Skip to content

වෙල්ලාගල විහාරය වැළලී යයිද?

නවගත්තේගම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ මහමැද්දෑව ගම්මානයේ පිහිටි වෙල්ලාගල පුරා රජ මහා විහාරස්ථානය අතීත ශ්‍රී විභූතිය මැනවින් කියා පාන ස්ථානයකි.

ගජබා රජ සවස ඉදිකරවන ලද බව කියන මෙම විහාරස්ථානය තුළ ඒ කාල වකවානුවේ නීල මහා යෝධයාගේ මෑණියන් වන වෙල්ලාගල මෑණියන් වාසය කර ඇති බව පුරාණයේ සදහන් වේ.වෙල්ලාගල මෑණියන් රජ මාළිගාවේ ඇදුම් පිරිසිදු කරන ලද්දේ මෙම ස්ථානයේ බව පැරැන්නෝ සදහන් කරයි.ඒ සදහා සකස් කරන ලද බව කියන දැවැන්ත උදුනක්ද මෙම  විහාරස්ථාන භූමියේ දක්නට ඇත.

එමෙන්ම වල් බිහිවූ පුරාණ චෛත්‍යයන් තුනක නටඹුන් විහාරස්ථාන භූමිය තුළ දක්නට ඇත.ඊට අමතරව සදකඩ පහනක්,ගල් පොකුණු රැසක්,පුරාණ ගල් කණු රැසක්ද විහාරස්ථා භූමිය තුළ දක්නට ඇත.

කාලයක් භාවිතයෙන් තොරව අතහැර දමා තිබීම හේතුවෙන් විහාස්ථාන භූමියේ ස්ථාන කීපයක්ම නිධන් හොරුන් විසින් බිලි ගෙන ඇති බවක්ද දක්නට ඇත.

කාලයෙන් කාලයට ස්වාමීන් වහන්සේලා රැසක් මෙම විහාස්ථානය තුළ වැඩ වාසය කර ඇතත් දියුණුවක් දක්නට තිබී නැත. මීට මාස කීපයකට පෙර වෙල්ලාගල පුරාණ රජ මහා විහාරස්ථානයට වැඩම කර දැනට එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ දියුණුවට විශාල සේවාවක් කර ඇති බව දායක සභාව සදහන් කරයි.

පුරා විද්‍යා වටිනාකමක් ඇති කිසිදු දේපලකට හානි නොකර විහාරස්ථාන පෝෂණය කරන්නට විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාව කටයුතු කර ඇත.ඒ අනුව බෝ අංකුරක්ද විහාරස්ථාන භූමියේ රෝපනය කර ඇති අතර,පිළිම වහන්සේලා ස්ථාපනය කිරීමක්ද සිදු කර ඇත.අවුකන පිළිමයක නෙලීම් කටයුතු අරම්භ කර ඇතත් එය අතර මග නතර වී ඇති බවක්ද දක්නට ඇත.

විහාරස්ථාන භූමියේ තිබූ බව කියන සිරි පතුලක් සහ ගල් කණු විවිධ පුද්ගලයින් විසින් රැගෙන ගොස් ඇති බවද දායකයින් කියා සිටී.

කෙතරම් පුරා විද්‍යා සාධක තිබුණත් මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයක් මෙතෙක් යොමු නොවී තිබීම පුදුමයට කරුණක් වී ඇත.

ආණමඩුවේ සිට නවගත්තේගමට ගොස් එතනින් සාලියවැව දෙසට ඇති මාර්ගයේ කිලෝ මීටර් 06 ක් පමණ ගිය තැන හමුවන්නේ මහමැද්දෑව ගම්මානයයි.මෙම ගම්මානයේ දකුණු දෙසට ඇති අතුරු මාර්ගයක් ඔස්සේ වැව් පිටි හරහා තවත් කිලෝ මීටර් කීපයක් ගමන් කළ විට වෙල්ලාගල පුරාණ විහාරස්ථානය හමු වන්නේය.මේ ගමන යාමේදී ස්ථාන කීපයකින්ම අලි වැට පසු කරන්නටද අපට සිදු විය.

කාලයක් විනාශ වෙමින් පැවති වෙල්ලාගල රාජ මහා විහාරස්ථානය වර්තමානයේ දිනෙන් දින දියුණු වෙමින් පවතින විට හදිසියේම අකුණක් පිපිරුවා සේ ගැටළුවක් පැන නැගී ඇති බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාවේ පිරිස කියා සිටී.

