Skip to content

AI නිසා නැතිවෙන ජොබ්ස්

සාමාන්‍යයෙන් විද්‍යාව, තාක්ෂණය, රට තොට පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයකුගේ මේ වන විට ප්‍රධාන මාතෘකාව වන්නේ AI නැතිනම් කෘතීම බුද්ධියයි. එම නිසාම මේ මහා පෙරළිය සම්බන්ධයෙන් getpeakonline අප වෙබ් අඩවිය තුළද  විටින් විට සාකච්ඡා කිරීමට අප උත්සාහ කළ අතර එහිදී විශේෂයෙන් චූටි මල්ලී සහ පොඩි මල්ලී මේ පිළිබඳව සිදුකරන ලද වැඩසටහනක් සම්බන්ධයෙන් ගෙන ආ ලිපිය තුළදී  මෙන්ම විනායක විසින් ලියන ලද ලිපියක් ඔස්සේ ද ආසන්නතම කාලය තුළදී AI සම්බන්ධයෙන් අප කරුණු ගෙන ආවෙමු.

අද ලිපිය ඔස්සේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ද එවැනිම කරුණකි. කෙසේ නමුත් AI හී පෙරළිකාර දියුණුව හේතුවෙන් මේ වන විට බොහෝ දෙනාට පවතින ගැටළුව වන්නේ " මේ නිසා අපේ ජොබ් වලට මොනව වෙයිද ?, ඉස්සරහට ජොබ් එකක් හොයාගන්න ලේසි වෙයිද ? AI නිසා නැතිවෙන ජොබ් මොනා ද? කොච්චර ඉගෙනගත්තත් මේ AI නිසා ඉගෙනගෙන වැඩක් තියෙයි ද? , එතකොට ඉස්සරහට අපි ඉගෙනගන්න ඕන මොන මොන දේවල් ද? " මේවා සියළු දෙනා අසන ප්‍රශ්නය.

ඉදිං මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා චුට්ටේ සහ පොඩ්ඩේ සිදුකරන ලද වැඩසටහන තුළින් අප කිසියම් ප්‍රවේශයක් ලබා ගත් අතර ඉන් තරමක් ඉදිරියට ගොස් විද්‍යාඥයකු සහ ජේෂ්ඨ කතිකාචාර්යවරයකු ද වන රුචිර විජේසේන මහතා මේ සම්බන්ධයෙන් ඉතාම හොඳ විග්‍රහක යෙදෙමින් සරලව මෙම ප්‍රශ්නවලට අපට පිළිතුරු ලබා දීම සිදු කරයි. විද්‍යාව, දර්ශනවාදය සහ ගණිතය තුළ ඇති මූලික සංකල්ප වඩාත් පැහැදිලිව සමාජ ගත කරමින් සබුද්ධික සමාජයක් ඇති කිරීමට උර දෙන එතුමන් AI නිසා නැතිවන ජොබ් මොනාද? මොන මොන ජොබ් වලට ද මෙහි බලපෑම ඇත්තේ යන්න පිළිබඳව පහදා දීමට ද අමතක කොට නැත.

ඉදිං සියළුදෙනා හටම මෙම ගැටළුව ඇති බැවින් එතුමන්ගේ අදහස් අනුව මෙම ගැටළු සඳහා පිළිතුරු ඔබ වෙත ද ගෙන ඒම වටී යැයි අප සිතුවේ මේ සම්බන්ධ සියළු ගෞරව රුචිර සර්ට පුද කරමිනි. මන්ද ඉදිරියේදී සිදුවීමට නියමිත මහා විප්ලවයට අප සූදානම් නොවුණහොත් සිදුවන්නේ එක තැන පල් වීමටය. එමෙන්ම ලෝකයේ මේ දක්වා පරිණාමය වූ ජීවීන් ඇතිනම් ඔවුන් ද වෙනස්වන පරිසරයට අනුව හැඩගැසුණු ජීවීන් ය. එසේ වෙනස්වන පරිසයට හැඩගැසීමට නොහැකි වූ ජීවීන්ට සිදුව ඇත්තේ මිහි මතින් වඳ වී යෑමටය.

