Skip to content

අරාබි හමුදාවන් පහක් එක මිටින් මෙලවූ ඊශ්‍රායෙල් සය දින යුද්ධය​

ලෝක යුධ ඉතිහාසය ගත්තහම අතිශය වැදගත් සිදුවීමක් විදිහට තමයි වර්‍ෂ 1967 ඊශ්‍රායෙල් සහ අරාබි ජාතීන් අතර ඇති වුණු සය දින යුද්ධය කියලා කියන්නේ. මේ සය දින යුද්ධය මැද පෙරදිග බල තුලනය උඩු යටිකුරු කරලන්නක් බවට පත්වුණා. "06 Day War" විදිහට ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ මෙම යුද්ධය; යුධ කලාවට අළුත්ම න්‍යායන් රැසක් එකතු කලා වගේම යුදෙව් ජාතිකයින්ගේ අසමසම අධිෂ්ඨාන ශක්තිය සහ අද්විතීය වූ ඥාණය ප්‍රකට වන අවස්ථාවක් ලෙසිනුත් ලෝක ඉතිහාසයට එක්ව තිබෙනවා. ඊජිප්තුව​, ජෝර්දානය සහ සිරියාව කියන එවකට අරාබියේ අතිශය බලවත් ජාතීන්ගේ සමස්ථ යුධ ශක්තිය සතියකටත් අඩු කාලයකින් සම්පූර්ණයෙන්ම ක්‍ෂය කරල දමන්න ඊශ්‍රායෙල් සන්නන්ධ හමුදාවන් සමත් වෙනවා. ඔවුන්ගේ කීර්තිය ලොව දසත පතුරවන්නත් මැද පෙරදිග සිතියම තීරණාත්මක ලෙස වෙනස් කරන්නත් සමත් වූ සයදින යුද්ධයේ ඇග ලොමු දැහැ ගන්වන කතා පුවතේ දිග හැරුමයි මේ..

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන යුදෙව් ජාතිකයින් ලොව පුරා විසිරිලා සිටියත් නූතන ලෝකයේදී ඔවුන්ට අනන්‍ය වුණු වෙනම රාජ්‍යයක් පැවතියේ නැහැ. ඔබ දැනටමත් අසා ඇති කරුණක් තමයි යුදෙව් ජාතිකයින් ලොව අග්‍රගණ්‍යතම බුද්ධිමතුන් ලෙස සැලකෙන වග. මූලාශ්‍ර වල සඳහන් විදිහට විසිවන සියවසේ මැද භාගය වෙද්දී ඔවුන් ලොව බලවත් තනතුරු ගණනාවක් හෙබවීම බලය උදෙසා කැස කැවූ අනිත් ජාතීන්ට ගැටළුවක්ව පැවතුණා. යුරෝපය පුරා සිය බලය පැතිරවීම අරමුණු කරගනිමින් දෙවන ලෝක යුද්ධය දියත් කරන්නට මුල පිරූ ජර්මනියේ ආඥාදායක හිට්ලර්ගේ උදහසට ලක්වන්නට යුදෙව් ජාතිකයන්ට සිදු වූයේත් මේ නිසාමයි. දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී ලක්‍ෂ සංඛ්‍යාත යුදෙව්වන්ට දිවි අහිමි වූ අතරම, බොහෝ පිරිසකට​ සිය පවුල්වල සාමාජිකයින් වගේම​ වාසස්ථාන පවා අහිමිව අන්ත අසරණ වීමට සිදුවූවා. මේ හින්දම දෙවන ලෝක යුද්ධය අවසන් වෙන විට ලෝක ජනමතය පැවතිලා තිබුණේ යුදෙව් ජාතිකයන්ට හිතෛෂී මට්ටමක​.

