිකරු දැවී ගියේදැයි කරණ ඉල්ලීම අනුව විනිසුරු විසින් ලබාදෙන තීරණය DRS වෙත යොමු කිරීමේදි සලකා බලන සාධකයක් ලෙස මීටර් 3 නීතිය ක්‍රියාත්මක වෙයි.

විනිසුරු විසින් පන්දුරකින කණ්ඩායමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මොහොතක;

පන්දුරකින පිලේ නායකයා DRS වෙත යොමු වෙයි. එහි දී ප්‍රතිරූපණවලදී කඩුල්ල මුවා කිරීමේ වරදක් සංතෘප්ත කරන අන් සියළු අවශ්‍යතා සංතෘප්තව තිබුනද පන්දුව පා ආවරණයේ වදින මොහොතේ කඩුල්ලත් පන්දුවත් අතර දුර මීටර 3ක් හෝ ඊට වැඩිනම් පිතිකරු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස සැලකෙයි. නමුත්, පන්දුරකින කණ්ඩායමට DRS අවස්ථාව අහිමි නොවෙයි.

පිතිකරු දැවී ගියේ යැයි විනිසුරු නම් කළ මොහොතක පිතිකරු විසින් DRS අවස්ථාව ලබාගත්තේනම්, පන්දුව පා ආවරණයේ වදින මොහොතේ කඩුල්ලත් පන්දුවත් අතර දුර මීටර් 3ක් හෝ ඊට වැඩිනම් තෙවැනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණය අත්හිටුවා පිතිකරු නොදැවුණු ලෙස තීරණය කරනු ලැබෙයි.

6. සෙවනැලි නීතිය


පිතිකරු ආසන්නයේ ෆෝවඩ් ෂෝට් ලෙග්, සිලි පොයින්ට්, සිලි මිඩ්ඕෆ් ආදි ස්ථානවල පන්දුරකින්නන් යොදවා ඇති අවස්ථාවල පන්දුරකින්නන්ගේ සෙවනැල්ල තනතිල්ල මතට පතිතවන අවස්ථා ඔබට නිරීක්ෂණය වී ඇති. එවැනි මොහොතක පන්දුව පිතිකරු වෙත ළඟාවනතුරු සෙවනැල්ල තනතිල්ල මතට ප්‍රක්ෂේපනය වී ඇති පන්දුරකින්නන්ට තම ඉරියව්ව වෙනස් කිරීම තහනම්ය.

පිතිකරු පන්දුව වෙත දක්වන අවධානය බිඳෙන අසාධාරණ මැදිහත්වීම් වලකාලීම මෙම නීතිය හඳුන්වාදීමේ අරමුණයි.

එලෙස පන්දු රකින්නකු ඉරියව්ව වෙනස් කළහොත් අදාළ පන්දුව නිපන්දුවක් (noball) ලෙස විනිසුරු විසින් නම් කරනු ලබයි.

7. බාහිර වස්තුවක් සමග පන්දුව ස්පර්ශවීම


පන්දු යවන්නා විසින් පිතිකරුවෙත පන්දුව යැවීමෙන් අනතුරුව පිතිකරු විසින් පහර ලද හෝ කඩුළු රකින්නා වෙතට යෑමට අතහරින හෝ පහරකට යෑමේදි පා ආවරණයේ වැදී යන පන්දුව පිටිය තුළ තිබෙන හිස් ආවරණයක්, හිස්වැසුමක්, ලේන්සුවක්, අව් කණ්නාඩියක් හෝ කිසියම් බාහිර වස්තුවක් සමග පන්දුව ස්පර්ශ වුවහොත් පන්දුවට පහර දෙන පිළට ලකුණු 5ක් ලබා දෙයි. යම් මොහොතක කඩුළු රකින්නා විසින් පන්දුව නවත්වා ගැනීම සඳහා තම අත් ආවරණය ගලවා පන්දුව වෙත විසි කිරීමකදි පන්දුව එහි ස්පර්ශ වුවහොත් එවිටද ලකුණු පහක් පන්දුවට පහර දෙන පිළ වෙතට පිරණැමෙයි.

8. ප්‍රමාදයට දඬුවම (Timed-Out)


ක්‍රිකට් ක්‍රීඩා නීති පොතේ හතලිස්වැනි නීතියට අනුව කඩුල්ලක් දැවී ගොස් මිනිත්තු 3ක් ඇතුලත ඊළඟ පිතිකරු පන්දුවට පහර දීමට පිටියට පැමිණ පිතිකරණ සීමා ඉර මත පන්දුවට පහර දීමට සූදානම්ව සිටිය යුතුය. එලෙස නියමිත වේලාවට කඩුල්ලට වාර්තා කිරීමට යම් පිතිකරුවකු අසමත් වීමෙන් අනතුරුව පන්දුරකින පිල විසින් විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළහොත් අදාළ පිතිකරු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස තීරණය ලබා දෙයි.

ජාත්‍යන්තර තරගවලදි තවමත් මෙසේ දැවී යාමක් වාර්තා නොවුණු අතර පළමු පෙළ තරගවලදි කීප වතාවක්ම පිතිකරුවන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත. කෙසේ නමුත් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් තරගයකදි සචින් තෙන්දුල්කාර් එලෙස ප්‍රමාදවීම හේතුවෙන් දැවී යාමට ආසන්න වුවත් දකුණු අප්‍රිකානුවන් විනිසුරුගෙන් ඉල්ලීමක් නොකළ බැවින් පන්දුවට පහර දීමට අවස්ථාව උදා කරගත්තේය.

9. ඉලක්කය වැරදුනු නිපන්දුව

පන්දුවක් නිපන්දුවක් (noball) ලෙස විනිසුරු විසින් තීරණය කරනු ලබන අවස්ථා පිළිබඳව ක්‍රිකට් ලෝලි ඔබට මනා අවබෝධයක් ඇති බව අපගේ අදහසයි. පන්දු යවන සීමා ඉර මත හෝ ඉදිරියෙන් පාදය තැබීම, පිතිකරුගේ ඉනට ඉහලින් බීමර් පන්දුවක් යැවීම, පන්දු රකින්නන් සම්මත ගණනට අනුකූල නොවන ලෙස රඳවා පන්දු යැවීම වැනි හේතු සාමාන්‍යයෙන් නිපන්දුවකට හේතු වෙයි.

නමුත්, නිසි එල්ලයට පන්දුව යැවීමට අසමත් ව තනතිල්ලෙන් එළියේ පන්දුව පතිත වීම සලකනු ලබන්නේ වයිඩ් පන්දුවක් ලෙස නොව නිපන්දුවක් ලෙසය.

Latest