Skip to content

"බ්‍රෝඩ්ලන්ඩ්" ජල විදුලි ව්‍යාපෘතියට ගෙනා වාහන සහ යන්ත්‍ර සුත්‍ර ඇමති ලේකම් අරං ගිහිං

විදුලි බල මණ්ඩලයට අයත් නුවරඑළිය - ගිනිගත්හේන පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය ඉදිකිරීම සදහා ගෙනවිත් තිබූ වාහන සහ යන්ත්‍ර සූත්‍ර රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු යැයි කියා ගත් පුද්ගලයෙකු විසින් එම ස්ථානයෙන් රැගෙන යමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ රංජිත් විතානගේ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේද සදහන් කර සිටී.

පොල්පිටියේ පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලයට අයත් එකකි.මෙම ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු බාර ව සිටිනුයේ පුද්ගලික ආයතනයක් විසිනි.එම ව්‍යාපෘතිය කරගෙන යාම සදහා අවශ්‍ය වාහන සහ යන්ත්‍ර සූත්‍ර පිටරටවල් වලින් මෙරටට ගෙන්වීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇත.ඒ ආකාරයට රජය විසින් කිසියම් බදු සහනයක් ලබා දී මෙරටට ගෙන්වනු ලබන යන්ත්‍ර සූත්‍ර සහ උපකරණවල අයිතිය රජය සතු වේ.ඒ අනුව රජය විසින් බදු සහන ලබා දී මෙරටට ගෙන්වන ලද කිසිදු දෙයක් රජයේ අවසරයකින් තොරව බැහැර කිරීමට කිසිවෙකුට අවසරයක් නැත.

පසුගිය සැප්තැම්බර් මස 20 වෙනිදා ගිනිගත්හේන පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ඉදිකරමින් පවතින ස්ථානයට ගොස් ඇති රාජ්‍ය ඇමතිවරයාගේ ලේකම්වරයෙකු යැයි කියන පුද්ගලයා එම ස්ථානයේ තිබූ යන්ත්‍ර සූත්‍ර සහ වාහන ඉවත් කිරීම ආරම්භ කර ඇත.මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් පොල්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද ගොනු කර ඇත.එසේ තිබියදීද අදාල පුද්ගලයා තවමත් බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සදහා ගෙනවිත් තිබූ වාහන සහ යන්ත්‍ර සුත්‍ර කිසිදු බාධවකින් තොරව ඉවත් කරමින් සිටින බවක්ද දැන ගන්නට ඇත.මේ අකාරයට යන්ත්‍ර සුත්‍ර ඉවත් කරන පුද්ගලයා මීට පෙර රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති පුද්ගලයෙකු බවද දැන ගන්නට ඇත.

ශ්‍රී ලංකාව බංකොලෙත් වීමට හේතුව රජය විසින් මේ වන විට සොයමින් සිටී.එවන් වාතාවරණයක් තුළ රාජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු යැයි කියන පුද්ගලයෙක් මේ ආකාරයට රාජ්‍ය දේපල මහ දවල් කොල්ලකෑමත්, වගකිව යුතු කිසිවෙකු ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීමත් හාස්‍යයට කරුණක් වී ඇති බවද රංජිත් විතානගේ මහතා සදහන් කරයි.

මෙම ජල විදුලි ව්‍යාපෘතිය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 82 ක වියදමක් ඇස්තමේන්තු කර ඇත. මෙරට ඉදිකරන ලද අවසන් ප්‍රධාන ජල විදුලි නිෂ්පාදනගාරය බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතිය වන්නේය.මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍ය වන මුදල් වලින් 85% ක් චීන රජයේ ණය ආධාර යටතේ ලැබී ඇති අතර,ඉතිරි මුදල හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇත.ඉදිකිරීම් කටයුතු සිදු  කර ඇත්තේ චීන ජාතික විදුලි උපකරණ සමාගමක් විසිනි.

දෛනිකව මෙගා වොට් 35 ක විදුලිය නිෂ්පාදනයක් කරන මෙම ව්‍යාපෘතියේ වාර්ෂික අපේක්ෂිත නිෂ්පාදනය ගිගා වොට් 126 කි.2012 ජුනි මස 17 වැනිදා එවකට විදුලි අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි විසින් වැඩ කටයුතු ආරම්භ කළ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතියේ කටයුතු 2020 වසරේදී අවසන් කර ඇත.

ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසුව එම ස්ථානයේ  තිබූ භාවිතයට නොගන්නා වාහන සහ යන්ත්‍ර උපකරණ රජ්‍ය ඇමතිවරයාගේ ලේකම්වරයා විසින් රැගෙන යාම ආරම්භ කර ඇති බව මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.ඒ සදහා කිසිදු ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක කර නොමැති බවද දැන ගන්නට ඇත.

Latest