නිව්ටන් විසින් ගුරුත්වාකර්ෂණය යනුවෙන් යම් දෙයක් මේ ලෝකයේ පවතිනවා යැයි සොයා ගැනීමට පෙර ද ගුරුත්වාකර්ෂණය ලෝකයෙහි පැවතුණි. ඔහු සිදු කරණ ලද්දේ ඇපල් ගෙඩියක් සිය හිස මතට වැටීම සම්බන්ධයෙන් තව දුරටත් නිරීක්ෂණය කර මෙන්න මේ හේතුව මත මෙන්න මේ දේ සිදු වුණා. එසේ නම් මෙන්න මෙහෙම දෙයක් ලෝකයේ පවතිනවා යැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමය.
ඒ ආකාරයට මිනිසුන්වන අප මීට වසර මිලියන ගණනකට පෙර ගසෙන් බැසගත් දා පටන් මේ දක්වා පරිණාමය වීමේදී අපගේ අත්දැකීම් සහ නිරීක්ෂණ මත පොදුවේ පිළිගන්නා නීති දොළහක් පවතින අතර ඒවා හඳුන්වන්නේ විශ්වීය නීති දොළහ වශයෙනි ( 12 Universal Laws ). එනම් එම දොළහ විශ්වයේ අනිවාර්යයෙන්ම සිදුවනවා. අනිවාර්යයෙන්ම තියනවා. කාටවත් නෑ කියන්න බෑ. යන අදහසය.

මෙහිදී, පවතින සියලුම පදාර්ථ සහ අවකාශය සමස්ථයක් ලෙස ගතහොත් එය විශ්වය ලෙස සැළකෙන අතර එය ලෝකයට වඩා විශාල වූවකි. ඉදිං එම විශ්වයේ පවතින මෙම නීති දොළහේ ඒකාබද්ධතාවයෙන් ස්වභාවධර්මයේ සමබරතාව සහ සමගිය ඇති කරන බවත් සහ එම නීති දොළහ පිළිබඳව කිසිවකු දන්නේ නම්, ඒ පිළිබඳව සුළු හෝ අවබෝධයක් තිබේ නම් එමගින් ඔහුට ජීවිතයට යමක් එක්කරගත හැකි බවත්, ඒ සෑම නීතියක් මඟින්ම සතුට සහ සාර්ථකත්වය පිළිබඳව යමක් උගන්වන බව ද විද්වතුන්ගේ අදහසයි.
එම විශ්වීය නීති දොළහ පහත සඳහන් පරිදි වන අතර ඉන් එකින් එක මින් ඉදිරියට විමසා බලමු.

1. පළමු විශ්වීය නීතිය වන්නේ ඒකීයභාවය පිළිබඳ නීතියයි ( Law of divine oneness )
මෙම නීතිය මගින් කියන්නේ විශ්වයේ සෑම පුද්ගලයකුම, සෑම තත්වයක්ම සහ සෑම දෙයක්ම එකිනෙකට සම්බන්ධ වී ඇති බවයි. හුදෙකලා වී ඇති කිසිවක් මේ විශ්වයේ නොමැත. අපි තනි තනි වශයෙන් පුද්ගලයන් ලෙස ගත්ත ද වෙනත් අයකු සිතන යමක් හෝ කරන යමක් අපගේ ජීවිතයට අනිවාරෙන් බලපෑම් කරයි.
උදාහරණ ලෙස ගන්නේ නම් getpeakonline අපගේ වෙබ් අඩවියේ ලිපි පරිශීලනය කරන දහසකුත් වූ පාඨක ඔබ සියල්ල සහ අප තනි තනි පුද්ගලයින් වූව ද අප ඔබට ලියන ලිපි ඔබගේ ජීවිතයට යම්කිසි බලපෑමක් ඇති කරණු ඇත. විශේෂයෙන් දර්ශනවාදය සම්බන්ධයෙන් ගෙන එන ලිපි මඟින්. එමන්ම ඔබගේ ප්‍රතිචාර ද අපට බලපෑමක් ඇති කරණු ඇත. එම නිසා ඔබට මට විශ්වයේ හුදෙකලාව සිටිය නොහැකි අතර මේ සියල්ලම එකිනෙකට සම්බන්ධ වී ඇති බව පලමු නීතියෙන් කියයි.
