Skip to content

සුන්දර තබ්බෝව වනසන වැලි ජාවාරම....!

තම ප්‍රදේශය තුළ සිදු කරන වැලි කැපීම හේතුවෙන් දැවැන්ත පාරිසරික මෙන්ම සමාජීය හානියක් සිදු වෙමින් පවතින බව පුත්තලම - තබ්බෝව ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් සදහන් කරයි.

ක්‍රිස්තු වර්ෂ 604 දී තුන්වන අග්බෝ රජු විසින් තබ්බෝව වැව කරවා ඇත.පසුව 1928 වසරේදී දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා විසින් තබ්බෝව ගොවි ජනපදයක් බවට පත් කර ඇත.එය මෙරට බිහිවූ ප්‍රථම ගොවිජන ව්‍යාපාරය  ද වන්නේය.පවුල් 29 කින් ආරම්භ කර ඇති තබ්බෝව ගොවි ජන ව්‍යාපාරයේ මේ වන විට පවුල් 3000 ක් පමණ පදිංචිවී සිටිති.

තබ්බෝව වැව යටතේ කුඹුරු සහ ගොඩ ඉඩම් අක්කර 2500 කට වැඩි ප්‍රමාණයක් යල - මහ කන්න දෙක වගා කිරීම් සිදු කරති.

මාස කීපයක සිට තබ්බෝව ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් වැලි කැපීම ආරම්භ කර ඇත.කුඹුරු සදහා යොදා ගත හැකි මෙන්ම ගොඩ ඉඩම් බොහෝමයක් මේ වන විට වැලි කැපීම් සිදු කරන පිරිස් වල ග්‍රහණයට නතු වී ඇති බවක් දක්නට ඇත.එමෙන්ම මී ඔය රක්ෂිතයේ විශාල භූමි ප්‍රමාණයකද වැලි කපා දැවැන්ත පාරිසරික හානියක් සිදු කර ඇති බවක් දකින්නට ඇත.රජයට අයත්ව තිබූ ඇතැම් ඉඩම් වලට කූඨ ලෙස බලපත්‍ර සකස් කර කැලි කැණීම් සිදු කර ඇති බවටද චෝදනාවක් ඇත.

මෙම වැලි කැපීම සහ සේදීම සදහා භූ විද්‍යා පතල් හා කැණීම් කාර්යංශයෙන් බලපත්‍ර නිකුත් කර ඇති බව අප ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.යම් ස්ථානයක වැලි කැපීම සදහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය බලපත්‍ර ලබා දීමට පෙර ඒ සදහා ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීම සහ නිර්දේශය ලබා ගැනීම සිදු කරති.ඒ අනුව තබ්බෝව ප්‍රදේශයට දැවැන්ත හානියක් සිදු කරමින් ඇති වැලි කැපීමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආශීර්වාදය හිමිවී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.

වැලි කැපීම සදහා අවසර ලබා දීමේ බලපත්‍ර කොන්දේසි කීපයක් ඉදිරිපත් කරති.ඉන් ප්‍රධානතම කොන්දේසිය වන්නේ කැලි කැණීම් කළ ස්ථානය නැවත වසා දැමීම කළ යුතු බවය.තබ්බෝව ප්‍රදේශය තුළ සිදු කර ඇති වැලි කැණීම් හේතුවෙන් දැවැන්ත ආගාධ හෙවත් වළවල් නිර්මාණය වී ඇත.ඊට හේතුව වී ඇත්තේ බලපත්‍ර කොන්දේසියට අනුව එම වළවල් වසා දැමීමක් නොකිරීමය. එසේම කැණීම් සිදු කර ඇති ස්ථාන නිසි පරිදි වසා දැමීමක් නොකරන අයවළුන් සදහා නැවත බලපත්‍ර ලබා නොදෙන බවද පතල් හා කැණීම් කාර්යංශ්‍ය නිකුත් කරන ලියකියවිලි සදහන් වේ. අනුව වැලි කැපීම සිදු කරන ව්‍යාපාරිකයින් තමන්ට ලබා දී ඇති බලපත්‍ර වල ඇති ප්‍රධානතම කොන්දේසියක් උල්ලංඝනය කර ඇත.එවැනි ව්‍යාපාරිකයින්ට නැවත බලපත්‍ර ලබා දීමේදී පෙර අවසර ලබා දුන් ස්ථානයන් සම්බන්ධයෙන් පතල් හා කැණීම් කාර්යංශය නිරීක්ෂණයක් සිදු කර නොමැති බවද වර්තමානයේ පවතින තත්ත්වය අනුව අනුමාන කළ හැකි වන්නේය.එසේ නිසි නිරීක්ෂණයක් සිදු කර තිබේ නම් අළුත් බලපත්‍ර ලබා ගැනීමට මේ කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් හිමි නොවන බව නම් සත්‍යයකි.

