Skip to content

සුබසාධන ණය සහ ව්‍යාපෘති ණය

විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී ජවිපෙ සම්බන්ධ කර ගන්නවා. දැන් අලුතෙන්ම, IMF වැඩපිළිවෙළ ගැන කතා කරද්දී රනිල්ව සම්බන්ධ කර ගන්නවා. ප්‍රස්තුත ප්‍රතිපත්ති වලට හා පුද්ගලයින්ට කැමති අය වගේම විරුද්ධ අයත් ඔය වැඩේ කරනවා. එය එසේ කරන අයගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙයි.

මෙසේ බොහෝ දෙනෙකු විසින් ආර්ථික ප්‍රතිපත්ති හා අනන්‍ය ලෙස දකින්නට පුරුදු වී සිටින පුද්ගලයින් හෝ පක්ෂ විසින් එම ප්‍රතිපත්ති වෙනස් කරන අවස්ථා වලදී එසේ දකින අය අමාරුවේ වැටෙනවා. එවැනි අයගේ ගැලවිල්ලට "ලෝක තත්ත්වය අනුව වෙනස් වීම", "ප්‍රායෝගිකවාදය", "මහ පොළොවේ යථාර්තය" වැනි ආවරණද තිබෙනවා.

විවෘත ආර්ථිකය කියන එක ජේආර් හොයාගත් දෙයක් නෙමෙයි. ලංකාව නිදහස ලබන විට ලංකාවේ කාලයක් තිස්සේ පැවති නිදහස් ආර්ථිකයක් තිබුණා. ආනයන අපනයන කරන්න වගේම ආයෝජන කරන්නත් බාධාවක් තිබුණේ නැහැ. රටට විදේශ විණිමය ප්‍රශ්නයක් තිබුණේත් නැහැ. නිදහසින් පසුව වසර අටක පමණ කාලයක් යන තුරුද මේ තත්ත්වය ලොකුවට වෙනස් වුනේ නැහැ. ආර්ථිකය සංවෘත වෙන්න පටන් ගත්තේ ආසන්න වශයෙන් 1956 වසරේ සිටයි.

ලංකාව සමාජවාදය පැත්තට බරවීම, ව්‍යාපාර රජයසතු කිරීම ආදිය එක්ක රටට එන ආයෝජන නැවතුණා. තිබුණු ආයෝජනත් රටෙන් එළියට යන්න පටන් ගත්තා. මෙය රටේ ගෙවුම් ශේෂ තුලනය කෙරෙහි නරක ලෙස බලපෑවා.

ජේආර් ජයවර්ධන සහ මුල්කාලීන එජාප ආණ්ඩු ව්‍යාපාර රජයසතු කිරීම ඇතුළු අනෙකුත් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් හෝ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේ නැතත්, සමාජවාදයට බර වූ ශ්‍රීලනිප සභාග ආණ්ඩු මෙන්ම, විශාල රාජ්‍ය මැදිහත්වීම් විශ්වාස කළා. තුලිත රාජ්‍ය අයවැයක් පිළිබඳව විශ්වාස කළේ නැහැ. නිදහස ලබන්නට ආසන්නව, 1947දී ජේආර් ජයවර්ධන මුදල් ඇමති වූ කාලයේ සිටම, ලංකා රජය විසින් දිගින් දිගටම අය ඉක්මවා වැය කරන්නට පටන් ගත්තා.

විණිමය අනුපාතය ස්ථිරව තියාගෙන රජය විසින් ආදායම ඉක්මවා වියදම් කරද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට සිදු වෙනවා. නිදහසට පෙර විශාල කාලයක් විණිමය අනුපාතය නොවෙනස්ව තබා ගත හැකි වූයේ එම කාලයේ රාජ්‍ය අයවැය තුලනය කරගත් නිසයි. සිංගප්පූරුව වැනි රටවල මුදල් ඒකකය එන්න එන්නම ශක්තිමත් වෙන්නේ සිංගප්පූරු රජය විසින් දිගින් දිගටම අයවැය අතිරික්තයක් පවත්වා ගන්නා නිසයි.

