වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
අදාල ගුවන් සේවා දෙක මෙවැනි හවුල්කාරීත්වයකට එළැඹුණු ප්‍රථම අවස්ථාව මෙය වෙි.
මේ මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ගුවන් මගීන්ට වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල ආසන වෙන්කරවා ගැනීමට අවස්ථාව හිමිවන අතර මගීන්ට නවසීලන්තය, සැමෝවා සහ ෆීජි යන රටවල් වෙතද ගමන් කළ හැකිය.
තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලින් මෙල්බන් හෝ සිඩ්නි වෙත ගමන් කරන මගීන්ට එම නගරවල සිට වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් ගුවන් යානා වලින් ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, කෙයාන්ස්, ඩාවින්, හෝබාර්ට්, හැමිල්ටන් අයිලන්ඩ්, ලෝන්සෙස්ටන්, ගෝල්ඩ් කෝස්ට් සහ පර්ත් යන නගර වෙත ගමන් කිරීමේ හැකියාව ඇත.
මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට මෙල්බන් දක්වා දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර කොළඹ සහ සිඩ්නි අතර සතියකට ගමන් වාර තුනක් ක්‍රියාත්මක කරයි. තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ඔස්ට්‍රේලියාවේ නගර රැසක් වෙත ගමන් කිරීමට හැකි වීම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ගුවන් මගීන්ට ඉමහත් පහසුවකි.
තවද මේ යටතේ ගුවන් මගීන් check-in වීම සහ ගමන් මලු භාරදීම සිදුකළ යුත්තේ තමන් පිටත් වන ගුවන් තොටුපළේදී පමණක් වන නිසා අතරමැදි ගුවන් තොටුපළවලදී යළි check-in පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවන බවද සදහන් කරයි.