බැල්ෆෝර් ප්‍රකාශය යනු පළමු ලෝක සංග්‍රාමය අතරතුර 1917දී බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් වන අතර​, එමගින් එවකට ඔටෝමාන් පාලනය යටතේ පැවති ප්‍රදේශයක් වූ පලස්තීනයේ වාසය කල කුඩා සුළුතර යුදෙව් ජනගහනයක් වෙනුවෙන් යුදෙව් ජනතාව සඳහා නිජභූමියක් පිහිටුවීම සඳහා සහාය ප්‍රකාශ කලේය​.

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් වර්‍ෂ 1917 දී සම්මත කරගත් බැල්ෆෝර් ප්‍රඥප්තිය අනුව පලස්තීන භූමිය තුළ ස්වාධීන යුදෙව් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරලන්නට 1948 මැයි මස 14 වනදා එවකට යුදෙව් ඒජන්සි ප්‍රධානී David Ben Gurion කටයුතු කරනු ලබනවා. මේ අවස්ථාව වෙද්දී පලස්තීන භූමිය පැවතියේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙසයි. (බ්‍රිතාන්‍ය පාලන කාලය 1920 - 1948) ඊශ්‍රායලය විසින් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමත් සමග ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ගණනාවක් මෙකී රාජ්‍යයේ අනන්‍යතාවය සහතික කරනු ලබනවා. මෙතනදී ඉතා වැදගත් කරුණක් තමයි සෝවියට් සමූහාණ්ඩුව විසිනුත් ඊශ්‍රායලයේ ස්වාධීනත්වය පිළිගැනීම​. වර්තමානය වෙද්දී අරාබිකරයේ පමණක් නෙවෙයි සමස්ථ ලෝකය පුරාවටම සිය අණසක පතුරවාගෙන ඉන්න ඊශ්‍රායලයේ උපත සිදුවෙන්නේ මෙලෙසිනුයි. කොහොම නමුත් මහා බ්‍රිතාන්‍යය ඒ අවස්ථාවේදී ඊශ්‍රායලයේ ස්වාධීනත්වය පිළිගන්න කටයුතු කරන්නේ නැහැ.

භූගෝලීය පිහිටීම ගත්තහම උතුරින් ලෙබනනයටත් ඊසාන දෙසින් සිරියාවටත් නැගෙනහිරින් ජෝර්දානයටත් සහ දකුණු නිරිතදිග දෙසින් ඊජිප්තුවටත් මායිම් වන ඊශ්‍රායලයේ බටහිර මායිම විවෘත වන්නේ මධ්‍යධරණී මුහුදටයි. ඔවුනගේ පිහිටීම දෙස බැලූ බැල්මට හැගී යන්නේ අරාබිකරය තුල ඉස්ලාම් ආධිපත්‍යයට හතර වටින් වටවී හුදකලාව සිටින බවක්ය​. නමුත් ජාත්‍යන්තරය තුල ඊශ්‍රායලය හුදකලා නොවන වග ඔවුන් බිහිවන අවස්ථාවේම ප්‍රදර්ශණය වුණා වගේම; වර්තමාන යුධමය තත්ත්වයන් තුල උනත් ඔවුන් තනිවුණු බවක් පෙනෙන්නට​ නැහැ.

