''මේ ලෝකෙ හැම ආදර කතාවක්ම විවාහයකින් කෙළවර වුනානම් විරහ ගීත, බිඳුන ආදර කතා වගේ නිර්මාණ බිහිනොවෙන්න තිබුනා.''
පාසල් ප්‍රේමයක් තිබුන නැතත් පාසල් කාලය කියන්නෙ අපි ආදරෙන් මතක්කරන අතීතාවර්ජනයක්. ජීවිතේ අපට අතහැරුනු සමහර දේවල් තියනවා අහඹු ඉන්සිඩන්ඩ් වලින් ආපහු මතක්වෙන. සමහරවිට ඒ මතක්වීම් අනාගතේට කරන මතක ආයෝජනයක් වෙන්නත් පුලුවන්.
රාම් ජානුගෙන් ඉල්ලුවෙ එකම එක දෙයයි. ඒ යමුනා ගංගා ගීතය ගායනා කරන්න. හැබැයි ජානු ඒ සිංදුව නැතුව අනික් සේරම සිංඳු කියනවා. රාම් ඒවා රසවිඳිනවා. යමුනා ගඟ ජානු එයාගෙ හිත ඇතුලෙන් ගලන්න ඉඩ නොදුන්නට, රාම් ඒක පාර්ශවීයයි කියලා හිතලා මියදෙන්න ඇරලා හිටපු ආදරේට තෙමංසලේදි පණ දෙන්නෙත් ජානු.
"බඳින්නෙ නැත්ද? හැමදාම තනියම ජීවත්වෙන්න පුලුවන්ද? අපි මැරිච්ච දවසක කව්ද ඔයාව බලාගන්නෙ?" මේ වගේ සාම්ප්‍රදායික ප්‍රශ්න හින්දා ජානුගෙ ගෑණුකම ඉස්සරහට එනවා. ඉතිං ජානු බඳිනවා. ඒත් රාම් ජීවිතේ ගෙවපු ලෙන්ගතුම හැඟීම් හිතේ හිර කරන්, ජානු වෙනුවෙන් කුමර බඹසර රකිනවා.
"මං හැමතිස්සෙම ඔයා ලග හිටියා. ඔයාට ඕන උනේ දෙමළ ඉගෙන ගන්න. ඒත් තාත්තට ඕන නිසා ඔයා Computer Science කලා. ඔයා ජීවිතේටම සාරි ඇන්දෙ දෙසැරයයි. එකක් ග්‍රැජුවේශන් එකට. ඒක තද නිල් පාට සාරියක්. අනික.... අනික තද දම් පාට සාරියක්."
ජානුගේ ජීවිතේ සිදුවෙච්ච හැම සිදුවීමක්ම රාම් අතැඹුලක් වගේ දන්නවා. ඒ තමයි ආදරේ හැටි. ඒකපාර්ශ්විය ආදරයක් තරම් බලවත් දෙයක් මේ ලොකෙ තව කොහෙද? ආදරය කියන්නෙ යෞවනත්වය අවධියෙන් තබන අධිමාත්‍රික කොකේන් වගේ දෙයක්. පෙරළා කිසිවක් නොලැබෙන බව දැන දැනත් එකම හැඟීමක් මත්තෙ ජීවත්වෙන එක පිස්සුවක්. රාම්ගෙ ආදරය ජීවත්කරන්නෙත් අන්න ඒවගේ ඇබ්බැහියක්.
චිත්‍රපටියක අවසානය ප්‍රෙක්ෂකයා බලාපොරොත්තුවෙන විදිහටම වුනොත් ඒකෙ තියන රහ බාල වෙනවා.
" රාම් ඔයා පිටත්වුනාද? ගොඩක් දුර ගියාද?
ජානු...
මං තාම ඉන්නවා ඔයා මගෙන් වෙන්වුන තැනම"
ඉතින් ප්‍රේමය යනු පරිත්‍යාගයයි. ප්‍රේමය යනු මගහැරීමයි.
ඒ කිසිවක් නැතත් ආදරය කියන්නෙම බලාහිඳීමක්...

