Skip to content

වැග්නර් කණ්ඩායම මොස්කව් ගමන නවතයි

රුසියාවේ වැග්නර් පුද්ගලික මිලිටරි සමාගමේ භටයින් 2023 ජූනි 24 වනදා මොස්කව් අගනුවර දෙසට අරඹන ලද ගමන එරට වෙලාවෙන් එදිනම රාත්‍රියේ නවත්වා දමන ලදී.

වැග්නර් ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොසින් සහ බෙලරූස් ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ අතර ඇතිවූ සාකච්ඡා අනුව මෙසේ සිය මෙහෙයුම නතර කිරීමට වැග්නර් ප්‍රධානියා කටයුතු කළේ ය​.

එමෙන්ම සිය භටයින්ට මොස්කව් ගමන නවතා තම කඳවුරු කරා යන ලෙස වැග්නර් ප්‍රධානියා නියෝග කර තිබේ. තවද​, රස්තෝෆ් හි රැඳී සිටි වැග්නර් භටයින් ද එයින් ඉවත් වීමට කටයුතු කළ බව දැනගන්නට ලැබේ. දකුණුදිග මිලිටරි අණදෙන මූලස්ථානයේ රැඳී සිටි බව කියන ප්‍රිගෝසින් ද එම ස්ථානයෙන් ඉවත් වන අවස්ථාව දැක්වෙන බව කියන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබුණි.

මෙසේ ඇතිවූ එකඟතාවයන් අනුව ප්‍රිගෝසින්ට ආරක්ෂිතව බෙලරූස් කරා යාමට රුසියානු බලධාරීන් අවකාශය සලසා දී ඇත​. එමෙන්ම ප්‍රිගෝසින් විසින් කරන ලද ප්‍රකාශයන් අරභයා ඔහුට එරෙහිව අපරාධමය චෝදනා යටතේ අරඹා තිබුණු පරීක්ෂණ ද නවත්වා දැමීමට රුසියානු බලධාරීන් එකඟව තිබේ. කැරැල්ලට සම්බන්ධ වූ වැග්නර් සාමාජිකයන්ට සමාව දෙන බව ද ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් ප්‍රකාශ කළේ ය​.

පෙස්කෝෆ්

තවද රුසියාව පවසා සිටින්නේ වැග්නර් කැරැල්ල හේතුවෙන් ඇතිවූ තත්ත්වයන් යුක්‍රේන මෙහෙයුම් සඳහා බල නොපාන බව යි. ජනාධිපති පූතින් නුදුරේදී යළි ජාතිය ඇමතීමේ සූදානමක් නොවන බව ද ඔහුගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් පැවසීය​.

ප්‍රිගෝසින් සමග ලුකාශෙන්කෝ සාකච්ඡා අරඹා තිබුණේ ජූනි 24 වනදා උදෑසන පූතින් විසින් ලුකාශෙන්කෝ වෙත ඒ සඳහා සිය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ. ලුකාශෙන්කෝ සහ ප්‍රිගෝසින් දශක දෙකක් පමණ එකිනෙකා හඳුනන බව ද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් සාකච්ඡා අසාර්ථක වූයේ නම් මොස්කව් කරා යන වැග්නර් භටයින් හේතුවෙන් කුමන ආකාරයේ ප්‍රතිඵලයක් අත්වේද යන්න අවිනිශ්චිත ය​. මොස්කව් ආසන්නයට එන තුරු බරපතල ප්‍රතිචාරයක් නොදැක්වීම රුසියානු හමුදාවල සැලැස්ම වූ බව ඊයේ සිදුවූ කරුණු අනුව පෙනී ගියේ ය​. නාගරික ප්‍රදේශයක සටන් ඇතිවූයේ නම් කිනම් ආකාරයේ තත්ත්වයක් නිර්මාණය වන්නට තිබුණිදැයි සැකයක් නැත​. ප්‍රිගෝසින්ගේ භටයින්ට රජයේ හමුදා පරාජය කර මොස්කව් මධ්‍යයට පැමිණීමේ ශක්තියක් වීදැයි සැක සහිත ය​. කෙසේ වෙතත් සටන් සිදුවූයේ නම් මහත් වූ විනාශයක් වීමට ඉඩකඩ තිබුණි.

වැග්නර් කණ්ඩායම සටන් නැවත්වීම සඳහා කිනම් හෝ කොන්දේසි ඉදිරිපත් කළේදැ යි ද පැහැදිලි නැත​. ඇතැම්විට ඉදිරියේදී අපට ඒ පිළිබඳ වඩා පැහැදිලි අදහසක් ලැබෙනු ඇත​.

Latest