ජෙරුසලම ඇතුළු ප්‍රදේශ සිය ඓතිහාසික ජන්ම භූමි ලෙස යුදෙව් ජාතිකයන් සැලකුවත් අරාබිකරය තුල ඔවුන්ව පිළිගනු ලැබුවේ සුළු ජන වර්ගයක් හැටියට​. මේ හින්දාම අරාබි ජාතිකයින් ඔවුන්ගේ බල ප්‍රදේශය තුල යුදෙව් රාජ්‍යයක් බිහිවෙන එක කිසි ලෙසකින්වත් අනුමත කලේ නැහැ. මේ නිසාම ඊශ්‍රායලය බිහිවී පසුදා සිටම ඔවුන්ට විරුද්ධව යුධ ප්‍රකාශ කරන්න අරාබි ලීගය කටයුතු කරනවා. ඊජිප්තුව, ජෝර්දානය​, ඉරාකය​, සිරියාව සහ යේමනය අරාබි ලීගය වෙනුවෙන් පෙරමුණ ගත් අතරම මෙම පළමු යුද්ධය මාස 10ක පමණ කාලයක් ඇදී යනවා. ඊශ්‍රායලය බටහිර ජාතීන්ගේද සහාය ලබාගෙන මෙම යුද්ධයට සාර්ථකව මුහුණ දෙන අතරම ඒ හේතුවෙන් අරාබි ජාතීන් ඔවුනගෙන් හොඳ හැටි බැට කනවා. එම යුද්ධය අවසන් කරන්නට මූලික වුණු ආමිස්ටයිස් ගිවිසුම මගින් බටහිර ඉවුර සහ ගාසා තීරයේ පාලනය නිශ්චිත ලෙසම අරාබි ජාතීන් සහ ඊශ්‍රායලය අතර බෙදා වෙන් කර දෙනු ලබනවා. ඒ වගේම ලෝක ඉතිහාසයේ පළමු වතාවට මෙම යුද්ධය අවසන් වීමෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් (United Nations peacekeeping force) මැදපෙරදිග සාමය සහතික කරනු පිණිස යොදවනු ලබනවා.

මෙවැනි තත්ත්වයන් යටතේ ඊශ්‍රායල් අරාබි සබඳතා යහපත් තැනක පවතීවි යැයි අපේක්‍ෂා කිරීමම අරුත්සුන් ප්‍රතිඵලයක් බවට පත්වෙනවා. වසර කිහිපයක් පැවති සාමකාමී වාතාවරණය 1956දී යලි බිඳ වැටෙන අතරම එයට ප්‍රධාන හේතුව වූයේ එම වසරේ ජූලි 26 වනදා එවක ඊජිප්තු නායකයා වුණ ගමාල් අබ්දල් නසර් සූවස් ඇළ ජනසතු කිරීමට තීරණය කිරීමයි. මෙම කාලයේදී සූවස් ඇළේ හිමිකාරීත්වය බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ ඒකාබද්ධ සමාගමක් යටතේ පැවති අතරම මෙකී තීරණය හමුවේ ඔවුන් බලවත්ව උරණ වූ බවට සඳහන්. එහි ප්‍රතිඵලයක් විදිහට 1956 ඔක්තෝම්බර් 29 වනදා ඊජිප්තු පාලනය යටතේ පැවති සයිනායි අර්ධද්වීපය ආක්‍රමණය කරන්නට ඊශ්‍රායල් හමුදා කටයුතු කරනවා.

වෙළඳ අරමුණ බිඳ වැටීමත් එක්ක උරණව සිටි බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ හමුදාවන් ද ඔවුනගේ බටපිරිස් මේ සඳහා යොදවන්න කටයුතු කරනු ලබනවා. මෙහිදී සඳහන් කලයුතු දෙයක් තමයි ඊශ්‍රායලය මෙම යුද්ධයට අවතීර්ණ වන්න හේතුව වූයේ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ උසිගැන්වීම මත බව කියන එක​. මේ කාරණය පිළිබඳව විවිධ පාර්ශව විසින් නගන තර්ක මුළුමනින්ම බැහැර කිරීමේ හැකියාවකුත් නැහැ. මාස දෙකකට ආසන්න කාලයක් පැවති සටන් නිමකොට ඊජිප්තුවෙන් අත්පත් කරගන්නා ලද පාලන ප්‍රදේශ නැවත ඔවුන්ට ලබා දෙමින් සිය හමුදා ඊජිප්තුවට අයත් භූමියෙන් ඉවත් කරගන්න ඊශ්‍රායෙල්, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සන්ධානය කටයුතු කරනු ලබනවා. ඒ ඇමරිකාව මෙම ප්‍රශ්ණයට මැදිහත්වීම හේතුවෙන්.