ඔබ, මම, ඇතුළුව මේ ලෝකයේ සියළුම දෙනා සිදුකරන රැකියා අපට ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැකි අතර එහි පළමු වැන්න වන්නේ Routine jobs ය. නැතිනම් චර්යානුගත බව වැඩි රැකියා. එකම ක්‍රියාව දිගින් දිගටම සිදුකරන රැකියා මේ යටතට ගැනේ. උදාහරණ ලෙස දත්ත ඇතුල් කරන්නන් ( data entry ), කර්මාන්තශාලාවක යන්ත්‍ර ක්‍රියා කරවන්නන්, ලේබල් කරන්නන් සහ ඇසුරුම් කරන්නන් ආදිය ගත හැකිය. මොවුන් එක ක්‍රියාවක් දිනය පුරා සිදුකරමින් සිටින අතර නමුත් අදාළ ආයතනයේ වැඩකටයුතු බෙදා ඇති ආකාරය අනුව ඔවුන්ට වෙනත් වෙනත් කාර්යයන් සිදුකිරීම සිදුවිය හැකිය. කෙසේ වෙතත් ඔවුන් සාමාන්‍යයෙන් සිදුකරන්නේ එකම ක්‍රියාවක් දිගින් දිගටම සිදු කිරීමය.

දෙවැන්න වන්නේ Non routine jobs. එනම් එකම ක්‍රියාව දිගින් දිගටම සිදුකිරීමට නොමැති බුද්ධිය මෙහෙයවිය යුතු රැකියා මේ යනුවෙන් හැඳින් වේ. උදාහරණ ලෙස අපට විද්‍යාඥයෙක් ගත හැකිය. ඔහුට සිය පරිකල්පනය සෑම අවස්ථාවකදීම මෙහෙය වීමට සිදුවන අතර දිනෙන් දින ඔහුට අධ්‍යනය කිරීමට සිදුවන, විසඳීමට සිදුවන ප්‍රශ්න ද එකිනෙකට වෙනස් ය. ගුරුවරුන් ද මේ යටතට ගැනේ. ගුරුවරයෙක්ට දවසින් දවස ඉගැන්වීමට ඇති කාරණා වෙනස් ය. එමෙන්ම ඉගැන්විය යුතු ආකාරය සිතීමට ඔහුගේ පරිකල්පනය මෙහෙයවීමට ද සිදු වේ. කලාකරුවන්, විවිධ නිර්මාණකරුවන් අයත් වන්නේ ද මේ ගණයටයි.

තෙවැන්න වන්නේ Manual jobs. කායික බලය යොදා ගනිමින් සිදුකිරීමට සිදුවන රැකියා මේ යටතට ගැනේ. මේ යටතට ජල නල ශිල්පියෙක්, විදුලි කාර්මිකයෙක්, මේසන්වරයෙක්, කොණ්ඩා සැකසුම් ශිල්පියෙක්, වේශ නිරූපිකයෙක් ආදී රැකියා ගත හැකිය. ඔවුන්ට එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ඇත්තේ වෙනස් වෙනස් වූ වැඩකටයුතු ය.

අවසාන වර්ගය වන්නේ Cognative jobs. එනම් වැඩිපුර බුද්ධිය භාවිත කරමින් සිදුකරන රැකියා. මෙම රැකියාද චර්යානුගත බවකින් යුත් නමුත් බුද්ධිය මෙහෙයවිය යුතු රැකියාය. උදාහරණයක් ලෙස සිතුවහොත් බැංකු නිළධාරියකු හට ණය මුදලක් අනුමත කිරීමට සිදුවුනා යැයි සිතුවහොත් ඔහුට කිරීමට ඇත්තේ චර්යානුගත කාර්යයක්. නමුත් ඒ සඳහා බුද්ධිය මෙහෙය විය යුතුය. මේ ආකාරයකට ලෝකයේ රැකියා පොදුවේ මෙම කොටස් හතරට ඇතුලත් කළ හැකි අතර නමුත් මෙම කොටස්වලට ඇතුලත් කිරීමට අපහසු රැකියා ද ලෝකයේ තිබිය හැකිය. නමුත් මෙය සාමාන්‍යයෙන් ලෝකයේ බාවිතවන ආදර්ශයකි. Model එකකි.