වෙල්ලාගල පුරාණ රාජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය කටියාවේ කවීෂ්වර ස්වාමීන් වහන්සේ මෙසේ පවසා සිටියේය."මම මුලින්ම වැඩ වාසය කළේ ආසන්න වෙනත් විහාරස්ථානය.නමුත් පුද්ගලික හේතුවක් නිසා මම එම විහාරයෙන් ඉවත් වෙලා ආපසු ගමට වඩින්න තීරණය කලා.ඒ අවස්ථාවේදී තමයි ගමේ පිරිස ඇවිත් මට මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් කියා සිටියේ.පසුව ඔවුන්ගේ දැඩි ඉල්ලීම නිසාම මට සිද්ධ වුනා මෙම විහාරස්ථාන භූමියේ පොල් අතු වලින් සකස් කරන ලද කුඩා ලැගුම් ගෙයක ලැගුම් ගන්න.පසුව දායක සභාවේ සියළුම දෙනාගේ අනු දැණුම සහ ඉල්ලීම පරිදි අපි විහාරස්ථානය වැඩි දියුණු කලා.මම එහිදී කිසිම අවස්ථාවක පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් විනාශ වීමට ඉඩක් දුන්නේ නෑ.අතීතයේ රජ දරුවන් අපිට දායාද කළ දේ අනාගතය වෙනුවෙන් අපි ඉතිරි කළ යුතුයි යන දැඩි මතයේ මා සිටිනවා.

ඒ අනුව තමයි විහාරස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන්න වැඩි දියුණු කිරීම් සිදු කළේ.මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අවස්ථා ගනනාවකදී දන්වා යැවීමට කටයුතු කලා.නමුත් පිළිතුරක් හෝ ලැබුනේ නෑ.දානපතීන්ගේ ආධාර සහ සහාය ඇතිව පිළිම වහන්සේලා වැඩම කර ස්ථාපනය කිරීමක් සිදු කර තිබෙනවා.ඊට අමතරව බෝ අංකුරයක් රෝපනය කරන්නත් මම කටයුතු කලා.මේ සියළුම දේවල් වලට රාජ්‍ය නිලදාරීන්ගේ සහාය මට ලැබුණා.ඇතැම් අවස්ථාවන් වලට රාජ්‍ය නිලධාරීන්ද පැමිණ සහභාගි වුණා.ඔවුන් කිසිදු අවස්ථාවක විරෝධයක් පළ කර සිටියේ නෑ.මුලින්ම ඔවුන් විරෝධය පළ කර සිටියා නම් මම මේ තරම් විහාරස්ථානය දියුණු කරන්න කටයුතු කරන්නේ නෑ.

දැන් ටික දවසක සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිත් කියනවා මෙම විහාරස්ථානය පිහිටලා තියෙන්නේ රක්ෂිත වනාන්තරයක් තුල කියලා.ඒ නිසා කිසිදු වැඩි දියුණු කිරීමක් කරන්න එපා කියලත් ඒ අය කියා සිටිනවා.මට තියන ගැටළුව තමයි ඇයි අපි විහාරස්ථානය වැඩි දියුණු කරන්න පටන් ගන්න කොට රජයේ කිසිදු නිලධාරියෙකු ඒකට විරුද්ධ වුනේ නැත්තේ. ඇයි ඒ අය දැන් විරෝධය පළ කරන්නේ කියන එකයි.මම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඇගමැතිවරයාව දැණුවත් කර තිබෙන්නේ.මට අවශ්‍ය මේ පුන්‍ය භූමිය තව තවත් වැඩි දියුණු කරන්න.ඒ සදහා සහාය දෙන්න කියලා මම සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා."

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු(ශ්‍රී.පො.ජ.පෙ) වන ඕ.බී.විජේතුංග මහතා මෙසේ කියා සිටියේය."මෙම විහාරස්ථානය කරවා ඇත්තේ ගජබා රජ දවස බව පුරාණයේ කියවෙනවා.ඒ වගේම මෙම ස්ථානයේ සිටි බව කියන වෙල්ලාගම කිරි අම්මා නීල මහා යෝධයාගේ මෑණියන් බවද කියනවා.මේ කියන කරුණු සනාථ කරන්න සාධක අවට දක්නට තිබෙනවා.ආණමඩුවට ආසන්නයෙන් ඇති "රදවි කෙටූ ඇල" සහ සාලියවැව තියන කලාඔය හරස් කර ඉදිකරන ලද "නීල බැම්මද" ඊට නිදසුන්.මෙම විහාරස්ථානයේ මීට පෙර ස්වාමීන් වහන්සේලා කීප නමක්ම වැඩ වාසය කර තිබෙනවා.නමුත් වන අලි උවදුර සහ පවතින දුෂ්කරතා හේතුවෙන් උන්වහන්සේලා විහාරස්ථානය හැර ගොස් තිබෙනවා.ඒ තත්ත්වය වාසියට කර ගත්තේ නිධන් හොරුන් විහාර භූමියේ තැන් තැන් බෝර දාලා කඩගා තියනවා.ඒ විතරක් නෙමෙයි විහාර භූමියේ තියන චෛත්‍ය තුනක් හාරලා තියන බවක් දක්නට තියනවා.

