Skip to content

විද්‍යාර්ථය රග්බි වසන්තය සාර්ථකව අරඹයි.

2023 පාසල් රග්බි ලීග් තරගාවලියේ සිය පළමු තරගයට සහභාගි වූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදි ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කරමින් තරගාවලියට සාර්ථකව පිවිසීමට ඊයේ (ජුනි16) සමත් විය.

තරගය ආරම්භ වූ මොහොතේ සිටම ආක්‍රමනශීලි තරග රටාවකට අවතීර්ණ වූ විද්‍යාර්ථ ක්‍රීඩකයින් විද්‍යා විද්‍යාලය වෙත තියුණු පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර තරගයේ පළමු ලකුණු වාර්තා කිරීම පළමු මිනිත්තු තුන තුලදී විද්‍යාර්ථයෙන් වාර්තා විය. ෆ්ලෑන්කර් ක්‍රීඩක ඉෂාර කුමාර විද්‍යා විද්‍යාලිය සීමාව ආක්‍රමණය කරමින් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර දේශාන් බාලසූරිය එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සමත් විය.

එම උත්සාහක දිනුමෙන් තවත් මිනිත්තු තුනකට පසු විද්‍යා විද්‍යාලය, විද්‍යාර්ථයේ ආරක්ෂක පවුර ආක්‍රමණය කරමින් උත්සාහක දිනුමක් සමගින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විණි.

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධයේ විද්‍යාර්ථ ක්‍රීඩකයින් තරමක රළු තරග විලාශයක් පෙන්නුම් කළ අතර විනිසුරු වෙතින් කහ කාඩ්පත් ලබාගැනීමේ අවස්ථා කීපයක්ද වාර්තා විය. එම අවසරයෙන් තරගයේ පාලනය සියතට ගැනීමට විද්‍යා ක්‍රීඩකයින් සමත් වන අතර ප්‍රවර්තනයද සාර්ථක වූ උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ ඉදිරියට පැමිණීමට සමත් විය.

ඉන් අනතුරුව යලිත් ක්‍රියාත්මක වූ විද්‍යාර්ථ, ෆ්ලෑන්කර් ක්‍රීඩක ඉෂාර තරගයේ වාර්තා කළ දෙවැනි උත්සාහක දිනුමද ලබා ගැනීමට සමත් වූ අතර දේශාන් බාලසූරිය ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය.

පළමු අර්ධයේ නිමාව තෙක් කිසිදු ලකුණක් වාර්තා නොවූ නමුත් විද්‍යාර්ථ ක්‍රීඩකයින් කිහිප අවස්ථාවකම විද්‍යා විද්‍යාලයීය සීමාව ආක්‍රමණය කරනු දැකගත හැකි විය. උත්සාහක දිනුම් ලබා ගැනීමට තිබූ ආසන්න අවස්ථා කීපයක්ම පළමු අර්ධයේ අවසන් භාගයේදිත් දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු කිහිපයේදිත් විද්‍යාර්ථය වෙත උදා වූ නමුත් විද්‍යා විද්‍යාලයීය ආරක්ෂක පවුරේ ශක්තිමත් බව සහ විද්‍යාර්ථයෙන් සිදු වූ අතපසුවීම් හේතුවෙන් එම අවස්ථා ගිලිහී ගියේය.

එසේම, විද්‍යාර්ථයේ එතෙක් ලකුණු වාර්තා කළ ක්‍රීඩකයින් දෙදෙනා වූ ඉෂාර කුමාර සහ දේශාන් බාලසූරිය ආබාධයන්ට ලක්ව පිටියෙන් ඉවත්වීමද ඔවුන්ගේ අවාසියට හේතු විය.

දෙවැනි අර්ධයේ මිනිත්තු පහළවකට පසු යළිත් ක්‍රියාත්මක වූ විද්‍යා ක්‍රීඩකයින් විද්‍යාර්ථ සීමාව ආක්‍රමනය කළ අතර රොෂාන් රගුනාත් විද්‍යා විද්‍යාලයට තෙවැනි උත්සාහක දිනුම ලබා දෙන්නේ සත්කාරක විද්‍යාර්ථයේ ප්‍රෙක්ෂකාගාරය නිහඩ කරවමිනි. එහි ප්‍රවර්තනයද සාර්ථක විය.

කෙසේ නමුත් තරගයට යලි අවතීර්න වෙමින් විද්‍යාර්ථය බිය ගන්වමින් සිටි විද්‍යා විද්‍යාලයේ සියලු ප්‍රයත්නයන් ගඟට කැපූ ඉනිමෙන් ව්‍යර්ත වන්නේ තරගය අවසන් වීමට තවත් මිනිත්තු නවයක් ඉතිරිව තිබියදී ක්‍රීඩකයෙක් වෙත කහ කාර්ඩ් පත් දඩුවමක් ලැබීම සමගය. ක්‍රීඩකයෙක් අහිමිව දුර්වල වන විද්‍යා විද්‍යාලීය සීමාව ආක්‍රමණය කිරීමට විද්‍යාර්ථ සෙන්ටර් ක්‍රීඩක ගයාන් පෙරේරා තියුණු ධාවනයකින් අනතුරුව අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කරන අතර රුසිත් සරත්කුමාර එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් නැවතත් ලකුණු පුවරුවේ විද්‍යාර්ථය ඉද්රියට ගෙන ඒමට සමත් වන්නේය.

තවත් මිනිත්තු කීපයක ඇවෑමෙන් ගයාන් පෙරේරා තම ඔල්වරසන් හඬ මැදින් දෙවැනි උත්සාහක දිනුමද වාර්තා කරන්නේ තරගයේ ජයග්‍රහණය සහතික කරගනිමින්ය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

තරගය අවසන් කරමින් විනිසුරු සංඥාව ලැබෙන විට ලකුණු පුවරුව දිස් වූයේ විද්‍යාර්තය ඉදිරියෙන් සිටිමින් 26-19ක් ලෙසය.

තරගය පුරා විද්‍යාර්ථයේ වේගවත් තරග රටාවද, විද්‍යා ක්‍රීඩකයින්ගේ ආරක්ෂක වලල්ලේ ශක්තියද කැපි පෙනුණි.

Latest