Skip to content

වැඩකට නැති මන්ත්‍රීවරු.

මෙරට ජනතාව තමන්ට ඇති ගැටළු විසදා ගැනීම සදහා ස්ව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවති.එසේ පත්වී යන මන්ත්‍රීවරුන්ට යාන - වාහන,ඉදුම් - හිටුම් පමණක් නොව හොද වැටුපක්ද හිමි වන්නේ ඔවුන් කරනා ජනතා සේවය සදහාමය.ඊට අමතරව පාර්ලිමේන්තුවට තේරී පත්ව යන මන්ත්‍රීවරුන්ට තව තවත් වරදාන රැසක් අපේ රටේදී හිමිවන බව ප්‍රසිද්ධ රහසකි.අපි ඒ ගැන කිසිවක් කථා නොකර සිටිමු.

ජනතාව බලාපොරොත්තු වන්නේ තම නියෝජිතයා පාර්ලිමේන්තුවට ගොස් තමන්ට ඇති ප්‍රශ්ණ ගැන කථා කර විසදුමක් ලබා දෙන බවය.නමුත් අවාසනාවකට අපේ රටේ පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් තමන්ට පැවරී ඇති ජනතා සේවය නිසි අයුරින් ඉටු කරනවාද යන්න වර්තමානයේ ගැටළුවක් බවට පත්ව ඇත.

ඇතැම් මන්ත්‍රීවරුන් ගමට එන්නේ ඡන්දයක් පවතින කාලයට පමණි.ඒ නිසා බොහෝ දෙනෙකු සිතා සිටින්නේ "අපේ මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවේ ගොඩාක් වැඩ ඇති.ඒ නිසා ගමට එන්න වෙලාවක් නැතිව ඇති කියාය." ජනතාව හිතන ඒ සිතුවිල්ල මුසාවක් බව Manthri.lk විසින් කර ඇති තොරතුරු සොයා බැලීමේ අනාවරණය වී ඇත.ඒ අපේ මන්ත්‍රීවරුන් බොහෝමක් පාර්ලිමේන්තු සභවාර වලට සහභාගි නොවන බව අනාවරණය කර ගැනීමට හැකි වීම නිසාය.

2023 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු සභාවාර වලින් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු එකම සභාවාරයකට හෝ සහභාගි වී නොමැති බවත්,මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහභාගිවී ඇත්තේ එක් සභාවාරයක් සදහා පමණක් බව Manthri.lk නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

හර්ෂ ද සිල්වා,සරත් ෆෝන්සේකා,එස්.වියාලේන්ද්‍ර,ආර්.සම්බන්ධන්,පලනි දිගම්බරන්, එස්.නෝගරාදලිංගම් යන මන්ත්‍රීවරුන් අගෝස්තු මාසයේ පැවති එක් පාර්ලිමේන්තු සභාවාරයකට හෝ සහභාගි වී නැත.සුදත් මංජුල සහ උයන කිරිදිගොඩයන මන්ත්‍රීවරුන් එක් සභාවාරයක් සදහා පමණක් සහභාගි වී ඇත.

අගෝස්තු මස 08 වැනිදා පැවති පාර්ලිමේන්තු සභාවාරයට මන්ත්‍රීවරුන් 174 දෙනෙකු සහභාගි වී ඇති අතර,51 දෙනෙකු සහභාගි වී නැත.09 වැනිදා පැවති සභාවාරයට මන්ත්‍රීවරුන් 189 ක් සහභාගි වී ඇති අතර,මන්ත්‍රීවරුන් 36 දෙනෙකු සහභාගි වී නොමැති බව  Manthri.lk අනාවරණය කරයි.අගෝස්තු මස 10 වෙනිදා පැවති පාර්ලිමේන්තු සභාවාරයට මන්ත්‍රීවරුන් 161 දෙනෙකු සහභාගි වී ඇති අතර,64 දෙනෙකු සහභාගි වී නැත.11 වෙනිදා පැවති සභාවාරයට සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් 125 දෙනෙකු පමණි.ඒ අනුව එදින සභාවාරයට මන්ත්‍රීවරුන් 100 දෙනෙකු සහභාගි වී නැත‍

අගෝස්තු මස 22 වැනිදා පැවති සභාවාරයට මන්ත්‍රීවරුන් 177 ක් සහභාගි වී ඇති අතර,48 දෙනෙකු සහභාගි වී නැත.23 වෙනිදා මන්ත්‍රීවරුන් 161 දෙනෙකු පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වී ඇති අතර,64 දෙනෙකු සහභාගි වී නැත.24 වෙනිදා මන්ත්‍රී සහභාගීත්වය 159 කි.මන්ත්‍රීවරුන් 66 දෙනෙකු එදින සභාවාරයට සහභාගි වී නැත.25 වෙනිදා පැවති පාර්ලිමේන්තු සභාවාරයට මන්ත්‍රීවරුන් 108 දෙනෙකු සහභාගි වී ඇති බවත්,මන්ත්‍රීවරුන් 117 දෙනෙකු එදින පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වී නොමැති බවත්  Manthri.lk අනාවරණය කරයි.

Latest