තවත් උදාහරණයක් ගන්නේ නම් භෞම පද්ධතියේ ශිලා ගෝලය, ජෛව ගෝලය, වායු ගෝලය සහ ජල ගෝලය මේ සියල්ල එකිනෙකට සම්බන්ධය, වායු, ජල, ශිලා යන ගෝලයන් නොමැතිව ජෛව ගෝලයට පැවැත්මක් නැත. එමෙන්ම එක් එක් ගෝලයන්ගේ ඇති සංරචකයන් ද එකිනෙකට සම්බන්ධය.
මහා පිපිරුමට පෙර විශ්වයේ සියල්ලන්ම සිටියේ අධික ඝණත්වයකින් යුත් තත්වයක වන අතර මහා පිපිරුමෙන් පසුව විශ්වය ප්‍රසාරණය වීමට පටන්ගත් බව විද්‍යාඥයින් කියයි. ඒ අනුව සැබවින්ම ඝණත්වයකින් යුත් තත්වයක සිටින විට විශ්වයේ සියල්ලම එකට සම්බන්ධව පැවති හෙයින් මහා පිපිරුමෙන් පසුව විශ්වය ප්‍රසාරණය වූව ද පැවති සම්බන්ධතාවය විනාශ නොවිණි. එම නිසා සැබවින්ම විශ්වයේ කිසිවක් වෙන් නොවූ බව විද්‍යාඥයින් කියයි.

දර්ශනවාදයක් ලෙස මෙම නීතිය තමන්ගේ ජීවිතයට සම්බන්ධකර ගන්නේ නම් විද්වතුන් පවසන්නේ එහිදී යමෙකුගේ ක්‍රියාවන්, සිතුවිලි සහ හැඟීම් වැදගත්වන බවය. මෙම නීතියට අනුව ජීවත් වන්නේ නම් ඔබ වටා ඇති සමස්ථයේ කොටසක් ලෙස ඔබ, ඔබ ගැන සිතීමට උත්සාහ කළ යුතු අතර එනම් අප සියල්ලන්ම එකයි යනුවෙන් සිතීමය. එමෙන්ම විශ්වයේ කිසිවක් වැඩකට නැති දේවල් යැයි අපට බැහර කළ නොහැකි අතර මන්ද සියල්ලම එකිනෙකට සම්බන්ධ වී ඇති බැවිනි. එය නීතියකි. කිසිවකුට නැහැ කියන්න බෑ යැයි පොදුවේ පිළිගන්නකි.
2. දෙවන විශ්වීය නීතිය කම්පනය පිළිබඳ නීතියයි ( Law of vibration )
විද්‍යාඥයින් පවසන්නේ අන්වීක්ෂය යටතේ විශ්වයේ සෑම අංශුවක්ම නියත චලිතයක පවතින බවය. ඒවා නිශ්චිත සංක්‍යාතයකින් කම්පනය වන අතර නිරන්තරයෙන්ම ශක්තිය රැගෙන යයි. මෙම පදාර්ථවලට ග්‍රහලෝක සහ තරු වැනි විශ්වයේ සියළුම කොටස් පමණක් නොව අපගේ සිතුවිලි, වචන සහ හැඟීම් ආදිය ද අදාළ වේ. එපමණක් නොව සමාන කම්පන එකිනෙකා ආකර්ෂණය කරන බව ද කම්පනය පිළිබඳ විශ්ව නීතියෙන් කියයි.
