Skip to content

විදේශිකයන් සහභාගී වූ අවුරුදු උත්සවය පිළිබඳව වෙනස් කතාවක්

හෙලයේ මහා සංස්කෘතික මංගල්‍යය එළඹීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණක් වන අතර එයට සමගාමීව රට පුරා අවුරුදු  උත්සව සංවිධානය වීම සාමාන්‍යය සංසිද්ධියක් වූවද එම අවුරුදු උත්සව අතර සංවිධානය වී තිබූ ඉතා අපූරු උත්සවයක් පිළිබඳව පසුගිය දිනවල විශේෂයෙන් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ද වාර්තාකර තිබුණි.

අම්බලන්ගොඩ සංචාරක පුරවරයේ අකුරල නගරය තුළ ස්කොට්ලන්තය, වේල්සය සහ අයර්ලන්තය ආදී රටවල් තුළින් මෙරටට පැමිණි සංචාරකයින් පනස් හතර දෙනෙකු සඳහා මෙම අවුරුදූ උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සවයේදී අපගේ අවුරුදු ක්‍රීඩා බොහොමයක් සමග ඔවුන් උපරිම වින්දනයක් ලබනයුරු ද අපට මාධ්‍ය හරහා දැකගන්නට ලැබුණු අතර එම සංචාරකයින් ද උත්සවය පිළිබඳවත්, ශ්‍රී ලංකාව පිළිබඳවත් ඉතා ධනාත්මක අදහස් දැක්වූ අයුරුද මාධ්‍ය වාර්තා කර තිබුණි.

විශේෂයෙන් මෙම අවුරුදු උත්සවය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ජනතාව දැක්වූ පොදු අදහස ලෙස නිරීක්ෂණය කළ හැකි වූයේ අලුත් අවුරුද්ද අප පමණක් සැමරිය යුතු දෙයක් නොවන අතර විදේශිකයන් ද මේ සඳහා සහභාගී කර ගැනීම ඉතාමත් යහපත් දෙයක් බවත් ආගන්තුක සත්කාරයට ශ්‍රී ලංකාවේ ඇති ප්‍රසිද්ධ බව මෙවැනි කටයුතු හරහා තවත් තහවුරු වන බවත් සහ සංචාරක ක්ෂේත්‍රය ද මෙවැනි කටයුතු හරහා දියුණුවන බවය.

සැබවින්ම විදේශිකයන් සහභාගීකර ගනිමින් අපගේ සංස්කෘතිය විනාශ කරනවා යැයි ඉතාම පටු තැනකින් පොදු ජනතාව මේ දෙස නොබැලීම ඉතාම ධනාත්මක ලක්ෂණයක් වන අතර උත්සවය පිළිබඳව තව දුරටත් විග්‍රහ කර ගැනීමේදී මේ හරහා මතුවන තවත් එක් ධනාත්මක ලක්ෂණ කිහිපයක්  ඇත.

රට ජාතිය බේරා ගැනීම, සිංහල භාෂාව, සංස්කෘතිය බේරා ගැනීම ආදී නොයෙකුත් කතා බහ විශේෂයෙන් මැතිවරණ කාල සීමාව තුළ කරලියට පැමිණිය ද සැබවින්ම අප රට ජාතිය  සංස්කෘතිය, සිංහල භාෂාව ආදිය බේරාගණුයේ කුමකින්ද නැතිනම්  කාගෙන්ද යන්න ගැටළුවකි. විශේෂයෙන් ගෙවීගිය ආසන්න කාල සීමාව තුළ සිංහල භාෂාව මුහුණපාන ගැටළු ආදී වශයෙන් සමාජය තුළට කතාබහක් ගෙනත් අතහැර දැමීමට විවිධ පුද්ගලයන් උත්සාහ දැරූ අතර එය ලත් තැනම ලොප් වන්නට විය. උදාහරණ ලෙස සිංහල භාෂාව බේරා ගැනීමටනම් වෛද්‍ය විද්‍යාව සිංහලෙන් ඉගැන්විය යුතුය. නීතිය සිංහලෙන් ඉගැන්විය යුතුය . තාක්ෂණය සිංහලෙන් ඉගැන්විය යුතුය ආදී පටු තර්ක කලක් පැවති සමාජ කතිකාවත තුළ අන්තර්ගත විය.