කොහොම වෙතත් ටිරාන් සමුද්‍ර සන්ධිය භාවිතය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ඊජිප්තුව විසින් පනවා තිබූ බාධක ඉවත් කරගන්නට හැකිවීම මෙකී යුද්ධයෙන් ඊශ්‍රායලය ලබපු ජයග්‍රහණයක්. මෙතනදී මැදපෙරදිග සාමය ස්ථාපිත කරලීම සඳහා එක්සත් ජාතීන්ගේ හදිසි බලකායක් ඊජිප්තු ඊශ්‍රායෙල් දේශ සීමාවේ ස්ථාපිත කරලීම​ එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉතිහාසයේ තවත් එක් වැදගත් කඩ ඉමක් විදිහට සනිටුහන් වනවා. සූවස් ඇළ සම්බන්ධයෙන් ඇතිවුණු ගැටළුව හේතුකොට ගෙන ඇතිවූ යුද්ධයක් නිසාම සූවස් අර්බුධය විදිහටත් මෙය ලෝක භූ දේශපාලනයේ හැසිරීම ඉතාම විචිත්‍රවත් ලෙස ප්‍රකට කරන අවස්ථාවක්. තමන්ගේ වෙළඳ අරමුණු බිඳ වැටීම නිසා ඊශ්‍රායලය බිහිවුණු අවස්ථාවේ එයට විරුද්ධ වූ බ්‍රිතාන්‍යය පසුකාලීනව ඔවුන් සමග අත්වැල් බැඳ ගැනීමත්, ඊශ්‍රායලය බිහිවීම සඳහා විශාලතම ශක්තිය වූ ඇමරිකා එක්සත් ජනපදය මේ අවස්ථාවේ ඊජිප්තු භූමියෙන් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ හමුදා ඉවත් කිරීමට තර්ජනාත්මකව මැදිහත්ව කටයුතු කිරීම මගිනුත් හැගී යන්නේ ලෝකයේ ඇතිවන විවිධ ගැටළු ලෝක බලවතුන් විසින් තම වාසියට යොදා ගන්නේ කෙලෙසදැයි යන්නය​. කොහොම නමුත් මෙම සිදුවීම අවසානයේදී බ්‍රිතාන්‍යය අගමැතිව හිටපු ඇන්තනී ඊඩ්න් හට සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නටත් එනයින්ම බ්‍රිතාන්‍යයට ලෝක දේශපාලනය තුල හිමිව තිබූ ලෝක බලවතෙකුගේ තත්ත්වය අහිමි වූ අවස්ථාව ලෙසටත් මෙය හැඳින්වෙනවා.

බ්‍රිතාන්‍යය අගමැති ඇන්තනී ඊඩ්න්

එක්දාස් නවසිය හැටේ දශකයේ මැද භාගය වෙද්දී සිරියානු සහයෝගයෙන් සන්නන්ධ වූ පලස්තීනු ගරිල්ලන් සිය දේශසීමාවෙන් ඔබ්බෙහි පිහිටි ඊශ්‍රායෙල් නගර වෙත විවිධ අන්දමින් ප්‍රහාර එල්ල කරන්නට වුණා. ඔවුනගේ ඉලක්කය වූවේ මෙම ප්‍රහාර මාලාව හරහා ඊශ්‍රායල හමුදාවන් කුපිත කරවාගෙන ඔවුන්ව පලස්තීනය වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට පොළඹවා ගැනීමයි​. මෙවන් තත්ත්වයකදී යම් විදිහකින් ඊශ්‍රායලය පලස්තීනයට විරුද්ධව යුධ ප්‍රකාශ කලහොත් එතැනදී ඊශ්‍රායලයට එරෙහිව යුධ වැදීමට අරාබිකරයේ අනිකුත් ප්‍රබල රටවල් වුණ සිරියාව, ඊජිප්තුව​, ජෝර්දානය සහ ඉරාකය සූදානමිනුයි හිටියේ.