සෑම පරමාණුවක්ම, වසතුවක්ම සහ ජීවියෙක්ම නිශ්චිත සංක්‍යාතයකින් කම්පනය වෙමින් නියත චලිතයක පවතින බව කියන මෙම නීතිය ජීවිතයට සම්බන්ධ කරගන්නේ නම් විද්වතුන් පවසන්නේ අපගේ ආශාවන් ප්‍රකාශ කිරීමට මෙම නීතිය භාවිත කළ හැකි බවය. අප කැමති දේ සමග අපගේ කම්පන ඒකාබද්ධ කළ යුතු බව ද ඔවුන් කියයි. එමෙන්ම නිසැකවම අපට සාක්ෂරාත් කර ගැනීමට අවශ්‍ය ඉලක්ක මොනවාදැයි සලකා බලා ඒ සඳහා කම්පන ගැළපීම සොයා ගැනීම ද අවශ්‍ය වනු ඇත.
3. ක්‍රියාකාරී නීතිය ( Law of action ) තුන්වන විශ්වීය නීතියයි.
ක්‍රියාකාරී නීතියට අනුව අපගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීම සඳහා අප ක්‍රියා කළ යුතුය. උදාහරණ ලෙස පුද්ගලයකු කෝප වී දොරක් වේගයෙන් වසන විට ඔහුට තරහක් දැනේ. එබැවින් ඔහුගේ ක්‍රියාව වන්නේ ඔහු කෝපයෙන් සිටින බව පෙන්වීමට දොර වේගයෙන් වැසීම වන අතර පුද්ගලයා කෝප වීමට අකමැති වූව ද ඔහු ක්‍රියාවෙන් චිත්තවේගයට සහාය දැක්වීම සිදු කරයි.

තව දුරටත් සරල කර ගන්නේ නම් මෙම නීතිය මඟින් අපට පවසන්නේ අප අපගේ ඉලක්ක ක්‍රියාශීලීව හඹා යා යුතු බව වන අතර මෙය ආකර්ෂණ නීතිය සමග ද යම් ආකාරයකට සමපාත වන්නකි. ඔබ ඔබගේ වචන, සිතුවිලි සහ හැඟීම්වලට අනුබල දෙන ක්‍රියාවන්හී යෙදේ නම් ඔබගේ ඉලක්කවලට යා හැකි බව මෙමගින් කියයි. එය නීතියකි.
ඔබ බොහෝ විට අසා ඇත. මේ ලෝකයේ සාර්ථකත්වයට පත් වූ සෑම පුද්ගලයකුම කියන්නේ ඔහු එතැනට ආවේ ලේ දහදිය සහ කඳුළු ගොඩක් සමග වන බවය. ලේකකයින් පවසන්නේ ඔවුන් වෘත්තීමය වශයෙන් පැය ගණනක් ලියන විට ඔවුන්ගේ දෑස් නොපෙනී යන බවය. ඒ අනුව සාර්ථකත්වයට පත් වීමටනම් ඒ සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ යුතු බව නීතියකි.
තව දුරටත් ජයග්‍රහණය ඇත්තේ ප්‍රතිඵලයේ නොව ඒ සඳහා සිදුකරන ක්‍රියාවලිය තුළ බව මෙම නීතියෙන් කියයි. සැබවින්ම අපට අවශ්‍ය දෙයක් සමග පෙළගැසෙනවිට ඕණෑම කාර්යයක් වෙහෙසකාරී නොවන අතර ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කිරීමෙන් සහ ඒ සඳහා ක්‍රියා කිරීමෙන් විශ්වයේ ඕනෑම දෙයක් ළඟා කරගත හැකිය. සමහරවිට කුඩාම ක්‍රියාවක් පවා විශාල අවස්ථා විවර කරන බව ද ක්‍රියාකාරී නීතියෙන් කියයි.

ඉදිං විද්වතුන් පවසන්නේ අප එදිනෙදා ජීවිතයේ සිදුකරන දේවල් සියල්ල ගෙන ඒවා අපගේ ආශාවන්‍ට අනුකූලදැයි සිතා බැලිය යුතු බවත් අනුකූල නොවේ නම් අනුකූල කරගත යුතු බවය.