නමුත් සිංහල භාෂාව බේරා ගැනීමටනම් සිදුවිය යුත්තේ වෛද්‍ය විද්‍යාව , නීතිය, තාක්ෂණය සිංහලෙන් ඉගැන්වීම නොව ලෝකයේ නව දැනුම අප රට තුළ නිර්මාණය කිරීමය. උදාහරණ ලෙස ජාත්‍යන්තර වශයෙන් ඉතා වටිනා ග්‍රන්ථයක් අප රටේ රචනා වන්නේ නම් එය පරිශීලනය කිරීම සඳහා සෙසු පිරිස් අපගේ භාෂාව ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කරගනු ඇත. නැතිනම් සිංහල භාෂාව ඉගෙනගනු ඇත. නැතිනම් ජාත්‍යන්තර වශයෙන් වැදගත් රැකියා වෙළඳපොළක් අප රටේ පවතින්නේ නම් එම අවස්ථාවන් ලබා ගැනීමට සෙසු පිරිස් සිංහල භාෂාව ඉගෙනගනු ඇත. අප රැකියා සඳහා විදේශගත වීමේදී අදාළ රටෙහි භාෂාව ඉගෙනගනුයේ එම නිසාය.

සංස්කෘතියට ද මෙය අදාලය. කිසියම් සංස්කෘතියක් වඩාත් ප්‍රචලිතවීම තුළ සිදුවන්නේ එම සංස්කෘතිය විනාශවීම නොව එය තව තවත් ශක්තිමත් වීමය. උදාහරණ ලෙස අප රටේ විශ්වවිද්‍යාල තුළ ජපන් භාෂාව, චීන භාෂාව, ජර්මන් භාෂාව, හින්දි භාෂාව ආදී භාෂාවන් හැදැරීමේ අවස්ථාව භාෂා අධ්‍යනාංශ තුළ ලබා දී ඇත. අප රටේ ශිෂ්‍යයන් මෙම භාෂා විශාල වශයෙන් හදාරන අතර එහිදී ඔවුන් භාෂාව පමණක් හැදෑරීම සිදු නොකරන අතර අදාළ රටෙහි සංස්කෘතිය, ආහාර රටාව, විලාසිතාව, සිරිත් විරිත් ආදී සියල්ල හදාරණු ලබයි. භාෂා අධ්‍යනාංශ තුළ ඒ සඳහා විවිධ උත්සව සංවිධානය වීමද මෙහිදී සිදු වේ.

නමුත් ජාතියක් වශයෙන් අප අපගේ භාෂාව මෙන්ම සංස්කෘතිය ද අපට පමණක්ම යැයි සිතා එය කාගෙන් හෝ ආරක්ෂා කර ගැනීමට ගල් ගුහාවක් තුළ සැඟවීමට බොහෝ විට උත්සාහ කරයි. එවැනි පසුබිමක් තුළ විදේශිකයන් සඳහා සංවිධානය කෙරුණු අම්බලන්ගොඩ මෙකී අවුරුදු උත්සවය ඉතාමත් ධනාත්මක වන අතර ජාතියක් වශයෙන් අප ලෝකයෙන් හුදෙකලාවීම වලක්වා ගැනීමට සැබවින්ම මෙවැනි කටයුතු වඩාත් අවශ්‍යකර ඇත. මෙම අවුරුදු උත්සවය හරහා විදේශිකයන් වින්දනයට පත්වීම පමණක් නොව ඒ හරහා රටට විශාල ප්‍රතිලාභයක් ලැබී ඇත. ලෝකයේ නව දැනුම නිර්මාණය කිරීමට, සංස්කෘතික කේන්ද්‍රයක් බවට පත්වීමට අපට තවදු නොහැකි වී ඇති කාල වකවානුවක රට ජාතිය , සිංහල භාෂාව, සිංහල සංස්කෘතිය බේරා ගැනීමට මෙවැනි ඉතා සරල ක්‍රියාමාර්ගයක් වූවද ඉතා ප්‍රමාණවත් ය. මෙවැනි කටයුතු සමග හෝ අප ලෝකයත් සමග ඉදිරියට යා යුතුය.

Latest