එතකොට AI නිසා මෙම කොටස් හතරෙන් බලපෑමක් තියෙන්නෙ මොන රැකියාවලට ද?

අපිට වැදගත් වන්නේ එම ප්‍රශ්නයයි. පළමු වැන්න වන Routine jobs ගත් විට මේවා බොහොමයක් ස්වයංක්‍රීය කිරීමේ හැකියාව AI නිසා උදාවිය හැකිය. උදාහරණයක් ලෙස data entry රැකියාව ගත් විට දත්ත එක් තැනකින් තවත් තැනකට රැගෙන යෑම කෘතීම බුද්ධියට ඉතා පහසුවෙන් කළ හැකිය. දැනුදු ඒ සඳහා භාවිත වන්නේ පරිඝණක මෘදුකාංග වන බැවින් ඉදිරියේදී එම කටයුතු සියල්ල AI භාර ගැනීමට හැකියාව ඇත.

ඉතිං විද්වතුන් පවසන්නේ AI නිසා අධිකම බලපෑමක් ඇති වන්නේ මෙම Routine jobs වලට වන බවය. ගැටළුව ලෙස ඔවුන් තව දුරටත් දක්වන්නේ ලෝකයේ වැඩ කරන ජනතාවගෙන් බොහොමයක් සිටින්නේ මෙම කොටස මත වන බවය. එනම් ලෝකයේ බොහෝ පිරිසක් සිදු කරන්නේ මෙම Routine jobs ය.

එමෙන්ම Non Routine jobs වලට සහ Cognitive jobs වලට ද AI නිසා යම්කිසි බලපෑමක් ඇතිවිය හැකි බව විද්වතුන්ගේ මතයයි. නමුත් Routine jobs වල තරමටම නොවේ. කෘතීම බුද්ධිය යනු intelligence system එකක් බැවින් උදාහරණ ලෙස බැංකු නිළධාරියෙක් සිදුකරන ණය මුදලක් අනුමත කිරීම වැනි කටයුතු AI ට පහසුවෙන් කළ හැකිය. එමෙන්ම කලාකරුවකු ලෙස චිත්‍ර ශිල්පියකුගේ හැකියාව යම් ප්‍රමාණයකට හෝ කෘතීම බුද්ධියට ද ඇත. විද්‍යාඥයකු කිසියම් දත්‍ත ගොන්නක් දෙස බලා කරන නිගමනයන් කෘතීම බුද්ධියට ද සිදුකළ හැකිය.

පහත දැක්වෙන්නේ ලෝකයේ බොහෝ පිරිසකගේ අවධානය දිනාගත් සහ ඇමෙරිකාවේ පැවති චිත්‍ර තරඟයකින් ද ජයග්‍රහණය කරන ලද  AI මඟින් නිර්මාණය කරන ලද " අහස් මඩලට දොරටුවක්, door to space theater " නම් චිත්‍රයයි. AI ට චිත්‍ර ශිල්පියකුගේ කාර්යය ද කළ හැකි බවට එය හොඳ උදාහාරණයක් ලෙස දැක්විය හැකිය.

කෙසේ නමුත් විද්‍යාඥයින්, විද්වතුන පවසන්නේ කෘතීම බුද්ධියට මේ වන විට පවතින මට්ටමින් Non Routine manual jobs කිරීම අපහසු වන බවය.  අතින් වැඩකටයුතු සිදුකරන ශෛල්‍ය වෛද්‍යවරයකු උදාහරණයක් ලෙස ගතහොත් ඔහුට සිදු කිරීමට ඇති සැත්කම් එකකට එකක් වෙනස් ය. එහි චර්යානුගත බවක් නෑ. අතින් කරන්න ඕන සහ බුද්ධිය මෙහෙයවන්න ඕන. ඉදිං මෙවැනි කටයුතු AI හට දැනට පවතින මට්ටමින් සිදු කිරීම අපහසු බව විද්වතුන්ගේ මතයයි.

