Skip to content

වෙරලක් නැති ඌවේ දරුවන් වෙරළ කබඩි ශූරතාවය දිනාගනී

47 වන ජාතික මහා ක්‍රීඩා උළලේ වෙරළ කබඩී තරගාවලියේ කාන්තා සහ පිරිමි රන් පදක්කම් දිනාගැනීමට ඌව පළාත් කණ්ඩායම් දෙකට හැකිවිය. මේ මස 9,10,11 දිනවලදී මීගමුවේ ඒත්තුකාල වෙරළ තීරයේදී මෙම තරගාවලිය පැවැත්විය. එහිදී සියළුම පලාත් අභිබවා රන් පදක්කම් ද්විත්වයම ඌව පලාත් පිරිමි හා කාන්තා කණ්ඩායම් ජයග්‍රහණය කරන ලදී.

පිරිමි අවසන් මහ තරගයට නැගෙනහිර කණ්ඩායම සමගින් ඌව කණ්ඩායම තරග වැදුණු අතර එහිදී ලකුණු 61ට 25ක් ලෙස ලබාගනිමින් ඌව පළාත් කණ්ඩායම ශූරතාවයට හිමිකම් කීය.

කාන්තා අවසන් මහ තරගයේදී ප්‍රබල බස්නාහිර පලාත් කණ්ඩායම සමගින් තරග වැදුණු ඌව පළාත් කාන්තා කණ්ඩායම ලකුණු 52ට 34ක් ලෙස ලබාගනිමින් ඌව පළාත් කාන්තා කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගත්තේය.

මුහුදු වෙරළක් නොමැති ඌව පළාතේ කාන්තා හා පිරිමි කබඩි කණ්ඩායම් දෙකම වෙරළ කබඩි ශූරතාවය ලබා ගැනීම කැපී පෙනෙන සිද්ධියකි.

Latest