Skip to content

අපි බිලි පූජාව තියන්නේ නෑ. ඒත් මිනිස්සු සත්තු ගෙනත් පූජා කරනවා - කාලි දේවාලයේ පුජකවරයා කියයි.

සම්ප්‍රදායිකව වාර්ෂිකව පැවැත්වූ සත්ත්ව බිලි පූජාව මෙවරද නොපවත්වන බව හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි කාලි දේවාලයේ උදයන් සාමි පුජකවරයා කියා සිටියේය.

හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයේ වාර්ෂික නිකිණි මංගල්‍ය සෑම වසරකම අගෝස්තු මාසයේදී පැවැත්වේ. ඒ සමගම මුන්නේෂ්වරමේ ඇති සෙසු දේවාල වල මංගල්‍යයන්ද පැවැත්වීම සිදු කරති.

මුන්නේෂ්වරමේ පිහිටි භද්‍ර කාලි දේවාලයේ මංගල්‍යද මේ සමගම සිදු කරති.

ඊශ්වර දේවාලයේ මංගල්‍ය නිමාවට පත් කරමින් දිය කැපීම නිකිණි පොහොය දිනයේදී හලාවත - දැදුරුඔයේදී සිදු කරති.

නිකිණි පොහොය දිනයට පසුදින භද්‍රකාලි දේවාලයේ මංගල්‍ය උත්සවය සමරණු ලබයි.මීට වසර කීපයකට පෙර දී නම් භද්‍රකාලි දේවාලයේ මංගල්‍ය සමරණු ලැබුනේ සත්ත්ව බිලි පූජාවක්ද පවත්වමිනි. මෙම සත්ත්ව බිලි පූජාවට එරෙහිව පසුගිය කාලය පුරා විවිධ ආගමික සංවිධාන මෙන්ම දේශපාලකයින්ද කටයුතු කළේය. ඒ අනුව සත්ත්ව බිලි පුජාව පැවැත්වීම සදහා අවසර ලබා නොදීමට හලාවත ප්‍රදේශීය සභාව කටයුතු කර ඇත.

මේ අතර,සත්ත්ව බිලි පුජාව පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් භද්‍රකාලි දේවාලයේ භාරකරුවන් විසින් හලාවත දිසා අධිකරණයේ නඩුවක්ද ගොණු කර ඇත. එම නඩුවේ තීන්දුවද මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

"හින්දු ආගමික වතාවත් සදහා තමයි අපි බිලි පුජාව පවත්වන්නේ. නමුත් අවුරුදු කීපයක ඉදලා අපිට මේ සත්ත්ව බිලි පුජාව පවත්වන්න බැරිව ගිහිං තියනවා. ඒ නීතිමය ප්‍රශ්ණ නිසා. නමුත් බැතිමතුන් බිලි පූජාව සදහා එළුවන්, කුකුළන් වැනි සතුන් දේවාලයට රැගෙන එනවා. ඒ සතුන් අපි බාර ගන්නවා. නමුත් බිලි පූජාව පවත්වන්නේ නෑ. ඒ වෙනුවට බැතිමතුන් බාර දෙන එළුවන්, කුකුළන් වැනි සතුන්ව අලවි කරලා ඒ ලැබෙන සල්ලි වලින් දේවාලයේ කටයුතු සදහා යොදා ගන්නවා." යැයි උදයන් සාමි පුජකවරයා කියා සිටියේය.

හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි භද්‍රකාලි දේවාලයේ සිටි එළුවන්, ගවයින් මෙන්ම කුකුළන් විශාල පිරිසක්ද හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් වරක් පැමිණ රැගෙන ගියේය.

audio-thumbnail
Kali temple Cut 20230829
0:00
/1:31

Latest