කෙසේ නමුත් මෙම කොටස් හතරම එකම රැකියාවක් අතුළත ද තිබෙන්නට පුළුවන. සමහරවිට එක් එක් විෂයන් උගන්වන ගුරුවරුන් හට මෙම කොටස හතරටම අදාළ කටයුතු කිරීමට සිදු වේ. ( රසායන විද්‍යා ගුරුවරයකුට වගේ ) සමහරවිට කොටස් හතරෙන් තුනක කාර්යයන් තම රැකියාව තුළ සිදුකිරීමට සිදුවන්නට පුළුවන. ඉදිං එවැනි අවස්ථාවලදී ඒවා සඳහා AI මැදිහත්වීම නිසා එක් එක් රැකියාවල role එක වෙනස් විය හැකි බව ද විද්වතුන්ගේ අදහසයි. උදාහරණ ලෙස රැකියාවක manual සහ cognative වැඩ දෙකම කිරීමට ඇතිනම් එම රැකියාවේ Cognitive කොටස AI ට පවරා අපට manual කොටස කිරීමට සිදුවිය හැකිය.

එතකොට AI වලට මුහුණදීමට අපි සූදානම් වෙන්නේ කොහොම ද? අපි අපේ රැකියාව සුරක්ෂිත කරගන්නේ කොහොමද ?

ඊ ළඟ වැදගත් ප්‍රශ්නයයි. මේ සම්බන්ධයෙන් මුහුණුපොතේ සටහනක් තමබමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රෝහණ මහාලියනාරච්චි මහතා ප්‍රකාශ කරන අදහස මේ මොහොතේ වටිනා බැවින් එය ඔබට ද දැක්වීම සුදුසු යැයි සිතුණි.

එතුමන් පවසන්නේ කෘතීම බුද්ධිය මේ වන විට ලෝකය පුරා පැතිරෙමින් මානව ඉතිහාසයේ විශාල විප්ලවයක් සිදුවෙමින් පවතින බවය. එමෙන්ම එයට සරිලන ලෙස අධ්‍යාපනයේ විශාල විප්ලවීය වෙනසක් සිදු නොවුනහොත් අනාගත මානව වර්ගයාට විශාල අර්බුධයකට ලක්වීමට සිදු විය හැකිය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිසුන්ගේ කටපාඩම් අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම මතක ශක්තිය මැන බැලීමේ විභාග ක්‍රමවේදයත් වහ වහා සංවර්ධනීය වෙනසකට භාජනය නොවුණහොත් බුද්ධිමත් සිසුන් යට ගොස් අබුද්ධිමත් සිසුන් ඉස්මතු විය හැකි බවත් එය දැනටමත් සිදුවෙමින් පවතින බවත් එතුමන් දක්වයි. එහිදී කෘතීම බුද්ධියට පරාද නොවන නිර්මාණශීලී විචාරාත්මක බුද්ධියෙන් යුත් පුදගලයින් බිහි කිරීමටනම් අධ්‍යාපනය ව්‍යුහයේ සහ නිදහස් චින්තනයේ මනා සමතුලිතතාවයකින් යුතු ක්‍රමවේදයක් අත්‍යාවශ්‍ය බවද එතුමා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිට ඇත.

කෙසේ නමුත් මේ AI හී දැඩි බලපෑමෙන් මිදීමට අපට කළ හැකි දිගුකාලීන වැඩපිළිවෙළකි. මේ ඔස්සේ ඉදිරි පරම්පරාවන් යම් පමණකට අපට AI සඳහා සූදානම් කළ හැකිය. එසේනම් කෙටි කාලීන වශයෙන් අපට කළ හැක්කේ කුමක් ද? එහිදී දිගින් දිගටම දිගින් දිගටම ඔබට මට තව බොහෝ දේ ඉගෙනීමට සිදුවනු ඇත.