මේ අතර 1967 අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඊශ්‍රායලය සහ සිරියාව අතර​ ඇතිවූ ගුවන් හා කාලතුවක්කු සටනක් නිසාවෙන් සිරියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා කිහිපයක්ම විනාශයට පත් වෙනවා. අළු යට ගිනි මෙන් තිබූ මැද පෙරදිග සටන් නැවත ඇවිලී යන්න මෙකී සිදුවීමත් ප්‍රබල බලපෑමක් ඇති කල බව කියන්න පුළුවන්. මේ අතරෙදි ඊජිප්තු නායක ගමාල් අබ්දල් නසර් ඊජිප්තු හමුදාවන් සයිනායි අර්ධද්වීපය හරහා ගෙන ගොස් ඊශ්‍රායල් දේශසීමා ආසන්නයේ ආක්‍රමණශීලී ලෙස කඳවුරු ලා ගැන්වීමට​ කටයුතු කරනු ලබනවා. සෝවියට් බුද්ධි අංශ විසින් කරපු අනතුරු ඇගවීමක් විදිහට එම දේශ සීමාවන් ආරක්‍ෂා කරන ලද එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට ඉන් ඉවත්වන මෙන් අණ කිරීමකුත් මෙහිදී සිදු කරනු ලබනවා. සෝවියට් බුද්ධි තොරතුර විසින් කියවුණේ ඊශ්‍රායෙල් හමුදා සිරියානු දේශසීමා වෙතට එක්‍ රැස් වන බවයි.

දින කිහිපයක ඇවෑමෙන් ඊශ්‍රායලයට ඉතාම වැදගත් වූ රතු මුහුද සහ අකාබා ද්‍රෝණිය යා කල ටිරාන් සමුද්‍ර සන්ධිය වසා දැමීමටත් ඊජිප්තු නායක ගමාල් අබ්දල් කටයුතු කරනවා. මේ අතරේ ජෝර්දානයේ හුසේන් රජු සමග ආරක්‍ෂක ගිවිසුමකට එළඹෙන්නට ඊජිප්තුව කටයුතු කිරීම ඊශ්‍රායලය පාර්ශවයෙන් දැක්කේ අනිවාර්ය යුද්ධයක පෙර සූදානමක් හැටියට​. අනෙක් පසින් ටිරාන් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා භාණ්ඩ රැගත් නෞකා වලට ඊශ්‍රායලයට පිවිසීමට තිබූ ප්‍රධානතම මුහුදු මාර්ගයත් ඇහිරී ගියා. මේ හින්දම ටිරාන් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ගැනීමට ඊශ්‍රායලයට ගැනීමට හැකි සෑම පියවරකටම යොමු වෙන්න ඔවුන්ට​ සිදුවුණා වගේම සිය ආක්‍රමණිකයන්ට වැටහෙන ලෙසින්ම ප්‍රතිචාර දැක්වීමටත් ඊශ්‍රායලය පසුබට වුණේ නැහැ. ඒ අනුව තමන්ට අභියෝග එල්ල කරන අරාබි බලවතුන් සියළු දෙනා එක මිටින් ගෙන දණ ගස්වන්නට අරමුණු කල ඊශ්‍රායලය ඔවුන්ට සිතා ගැනීමටවත් නොහැකි මට්ටමේ බිහිසුණු ප්‍රහාරයක් සැලසුම් කරනවා.