Premkumar Chandran අධ්‍යක්ෂණය කල 96 ත්‍රිෂා ක්‍රිෂ්ණන් සහ විජේ සේතුපති ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ කතා තේමාව, පාසලේ 1996 කණ්ඩායමේ හිටපු සිසුන් ඔවුන්ගේ උපාධිය ලබා වසර විසි දෙකකට පසුව නැවත එක්වන බැජ් පාටි එකක් අලලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
කතාවේ ප්ලොට් එක ගැන කියනවනම්, ප්‍රධාන පිරිමි චරිතය වන රාමචන්ද්‍රන් නැත්නම් රාම් කියන්නේ ඡායාරූප ශිල්පියෙක්. දවසක් ඔහු තම සිසුවියක් සමග ඔහුගේ උපන් ගම හරහා ගමනක් යද්දී ඔහු ඉගෙන ගත්ත පාසල දකිනවා. පැරණි නොස්ටලිජියානුමතක රැසකින් සිත පිරීයන රාම් හට ඔවුන්ගේ පාසල් WhatsApp කණ්ඩායම හරහා බැජ් පාටි එකක් සුදානම් කර ඇති බව ලැබෙනවා.
ප්‍රධාන කාන්තා චරිතය වන ජානකී හෙවත් ජානු මෙම පාටි එක සඳහා සිංගප්පුරුවේ සිට පැමිණෙන බව රාම් දැනගන්නවා. ඇය රාමගේ පාසල් කාලේ පෙම්වතියද වන නිසා රාම් ගේ තරමක දෙගිගිඩියාවකින් පසුවෙනවා. ජානු පැමිණීමෙන් පසු පාසල් කාලයේ නතරවුණු රාම් ජානු ආදරයට කුමක් වෙයිද? ඔවුන් දෙදෙනා නැවත එකතුවෙයිද කියලා දැනගන්නනම් 96 බලන්නම වෙනවා.

2018 ඔක්තෝම්බර් 4 වන දින ලොව පුරා නිකුත් කල මේ සිනමා නිර්මාණයේ තිර රචනය, අධ්‍යක්ෂණය, සංගීතය, කැමරාකරණය සහ සමස්ත කතාව පුරාවටම තිබෙන නොස්ටැල්ජික් පසුබිම මෙන්ම සේතුපති සහ ත්‍රිෂාගේ රංගනයන් ද පැසසුමට ලක් කරමින් මෙම චිත්‍රපටය බොහෝ විචාරක පැසසුම් වලට ලක් වී තිබෙනවා.
96 ආරම්භක දිනයේ දී, චිත්‍රපටය චෙන්නායි නගරයේ බොක්ස් ඔෆිස් හි රුපියල් ලක්ෂ 45ක් සහ ලොව පුරා චිත්‍රපටය රුපියල් කෝටි 3.5ක්, පළමු දින හතර ඇතුළත, චිත්‍රපටය චෙන්නායි වෙතින් රුපියල් කෝටි 2ක් උපයාගෙන , එම වසරේ වැඩිම ආදායමක් ඉපැයූ පස්වන දෙමළ චිත්‍රපට ලෙස සඳහන් වෙලා තියනවා. ඒ වගේම Imdb තුල 8.2/10ක රේටින් අගයක් ලබා තිබෙන මේ ආදරණිය සිනමා නිර්මාණය Ananda Vikatan Cinema Awards 2019, Asianet Film Awards 2019, Asiavision Awards 2019, Behindwoods Gold Medal 2019, Edison Awards 2019, Filmfare Awards South 2019, Norway Tamil Film Festival Awards 2019, South Indian International Movie Awards 2019, Vanitha Film Awards 2019 කියන සම්මාන උළෙල වල් වලදී හොඳම නළුවා/නිළිය, හොඳම සහය නළුවා/නිළිය, හොඳම සංගීත අධ්‍යක්ෂක, හොඳම අධ්‍යක්ෂක, හොඳම චිත්‍රපටය වැනි සම්මාන ගණනාවක් දිනාගෙන තියනවා.
තවද 96 කියන මේ ආදරණීය සිනමා නිර්මාණය වෙනුවෙන් Trisha තම සිනමා දිවිය තුල එක නිර්මාණයකට සම්මාන 11ක් ලබා ගැනීමද විශේෂයෙන් සඳහන් කල යුතුයි.

96 නරඹන්න පටන් ගත්තු පලවන විනාඩියේ ඉඳලා අපිට ඒ කතාව තුලින් ජිවිතේ සුන්දරම අවදියක් වුනු පාසල් කාලයේ නොස්ටල්ජියානු මතක රැසක් අවදි කරගන්න පුළුවන්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා තවමත් බැලුවේ නැත්තම් මේ 96 කියනා සිනමා නිර්මාණය රසවිඳින්න කියලා.