4. හතරවන විශ්වීය නීතිය වන්නේ අනුරූපතාව පිළිබඳ නීතියයි ( Law of correspondence )
correspondence යන වචනය සඳහා මධුර ශබ්දකෝෂයේ අනුකූල, අනුරූපතාව, ගණදෙනු කළ ලියවිලි, ලිපි හුවමාරුව , ලිපි ගණදෙනු කිරීම ආදී අර්ථ කිහිපයක් දක්වන අතර සැබවින්ම අප මේ මොහොතේ සාකච්ඡා කරණු ලබන මෙම දැනුම ඉංග්‍රීසි භාෂාවෙන් පවතින බැවින් ඒවා සිංහලයට පෙරළා ගැනීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදු වේ. එම නිසා මෙහිදී සාකච්ඡා කරණු ලබන කරුණු වලට අනුකූල වන පරිදි මෙම නීතිය අනුරූපතාව පිළිබඳ නීතිය වශයෙන් අපට නම් කළ හැකිය.
මෙම නීතිය මඟින් කියන්නේ අපගේ මානසික අවකාශය තුළ සිදුවන ඕනෑම දෙයක් පිටතින් පිළිබිඹු වන බවය. මෙම නීතිය මඟින් තව දුරටත් ඔප්පු වන්නේ අපගේ සවිඥාණයේ සහ යටි සිතේ අප සිතන සහ දැනෙන දේ පිටතින් අප නිර්මාණය කරන බවය.

අනුරූපතාව පිළිබඳ නීතිය තව දුරටත් පැහැදිලි කර ගන්නේ නම් මෙහි පිටුපස ඇති ප්‍රස්තුතය නම් විශ්වය පුරා පුනරාවර්තනය වන රටා පවතින බවය. එමෙන්ම එම ප්‍රමුඛ රටා ඉතා කුඩා පරිමාණයෙන් පුනරාවර්තනය වීම ද සොයාගත හැකිය. ඉන් පසුව අප සෑම දිනයකම පුනරුච්චාරණය කරන අපගේ යටි සිතුම් රටාවන් අපගේ ජීවිතය නිර්මාණය කරන අතර මීට අමතරව මෙම රටා අපට සේවය කරන බවත් අපව රඳවා තබා ගන්නා බවත් අනුරූපතාව පිළිබඳ නීතියෙන් කියයි.
විද්වතුන් පවසන්නේ මෙම නීතිය ක්‍රියාවට නැංවීමේදී අපගේ විශ්වාසයන්ට බොහෝ විට සම්බන්ධ වන අපගේම රටාවන් පිළිබඳව දැනුවත් විය යුතු බවය. අපි අපගේ ජීවිතයේ සහ චින්තනයේ රටාවන් සොයාගත යුතු අතර ඒවා ලෝකයේ වෙනත් තැන්වල පුනරාවර්තනය වන ආකාරය ද බැලිය යුතුය.
5. පස්වන විශ්වීය නීතිය වන්නේ හේතුව සහ බලපෑම පිළිබඳ නීතියයි ( Law of cause and affect )
මෙම නීතිය බුදු දහමේ එන හේතුඵල සම්බන්ධතාවය සමඟ අතිශයින්ම ගැළපේ. එනම් මෙමගින් කියන්නේ මේ විශ්වයේ අහම්බයකින් යම් කිසිවක් සිදු නොවන බව සහ ඒ සෑම දෙයකටම කුමක් හෝ හේතුවක් අනිවාර්යයෙන්ම පවතින බවය. එය විශ්වයේ නීතියකි. අපගේ ජීවිතයේ සිදුවන සෑම දෙයක්ම සිදුවන්නේ යම් හේතුවක් නිසා වන අතර මෙය බුදු දහමේ කර්ම සංකල්පයට ද සම්බන්ධ වේ.
සියලුම ක්‍රියාවන්ට ප්‍රතික්‍රියාවක් පවතින බව කර්ම සංකල්පයෙන් පවසන අතර සෑම ක්‍රියාවකටම ප්‍රති ක්‍රියාවක් ඇති නිසා අහම්බෙන් හෝ විශ්වයේ කිසිවක් සිදු නොවේ. එමෙන්ම අපි වපුරන දේ අපි නෙලා ගන්නා බැවින් අපට සදාකාලික, කිසිදා අවසන් නොවන හේතු සහ ඵල චක්‍රයක් ඇත.