මෙම තත්ත්වය බරපතල ගැටළුවක් බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.වැසි කාලයේදී මෙම වළවල් රොන් මඩ සහ ජලය පිරී යාම හේතුවෙන් අනතුරු දායක තත්ත්වයක් නිර්මාණය වන බවද ඔවුන් කියා සිටී.එමෙන්ම වැසි ජලය එකතු වීම හේතුවෙන් මැසි - මදුරු උවදුරටද තමන්ට මුහුණ දීමට සිදුවී ඇති බව ඔවුන් සදහන් කරයි.

වැලි කැපීමට යොදා ගෙන ඇති ඇතැම් ස්ථාන වල තිබූ වසර ගනනක් පැරණි වටිනා ගස් කපා බිම හෙලා ඇති බවක්ද දක්නට ඇත.කපා දමා ඇති ඇතැම් ගස් ජාවාරම්කරුවන් විසින් රැගෙන ගොස් ඇති බවක්ද ප්‍රදේශවාසීන් සදහන් කරයි.

කුඹුරු සහ ගොඩ ඉඩම් වලින් කපන වැලි සේදීම සදහා විශාල වශයෙන් ජලය අවශ්‍ය වේ.වැලි සේදීම සිදු කරන ස්ථාන වල ඒ සදහා ගැඹුරු නල ළිං ඉදි කර ඇත.එම නල ළිං වලින් දිනකට විශාල ජලය ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් ඉදිරියේදී ප්‍රදේශයේ භූ ගත ජලයට බලපෑමක් සිදු විය හැකි බවටද සැකයක් ඇතැයි ප්‍රදේශවාසීන් සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම වැලි  කැපීමේ ජාවාරමට රාජ්‍ය සහ ආරක්ෂක අංශ වල නිලධාරීන්ගේ සහායද නොමදව ලැබෙන බවද තබ්බෝව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

තබ්බෝව වැව ඉදිකරන ලද අග්බෝ රජු මෙන්ම මෙරට ප්‍රථම ගොවි ජන ව්‍යාපාරය බිහි කළ ඩී.එස්.සේනානායක දිවංගත අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන්නට ඇත්තේ ශ්‍රී ලංකාව සරුසාර කෙත් බිමක් කිරීම වන්නට ඇත.නමුත් වර්තමානයේ රට කරවන ඇතැම් ඇත්තන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ ක්‍රියාදාමය නිසා හෙට දිනයේදී තබ්බෝව කාන්තාරයක් බවට පත් වුවහොත් එය පුදුමයක් නොවන්නේය.මන්ද අතීතයේදී අප දුටු තබ්බෝව වර්තමානය වන විට කිසියම් ප්‍රමාණයකට වෙනස් වී ඇති නිසාය. මෙම පරිවර්තනය අනාගතය වන විට කුමන අකාරයකට බලපෑමක් එල්ල කරාවිද යන්න නම් බරපතල ගැටළුවකි.

ඒ නිසාම වගකිව යුත්තේ දැන්වත් දෙනෙත් විවර කළ යුතුව ඇත.මන්ද යත් අස්වයා පැන ගියාට පසුව ස්තාලය වසා දැමීමෙන් පළක් නොවන නිසාය.

Latest