ඔපරේෂන් ෆෝකස්

1967 ජූනි මාසයේ 05 වනදා උදෑසන 07:45ට පමණ තමන් සතුව තිබුණු ප්‍රහාරක ගුවන් යානා 200න් 12ක් හැර ඉතිරි සියල්ල ගුවනට යොමු කරපු ඊශ්‍රායෙල් ගුවන් හමුදාව ඒවා බොහොමයක් ඊජිප්තුව දෙසට යොමු කරන්න කටයුතු කරනවා. ඊශ්‍රායලයේ ඉඳන් බටහිර දිශාවට මධ්‍යධරණී මුහුදට ඉහලින් පියාසර කරපු මෙම ගුවන් යානා ඊජිප්තු ගුවන් ආරක්‍ෂණ රේඩාර් වලට හසු නොවෙන්න මුහුදේ ගෑවෙන නොගෑවෙන තරමින් පහලින් පියාසර කරගෙන ගිහින් ඊජිප්තු ගුවන් කලාපයට එහි උතුරු දෙසින් ඇතුල් වෙනවා. ඒ වෙද්දී ඊජිප්තු ගුවන් හමුදාවන්ගේ ආරක්‍ෂක උපක්‍රම පැවතියේ ඉතාම දුර්වල මට්ටමක​. ඔවුන්ගේ ගුවන් යානා ගාල් කර තැබීමට අමතර ආරක්‍ෂාවක් සැපයූ ගුවන් යානා අංගන පවා තිබුණේ නැහැ. බොහෝ ඊජිප්තු ප්‍රහාරක ගුවන් යානා ගාල් කර තිබුණේ එළිමහන් ගුවන් පථවල​. ඉතාම කෙටි වේලාවකින් ඊජිප්තුවට ඇතුල්වුණු ඊශ්‍රායල් ප්‍රහාරක ගුවන් යානා අපූරු උපක්‍රමයක් භාවිත කරමින් ඔවුන්ගේ විශ්මයජනක ප්‍රහාරය ඊජිප්තු ගුවන් හමුදාවන්ට එල්ල කරන්නට වුණේ සමස්ථ ඊජිප්තු ආරක්‍ෂණ පද්ධතියම දරුණු තැතිගැන්මකට ලක් කරමින්. මුලින්ම ඊජිප්තු ගුවන් කඳවුරු ඉහළින් පියාසර කරපු ඊශ්‍රායෙල් ගුවන් නියමුවන් ඉලක්ක කරනු ලැබුවේ ඊජිප්තු ප්‍රහාරක ගුවන් යානා සහ ඔවුන්ගේ ගුවන් ආරක්‍ෂණ පද්ධතිය.

දෙවන ප්‍රහාර මාලාව එල්ල වුණේ ඒ සඳහාම වැඩිදියුණු කල බෝම්බ මගින් ඊජිප්තු ගුවන් ධාවන පථවලටයි. ප්‍රහාරයේ මුල් අදියරේදීම තමන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල වෙන්න තියෙන ඉඩ අහුරාලන්නටත් දෙවන අදියර විදිහට දීර්ඝ කාලීනව ගුවන් බලය අකර්මණ්‍ය කරලන්නටත් වගේම නැවත ප්‍රතිසංවිධානය වීමට තිබෙන ඉඩකඩ ද​ විනාශ කර දමන්නටත් ඊශ්‍රායල් ආරක්‍ෂණ ප්‍රධානීන් විසින් කටයුතු කරනවා. මේ උපක්‍රමය කොයිතරම් සාර්ථක වූවා ද කියනවනම් ප්‍රහාරය ආරම්භ වී පැය කිහිපයකින් මුළු ඊජිප්තු ගුවන් හමුදාවේම ප්‍රහාරක බලය 90%කින් අඩපණ කරලන්නට ඊශ්‍රායලය සමත් වනවා. අතිශය භයංකර වූ මෙම ප්‍රබල ප්‍රහාරය වළක්වා ගැනීමට ඊජිප්තු ගුවන් ආරක්‍ෂණ පද්ධතීන්ට නොහැකි වන්නේ ඊශ්‍රායෙල් ප්‍රහාරක ගුවන් යානා ඉතාම පහළින් පියාසර කරවූ බැවිනුයි.