විද්වතුන් පවසන්නේ මෙම නීතිය අනුව ක්‍රියා කරන විට අපගේ ක්‍රියාවන් සහ තීරණ අපට පමණක් නොව අප අවට සිටින සියලන්ටම බලපාන ආකාරය පිළිබඳව අප දැනුවත් විය යුතු බවයි. එබැවින් යහපත් දේ කිරීමට අප වග බලාගත යුතු බව පෙනේ.
6. වන්දි නීතිය නැතිනම් ප්‍රති විපාක නීතිය හයවැනි විශ්වීය නීතියයි ( Law of compensation )
මෙම නීතිය මීට ඉහත සාකච්ඡා කළ හේතුව සහ බලපෑම පිළිබඳ නීතිය සමග සමාන වන අතර එයින් අදහස් වන්නේ අප එළියට දැමූ දෙය නැවත අප වෙත ලැබෙන බවය. එනම් අප බොහෝ විට කරුණාවන්ත සහ ආදරණීය ලෙස යහපත් ක්‍රියා කරන්නේ නම් අපට හොඳ දේ පමණක් නැවත ලැබෙන බව මෙම නීතියෙන් කියයි. ඒ ආකාරයෙන්ම අයහපත් ක්‍රියාවන් වලදීද ලැබෙන්නේ අයහපත් ප්‍රතිඵලය.
වන්දියක් වශයෙන් අප විශ්වයට ආදරය, කරුණාව, දයාව ඇතුළුව හොඳ දේ පමණක් ලබා දෙන්නේ නම් නැවත විශ්වය මඟින් ඒ සියල්ලම වන්දියක් ලෙස අපට පිරි නැමේ. කෙසේ වෙතත් මෙය ආකර්ෂණ නීතියට ද යම් පමණකින් සමාන වන බව පෙනේ. මේ අවස්ථාවේ මේ හා සමපාත වන නිකොලෝ ටෙස්ලාගේ ප්‍රකාශයක් ද උපුටා දැක්වීමට සිතෙන අතර එය නම්
" මගේ විශ්වය වන්දි නීතිය ගැන ස්ථීරයි. සත්‍ය ත්‍යාගය ලැබෙන්නේ ශ්‍රමයට සහ කැපකිරීම්වලට සමානුපාතිකවය ".
7. හත්වැනි විශ්වීය නීතිය ආකර්ෂණ නීතියයි ( Law of Attraction )
විශ්වීය නීති දොළහේ වඩාත් වැදගත්ම, ප්‍රසිද්ධම සහ ආකර්ෂණීයම නීතිය ලෙස සලකන්නේ ආකර්ෂණ නීතියයි. ඍණාත්ම හෝ ධනාත්මක හෝ වේවා එක සමාන ශක්තීන් එකිනෙකට ආකර්ෂණය වන බ මෙම නීතියෙන් කියන අතර ආකර්ෂණ නීතිය පිළිබඳව වැඩි දුරටත් මෙහිදී විස්තර කිරීමට යන්නේ නැත.
මන්ද ආකර්ෂණ නීතිය පිළිබඳව සම්පූර්ණ වූ සරල පැහැදිලි කිරීමක් getpeakonline අප මීට පෙර ගෙන ආ බැවිනි. එම ලිපියේ සබැඳිය පහත දැක්වෙන අතර එමඟින් ආකර්ෂණ නීතිය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබාගත හැකි යැයි සිතමි.

8. ආකර්ෂණ නීතියෙන් පසුව අටවැනි විශ්වීය නීතිය ලෙස එන්නේ බලශක්ති නීතියයි. මෙය බලශක්ති පරිවර්තන සදාතනික නීතිය ලෙස ද ඇතැම් මූලාශ්‍රවල හැඳින් වේ. ( Law of perpetual of transmutation of energy )
සිතුවිලිවල සිට මිනිසුන් දක්වා සෑම දෙයක්ම ශක්තියෙන් සෑදී ඇති බව මෙම නීතියෙන් කියන අතර ශක්තිය සහ කම්පන නිරන්තරයෙන් විශ්වයට යවන බැවින් බල ශක්ති නියමය සෑම විටම ක්‍රියාත්මක වේ.