නමුත් වර්තමානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නිසා විහාරස්ථානය තුළ කිසියම් පිඹිදීමක් ඇති වී තිබෙනවා.මේ වෙන කොට තරුණ පරපුර විහාරස්ථානය වටා එක් රොක් වී තිබෙනවා.අවට ගම්වල සිටින අයත් මෙම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන බවක් දක්නට තිබෙනවා.මේ ආකාරයට විහාරස්ථානයට දියුණු වෙමින් තියන කොට තමයි රාජ්‍ය නිලධාරීන් ඇවිත් බාධා කරන්න පටන් අරගෙන තියෙන්නේ.අපිට හිතා ගන්න බැරි ඇයි විහාරස්ථානයක් වැඩි දියුණු කරනවාට රජයේ නිලධාරීන් අකමැති කියන එකයි....."

එම්.ඒ.හේමාවතී මහත්මිය මෙසේ කියා සිටියාය."මම මේ ගමට පදිංචියට ඇවිත් වසර 40 ක් පමණ වනවා.මෙම විහාරස්ථානය නිසා අපේ ගමට අලෝකයක් එකතු වුණා කියන්න පුළුවන්.දැන් අපේ ගමේ තරුණ දරුවෝ වැරදි වැඩ වලට පෙළඹෙන්නේ නෑ.මොකද විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ දරුවන් පිටිපස්සෙන්ම ඉදගෙන හොද නරක කියලා දෙනවා.තරුණ දරුවෝ හැම පොයටම පන්සලේ සිල් සමාදම් වෙනවා.එදා කැලෑවට යට වෙලා තිබුණු මේ විහාරස්ථානය අද පුන්‍ය භූමියක් බවට පත් වෙමින් තිබෙන්නේ.ඒ නිසා අපිට අවශ්‍ය විහාරස්ථානය රැක ගන්නයි....."

මහමැද්දෑව ගම්මානයේ පදිංචිකරුවෙකු වන පී.ඒ.ප්‍රභාත් ඉන්දික මහතා මෙසේ කියා සිටියේය."වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තරු කියන්නේ පන්සල පිහිටා තියෙන්නේ වන්නියාගම රක්ෂිතයේ.ඒ නිසා කිසිදු වැඩි දියුණු කිරීමක් කරන්න එපා කියලා.ඒ නිසා තමයි ඉදි කිරීම් අරම්භ කරපු අවුකන පිළිම වහන්සේගේ වැඩ කටයුතු අතර මග නතර වෙලා තියෙන්නේ.

නමුත් වන සංරක්ෂණ මහත්තුරු මෙච්චර කාලයක් නොදැකපු දෙයක් තියනවා.ඒ තමයි වන්නියාගම රක්ෂිතය ඇතුලේ මේ වෙන කොට අවුරුදු 30 කට වැඩිය පරණ පොල් ගස් තියනවා.ස්ථීර ගෙවල් හදලා තියනවා.තවත් පිරිසක් කුඹුරු වගා කරනවා.ඇතමුන් හේන් ගොවිතැන් කරනවා.මේ වෙන කොටත් රක්ෂිතය ඇතුළේ කිසියම් පිරිසක් වනාන්තරය කපලා ගිනි තියලා වගා කටයුතු ආරම්භ කරන්න සුදානම් වෙලා ඉන්නේ.ඒ කිසිම දෙයක් දිහා බලන්නේ නැති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තුරු ඇයි පන්සල දිහා විතරක් බලන්නේ.වන රක්ෂිත ඇතුළේ කිසිදු ඉදිකිරීම් හෝ වෙනත් දෙයක් කරන්න බැරි නම් සියල්ල තහනම් වෙන්න ඕනේ.

මේ පන්සල් භූමියේ කිසිදු නරක වැඩක් සිදු වන්නේ නෑ.ඒක ගම්වැසියෙක් වශයෙන් මට බය නැතිව කියන්න පුළුවන්.විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ කරන්නේ ගමේ ජනතාවත් එක්ක එකතු වෙලා විහාරය සංවර්ධනය කරන එක පමණයි.ඒ ටික තේරුම් ගන්න බැරි නිලධාරීන් පිරිසක් තමයි අපිට ඉන්නේ....."

සිදු වෙමින් පවතින තත්ත්වය සොයා බලන්නට අප විහාරස්ථානයට යන විට ගම්වැසියන් විශාල පිරිසක් එහි එක් රැස්ව සිටියේය.ඒ සියළුම දෙනා කියා සිටියේ තමන්ගේ ගමේ පන්සල බේරා දෙන ලෙසය.එය සිදු කළ හැක්කේ රට කරවන දේශපාලකයින්ට සහ ඊට සහාය ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ට පමණි.අපට කළ හැකි වන්නේ ඒ බව පෙන්වා දීම පමණක් වන්නේය.

Latest