මූලාශ්‍ර දක්වා තිබෙන විදිහට මෙම ප්‍රහාරයෙන් ඊජිප්තු ගුවන් යානා 338ක් විනාශ වූ අතර සියයකට අධික ගුවන් නියමුවන් සංඛ්‍යාවක් ද ජීවිතක්‍ෂයට පත් වනවා. එතකින් ද නොනැවතුණු ඊශ්‍රායල් ප්‍රහාරක ගුවන් යානා ඉරාක, ජෝර්දාන සහ සිරියානු ගුවන් හමුදාවන්ට ද පහර දෙමින් ගුවන් බලයෙහි වැඩි වාසිය තමන් වෙතට නතු කරගන්නට සමත් වෙනවා. ඊශ්‍රායලය සැලසුම් කරපු ප්‍රහාර මාලාවේ මීලග පියවර දියත් කරමින් ඔවුන්ගේ යුධ හමුදාව ඊජිප්තු හමුදාවන් රැඳී සිටි සයිනායි අර්ධද්වීපය හා ගාසා තීරය ආක්‍රමණය කලේ ප්‍රබල යුධ ටැංකි වගේම සෙසු සහායක අවි පෙරටු කරගත් පාබල හමුදා මෙහෙයුමක් මගිනුයි. මුලදී දැඩි ප්‍රතිරෝධයක් ඊජිප්තු හමුදා මගින් දැක්වුවත් අධිෂ්ඨානශීලී බවින් අනූන ප්‍රබල ඊශ්‍රායෙල් හමුදාවන්ගේ ප්‍රහාර තවදුරටත් දරාගත නොහැකි තැන ඊජිප්තු හමුදාවන්ට පසුබසින මෙන් හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අබ්දෙල් හකීම් අමර් විසින් අණ ලබා දෙනවා.

මෙසේ අණ ලැබීමට හේතු පාධක වී ඇතැයි සැලකෙන්නේ යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදීම ගුවන් බලය සහමුලින්ම විනාශයට පත්වීමත් එනයින් ගුවනේ සහය නොලැබුණු තැන පාබල සෙබලුන්ගේ චිත්ත ධෛර්‍ය බිඳ වැටීමත් යන කාරණා සලකන්න පුළුවන්. යුද්ධයේ දෙවන පෙරමුණක් ද විවෘත වූවේ ඊජිප්තු යුධ ජයග්‍රහණයක් ගැන අසත්‍ය තොරතුරක් කන වැකුණු ජෝර්දාන හමුදාවන් ජෙරුසෙලමෙහි ඊශ්‍රායල ඉලක්ක වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමගිනුයි.

ඊශ්‍රායලය මෙයට ප්‍රතිප්‍රහාර දැක්වූවේ නැගෙනහිර ජෙරුසලමට සහ බටහිර ඉවුරට විනාශකාරී ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින්. එහි ප්‍රතිඵලයක් විදිහට ජුනි 07 වනදා වෙද්දී ජෙරුසලමේ පිහිටි පැරණි නගරය තමන් සතු කරගන්න වගේම එම පෙරමුණේ ද ජයග්‍රාහකයා වෙන්නත් ඊශ්‍රායල් හමුදාවන් සමත් වෙනවා. සටනේ අවසාන අදියර ඇදී ගියේ ඊශ්‍රායලයේ ඊසාන දිග දේශ සීමාවෙහි වූ සිරියානු හමුදාවන් සමගයි. ජුනි මාසයේ 09 වනදා දැඩි ගුවන් ප්‍රහාරයක සහයත් සමග ඊශ්‍රායල් යුධ හමුදාව සිය යුධ ටැංකි සහ පාබල හමුදාවන් භූ විෂමතාවය අනුව ඉතා වැදගත් ගෝලාන් කඳුකරය වෙත මෙහෙයවනු ලැබුවා. ඒ අනුව පසුදා වෙද්දී ඔවුන් ගෝලාන් කඳුකරයේත් සිය බලය තහවුරු කරලන්න සමත් වුණා.