එමෙන්ම මෙම නීතියෙන් තව දුරටත් කියන්නේ අප වටා ඇති සෑම දෙයක්ම නිරන්තරයෙන් ගලා යන බවය. ශක්ති මට්ටමින් විශ්වයේ සෑම දෙයක්ම නිරන්තරයෙන් පරිණාමය හෝ උච්චාවචනය වන අතර අපගේ සංවේදනයන් සහ චිත්තවේගයන් තුළින් අපට ග්‍රහණය කරගත හැකි විශ්වයේ ඇති සෑම දෙයක්ම විවිධ කම්පන මට්ටම්වල ශක්තිය ප්‍රකාශ කිරීමක් බව ද මෙම නීතියෙන් පැහැදිලි කරයි.

බලශක්ති පරිවර්තන සදාතනික නීතියෙන් සරලව අදහස් කරන්නේ අපගේ ජීවිතයේ අපට අවශ්‍ය ඕනෑම දෙයක් වෙනස් කිරීමේ හැකියාව අපට ඇති බවයි. අපගේ ජීවිතය පරිවර්තනය කිරීමේ වගකීම අපට ඇති අතර විශ්වය අපට ලබා දෙන අවස්ථාවන් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම අපගේ කැමැත්ත වේ. එමෙන්ම ශක්තිය සෑම විටම චලනය වන අතර අප ප්‍රවාහය සමග යා යුතුද නැද්ද යන වග අප විසින් තීරණය කළ යුතුය.
9. සාපේක්ෂතා නීතිය නව වැනි විශ්වීය නීතියයි ( Law of relativity )
ජීවත් වීමේදී අපට මුහුණදීමට සිදුවන සෑම ජීවිත බාධකයක්ම අපට අපගේ ඉදිරි දර්ශනය සහ ජීවිතය වෙනස් කර ගැනීමට අවස්ථාව සලසා දෙන බව මෙම නීතියෙන් මූලිකවම කියයි. එමෙන්ම මෙම නීතියෙන් තව දුරටත් කියන්නේ යමක් කුමක් සඳහා ද යන්න බැලූ විට කිසිවක් හොඳ හෝ නරක නොවන බවයි.
එම නිසා විශ්වයේ ඇති කිසිවක් වෙනත් දෙයකට සාපෙක්ෂව හොඳ හෝ නරක නොවන අතර ඒ අනුව අප මේ විශ්වයේ දේවල් එකිනෙකට සංසංදනය කිරීමට නොයා යුතු බව පැහැදිලිය.

එපමණක් නොව විශ්වයේ එක් එක් පුද්ගලයාට වෙනත් වෙනත් දෘෂ්ඨීන් ඇති නිසා සාපේක්ෂතා නීතිය සෑම විටම පවතින අතර විද්වතුන් පවසන්නේ අපගේ ජීවිතයේ දුෂ්කරම පරිච්ඡේදයන් දයානුකම්පාවෙන් තේරුම් ගැනීමට මෙම නීතිය අපට උපකාර කරන බවය. එමෙන්ම අප අනෙකා සමග සංසංදනය කර බලනවා වෙනුවට අපගේ අත්ම අභිමානය වැඩිකර ගැනීමට මෙම නීතිය අපගේ වාසියට භාවිත කළ හැකි බව ද ඔවුන් කියයි.
10. දහවැනි විශ්වීය නීතිය ද්‍රැවීයතාව පිළිබඳ නීතියයි ( Law of polarity )
මෙම නීතියේ සඳහන් වන්නේ විශ්වයේ සෑම දෙයකටම ප්‍රති විරුද්ධ දෙයක් ඇති බවයි. ද්‍රැවීයතාව පිළිබඳව නීතිය අපිට ධනාත්මක සහ ඍණාත්මක සිතුවිලි අතර වෙනස තේරුම් ගැනීමට උපකාර වන අතර එමගින් අපට අවශ්‍ය නොවන සිතුවිලි අපට අවශ්‍ය සිතුවිලි බවට පරිවර්තනය කරගත හැකිය.