උදාහරණයක් ලෙස ගුරුවරයෙකු ගතහොත් තව දුරටත් සාම්ප්‍රදායික ගුරුකම කිසිසේත්ම වලංගු නොවුණු ඇත. රුචිර සර් පවසන්නේ ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම අයකු මෙම AI භාවිත කරමින් වැඩකටයුතු සිදුකරගැනීමටත් එයට අනුගත වීමටත් කල් ඇතිව සූදානම් විය යුතු බව වන අතර එසේ නොමැතිනම් පද්ධතිය විසින් ඔවුන් අනිවාර්යයෙන්ම ඉවත් කර දමනු ඇති බවය.

ඊට අමතරව soft skils , නිර්මාණශීලී කුසලතා, කතා කිරීමේ, අදහස් පළකිරීමේ කුසලතා ද AI හී බලපෑමෙන් යම්තාක් දුරකට හෝ බේරී සිටීමට මිනිසුන්ට අවශ්‍ය වන බව විද්වතුන්ගේ අදහසයි. එසේ නොවුණහොත් රැකියා ස්ථානවලින් තමන්ට ඇති ඉල්ලුම නැතිව යෑම කිසිවෙකුටත් වැලැක්වීමටනම් නොහැකිවනු ඇත. මන්ද AI පවතින නිසා.

කෙසේ නමුත් කෘතීම බුද්ධිය නම් මේ මහා තාක්ෂණික නිමැවුමේ ගැටළු කිහිපයක් ද මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔබේ අවබෝධය පිණිස ඉන් කිහිපයක් සඳහන් කරන්නේ නම් AI මඟින් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් වගකීමක් ගන්නේ කව්ද යන්න ඇති එක් විශාල ගැටළුවකි. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් අප වාහනයක් පදවාගෙන යන විටදී කිසියම් අණතුරක් සිදුවුවහොත් එහි වගකීම අපට ගත හැක. නමුත් කෘතීම බුද්ධියෙන් ධාවනය වන වාහනයක් අණතුරට පත් වී අලාභ හානි වුවහොත් එහි වගකීම ගන්නේ කවුරුන් ද? නීතියෙන් නඩු දාන්නේ කාටද?

එමෙන්ම AI නිසා මිනිසුන්ගේ පුද්ගලිකත්වයට ද විශාල බලපෑමක් වන බවත් විද්වතුන් දක්වන අතර එම නිසා මින් ඉදිරියට මිනිසුන්ට පුද්ගලික ජීවිතයක් නොමැති වීමට ද ඉඩ ඇතැයි සැලකේ. මිනිසුන් සාමාන්‍යයෙන් සමාජයේ ක්‍රියා කරන විට ethics නැතිනම් සාර්ධර්ම මත පිහිටා ක්‍රියා කරන බැවින් සමාජයේ යහපැවැත්මට එයද හේතුවක් වන නමුත් AI, ethics මත පිහිටා ක්‍රියා නොකරන හෙයින් එයද විශාල ගැටළුවක් වෙතැයි විද්වතුන් මත පල කරයි.

ඉදිං මේ ආකාරයට AI සම්බන්ධයෙන් සැමටම ඇති එක් ප්‍රධාන ගැටළුවක් පිළිබඳව අපට රුචිර සර්ගේ අදහස් ඇසුරින් පිළිතුරක් ලබා දිය හැකිය. මෙය ප්‍රවේශයක් කරගනිමින් ඔබට මේ සම්බන්ධයෙන් තව දුරටත් අධ්‍යයනය කළ හැකි අතර එම අධ්‍යයනය අනාගත සුරක්ෂිතතාව සඳහා බොහෝ සෙයින් ඉවහල් වනු ඇති බව ද මට සිතේ.

Latest