1967 ජූනි මස 10 වනදා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම නිසා මෙම සටන් අතහැර සියළු පාර්ශවයන් සටන් විරාමයකට අවතීර්ණ වෙද්දී ගතවූ දින 06ක්, වෙනත් විදිහකට කියනවනම් පැය 132ක සටනකින් අරාබි ජාතිකයින් 20,000කට ආසන්න පිරිසකුත් ඊශ්‍රායල් ජාතිකයින් 800කුත් තම ජීවිත වලින් වන්දි ගෙවා තිබුණා. මේ යුද්ධයට පැටළුණ අරාබි රාජ්‍යයන් වල නායකයන් ඔවුන්ට මුහුණ දෙන්න වුණු මේ අනපේක්‍ෂිත සහ දැවැන්ත පරාජයෙන් අතිශය කම්පනයට සහ ලැජ්ජාවට පත්වුණ අතරම, ඊජිප්තු නායකයා වුණ ගමාල් අබ්දල් නසර් යුධ වැදීමට තමන් ගත්ත තීරණය සම්බන්ධයෙන් දැඩිව පසුතැවිලි වෙන බවක් පෙනෙන්නට තිබුණා.

ඊජිප්තු නායක ගමාල් අබ්දල් නසර්

එම නිසා ඊජිප්තු නායකයා සිය තනතුරෙන් ඉල්ලා අස්වූවත් එරට ජනයා වීදිවලට බැස එයට දැක්වූ දැඩි විරෝධය හමුවේ නැවතත් ඔහු බලයට පත් වනවා. ඊශ්‍රායල් දේශ සීමාවට ඊජිප්තු හමුදා මෙහෙයවන්නට ගනු ලැබූ තීන්දුවට හේතු වූ සිරියානු දේශ සීමා වෙතට ඊශ්‍රායල් හමුදා රැස් කරවන බවට වෙන සෝවියට් දේශයෙන් ලැබුණ තොරතුර සාවද්‍ය එකක් බවට දැනගන්නා විට සියලු විනාශයන් සිදු වෙලා හමාරයි.

ඊශ්‍රායල ජාතිකයන් සිය උත්කර්ශවත් ජයග්‍රහණය ජාතියක් වශයෙන් එකාවන්ව සැමරුවේ ඔවුන්ගේ මාතෘභූමිය පිළිබඳව වූ අප්‍රමාණ අභිමානයකින් බවත් කිවයුතුයි. ඊශ්‍රායල් ජාතිකයින්ගේ අධිෂ්ඨානශීලීත්වය​, උපක්‍රමශීලීභාවය සහ සටන්කාමීත්වය ලෝකයාට ප්‍රදර්ශණය කරමින් දින 06ක් තුල අවසන් වූ නිසා යුධ ඉතිහාසයේ සය දින යුද්ධය හෙවත් 06 Day War නමින් ප්‍රචලිත මෙම යුද්ධය මැදපෙරදිග මෙන්ම ලෝක භූ දේශපාලනයෙහි ද ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුමයි.

රාජ්‍යයක පැවැත්ම රඳා පවතින්නේ එහි නායකයින්ගේ ප්‍රඥාවන්තභාවයත් පුරවැසියන්ගේ නොසැලෙන අධිෂ්ඨානශීලීත්වයෙනුත් මිස විශාලත්වය හෝ භෞතික සම්පත් මත නොවන බව ඊශ්‍රායලය ලොවට කියාදුන් වටිනාම පාඩමයි.

ඉන්දු පැසිෆික් සහ චීන බල කඳවුරු වලට මැදිව භූ දේශපාලනික වශයෙන් අතරමංව සිටින ශ්‍රී ලංකාවට රාජ්‍යයක ස්වෛරීත්වය සහ අභිමානය පවත්වාගැනීම පිළිබඳ ඊශ්‍රායලයෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝ ය​.

Latest