මෙම නීතියෙන් පවසන පරිදි සෑම දෙයකටම ප්‍රතිවිරුද්ධ දෙයක් ඇති නිසා එකකින් තොරව අනෙක නැත. උදාහරණ ලෙස සීතල තිබේනම් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස උණුසුම ඇත. උඩ කියන්නේ නම් පහළ ද කිව හැක. හොඳ ඇත්නම් නරක ද ඇත. දකුණ කියන විටම වම ද කිය වේ.
විදවතුන් පවසන්නේ නරක කුමක්දැයි දැන ගැනීමෙන් අපට හොඳ කුමක්දැයි දැනගත හැකි බවත් ඒ අනුව අපව සතුටට පත්කරන දේ දැන ගැනීමෙන් අසතුටට පත් වීමට හේතු මොනවාදැයි දැනගත හැකි බවය.
11. අවසාන නීතියට පෙර එකොළොස්වන නීතිය රිද්මයේ නීතියයි ( Law of rhythm )
විශ්වයේ සෑම දෙයකටම එයටම ආවේණික වූ අද්විතීය රිද්මයක් ඇති අතර මෙම වෙනස් රිද්මයන්, රටාවන්, චක්‍ර ආදිය දක්වා වර්ධනය වේ. විද්වතුන් පවසන්නේ රිද්ම නීතිය අපිව විශ්වයේ ස්වාභාවික ශක්ති ප්‍රවාහය හා එක්ව කටයුතු කිරීමට දිරිමත් කරන බවය.
එමෙන්ම සෑම දෙයක්ම සෑම විටම වෙනස්වන අතර අපගේ කාර්යය වන්නේ එම වෙනස වැළඳ ගැනීම බව ද මෙම නීතියෙන් මූර්තිමත් කරයි. අපි අභියෝගාත්මක තත්වයක් හරහා ගමන් කරන්නේ නම් අවසානයේ එය අවසන්වන බව දැනගතයුතු බවත්, අනෙක් අතට අප අපූරු මොහොතක් ගත කරන්නේ නම් එය සැබවින්ම භුක්ති විඳිය යුතු බවත් සහ නමුත් සියල්ල නැවැත්වීමට හෝ වෙනස්වීමට දිනයක් පැමිණෙන බවත් මෙම නීතියෙන් අපට පැහැදිලි කර දේ.
මෙම නීතිය හිරු උදාවේදී සහ හිරු බැස යාමේදී, චන්ද්‍රයාගේ බලපෑම මත වඩ දිය බාදිය ඇති වීමේදී. ඍතු වෙනස් වීමේදී, මිනිසා වයසට යෑමේදී අවිඥාණයේ සහ විඥාණයේ රිද්මයානුකූල සමතුලිතතාවයේදී නිරීක්ෂණය කළ හැකි බව විද්වතුන් කියයි.
12. ලිංගභේදය පිළිබඳ විශ්ව නීතිය (Law of gender ) දොළොස්වැනි වූ අවසාන නීතියයි

ලිංගභේදය පිළිබඳ නීතිය නැතිනම් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ නීතිය ගත් විට එය පොදුවේ සම්බන්ධ වන්නේ yin සහ yang යන සංකල්පයට ය. එහි සඳහන් වන්නේ පුරුෂ සහ ස්ත්‍රී ශක්තීන් ජීවිතයේ ඇති බව වන අතර සෑම දෙයක්ම පෝෂණය කිරීමට සහ වර්ධනය වීමට කාලය අවශ්‍ය බැවින් අප තුළ ඇති ස්ත්‍රී සහ පුරුෂ ශක්තීන් සමතුලිත කිරීමට සහ ප්‍රගුණ කිරීමට ද එලෙසම කාලය අවශ්‍ය බව මෙමගින් කියයි.
එමෙන්ම මීට පෙර අපගේ වෙබ් අඩවියෙන් ඔබට ගෙන ආ අනිමා සහ අනිමුස් යන සංකල්පය ඔබ පරිශීලනය කර ඇතිනම් ඔබට මේ මොහොතේ එය ද සිහියට නැගෙනු ඇත. නමුත් ඔබ තවදු ප්‍රමාද නැත. පහතින් එය ද පරිශීලනය කළ හැක.

මෙම නීතියෙන් තව දුරටත් පවසන්නේ, අප සෑම කෙනෙකු හටම නිශ්චිත ශක්තියක් ඇති අතර අපිට සතුටින් ජීවත් වීමටනම් මෙම පිරිමි සහ ස්ත්‍රී ශක්ති දෙක අතර සමතුලිතතාවක් ඇතිකර ගැනීමට ක්‍රමයක් සොයාගත යුතු බවය.
යමකිසි අදහසක් විගසින් භෞතික විද්‍යාවට ගෙන ඒමට පවතින එක් ක්‍රමයක් නම් චින්තනයේ ඒකාග්‍රතාවයයි. විඥාණය හෝ චින්තනය යනු පිරිමි ශක්තිය වන අතර භෞතික යථාර්තය තුළ චින්තනයට හැඩය ලබාදෙන ජීව ශක්තිය වන්නේ ස්ත්‍රී ශක්තියයි. විද්වතුන් පවසන්නේ මේ එක් එක් ශක්තීන් අපගේ ජීවිතයේ යම්කිසි ආවේණික වූ කාර්යබාරයක් ඉටුකරන බව සහ එක් එක් ශක්තීන්හී කිසියම් අතිරික්තයක් හෝ හිඟයක් පවතිනවා ද නැද්ද යන්න පිළිබඳව තමන් සිතා බැලිය යුතු බවය.
ඉදිං මේ ආකාරයට අපට විශ්වයේ නීති දොළහ හඳුනාගත හැකි අතර අවසාන වශයෙන් අපට කිව හැක්කේ මෙම නීති සමග එදිනෙදා වැඩකටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අප සිතා බැලිය යුතු බවය. මේ වන විට අප මෙම නීති දොළහ දන්නා බැවින් දැන් ඇත්තේ මෙමගින් ජීවිතයට යමක් ගැනීමටය. සැබවින්ම මෙම විශ්ව නීති අපගේ ජීවිතයට ඒකාබද්ධ කිරීම යනු අපට අර්ථවත් වන ආකාරයෙන් ඒවා අවබෝධකර ගැනීම සහ සංකල්පනය කිරීමය.
විද්වතුන් පවසන්නේ විශ්වයේ නීතිවල ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගනිමින් වැඩි දැනුවත්භාවයකින් යුක්තව ක්‍රියා කිරීමට තීරණය කිරීමෙන් අපට අපගේ ජීවිතයට අවශ්‍ය දේ වඩාත් පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි බවය. ඒ සඳහා සවිඥාණික දෛනික අවධානයක්, යම් ඉවසීමක් සහ නොපසුබස්නා උත්සාහයක් අවශ්‍ය විය හැකිය.

කෙසේ නමුත් මිනිස් පරිණාමයේ කතාන්දරය තුළ ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම ආශ්‍රයෙන් සම්මතකොටගෙන ඇති මෙම විශ්වීය නීති දොළහ පිළිබඳව ඔබට මට විවිධ අර්ථකතනයන්, අදහස්, විවේචන තිබෙන්නට පුළුවන. එමෙන්ම සිතුවිලි, හැඟීම් සහ විශ්වාසයන් සමග අප සම්පූර්ණයෙන්ම විශ්වාස කරන සෑම දෙයක්ම අවසානයේ අපගේ යථාර්තය බවට පත්වන අතර අපි විශ්වාස කරන දේ මත පදනම්ව අපි දේවල් නිර්මාණය කරමු.
" ඔබට සිතීමට හැකි සියළුම දේවල් ඇත්ත " ( පැබ්ලෝ පිකාසෝ ) - Everything you can imagine ....is real ( Pablo picasso )