වසර පහෙන් පහට ආණ්ඩු මාරු වෙද්දී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියෙහිද විශාල දෝලනය වීම් දැකිය හැකි වුවත්, ඇතැම් දේවල් ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වී නැහැ. ශ්‍රීලනිප ආණ්ඩු මෙන්ම එජාප ආණ්ඩුද විශ්වාස කළේ රජය ණය වී ප්‍රාග්ධන ආයෝජන කිරීමේ වැරැද්දක් නැති බවයි. ඒ, ණය වල තරමට රට තුළ වත්කම් හැදෙන නිසයි. මුල් කාලීන ආණ්ඩු විසින් බොහෝ විට උත්සාහ කර තිබෙන්නේ රාජ්‍ය ආදායම් හා වර්තන වියදම් තුලනය කර ගනිමින් ප්‍රාග්ධන වියදම් සඳහා ණය ලබා ගන්නයි.

ලංකාවේ ලොකුම රාජ්‍ය ආයෝජනය සේ සැලකිය හැකි මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කෙරුණේ සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ. මුලින් සැලසුම් කර තිබුණේ මෙම ව්‍යාපෘතිය වසර 30කින් අවසන් කිරීමටයි. ආණ්ඩුව වෙනස් වූ පසු ජේආර් ජයවර්ධන මේ ව්‍යාපෘතිය අතහැර දැම්මේ නැහැ. ඒ වෙනුවට කළේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ලෙස නම් කර මෙම ව්‍යාපෘතිය වඩා ඉක්මණින් අවසන් කරන එකයි.

දේශීය වෙළඳපොළ ඉලක්ක කිරීම හා ආනයන ආදේශනය සම්බන්ධව එකම අදහසක නොසිටියත්, කාර්මීකරණයේ වැදගත්කම පිළිබඳවද එජාප හා ශ්‍රීලනිප ආණ්ඩු අතර එකඟතාවයක් තිබුණා. ලංකා ටයර් සංස්ථාව, ලංකා වානේ සංස්ථාව ආදිය හැදුනේ ජේආර් ජයවර්ධන රාජ්‍ය ඇමතිව සිටි ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලයේදීයි. හැමවිටම මෙන්, පක්ෂ භේදයක් නොමැතිව, ලංකාවේ මුල්කාලීන ආණ්ඩුවල අදහස වූයේ රජය ණය වී ප්‍රාග්ධන ආයෝජන කිරීමේ වරදක් නැති බවයි.

රජය ණය වීම සමාජවාදී අදහසක් නෙමෙයි. එහෙත් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම සමාජවාදී අදහසක්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුළ අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. සුබසාධනය කළ යුතු අඩුආදායම්ලාභීන් කියා කොටසක් හඳුනාගත හැකි වන්නේම ධනවාදී ක්‍රමයක් තුළයි. අඩු ආදායම්ලාභීන් සුබසාධනය ධනවාදී ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වන සමාජවාදී අදහසක්. මෙය ලෝකයේ හැම රටකම මෙන් යම් තරමකින් හෝ සිදුවන දෙයක්. ඒ වගේම, සමාජවාදී අදහසක් වීමට බොහෝ පෙර සිටම පැවති විශ්වීය අදහසක්.

රජයකට තිරසාර ලෙස අඩු ආදායම්ලාභීන් සුබසාධනය කළ හැක්කේ ඉහළ ආදායම්ලාභීන්ගේ වියදමෙන් පමණයි. ඒ සඳහා ඉහළ ආදායම්ලාභීන් මත වැඩි බදුබරක් පනවන්නට වෙනවා. සුබසාධනය ජනප්‍රිය දෙයක් වුවත් බදු අය කිරීම ජනප්‍රිය නැහැ. සර්වජන ඡන්ද ක්‍රමයක් තුළ බලයට පත් විය හැක්කේ ජනප්‍රිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කණ්ඩායමකටයි.

ඉහත හේතු නිසා, ලංකාවේ සමාජවාදයට නැඹුරු වූ ආණ්ඩු බදු ගහන්න බය වුනා. වෙළඳපොළ විශ්වාස කළ ආණ්ඩු සුබසාධන වියදම් කපන්න බය වුනා. බදු ගහන්න බය නොවූ සමාජවාදයට නැඹුරු වූ ආණ්ඩු වලට පවා සුබසාධන වියදම් වල බර දරාගත හැකි තරම් බදු අය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ තරමට බදු ගහන්නනම් ධනවතුන් හා ආදායම් උපයන්නන් ප්‍රමාණවත් තරම් රටේ සිටිය යුතුයි. අවසාන වශයෙන් එජාප ආණ්ඩු වගේම ශ්‍රීලනිප ආණ්ඩු විසින්ද කළේ ණය වෙමින් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමයි. මා දන්නා තරමින් මුල් කාලයේදී මේ ක්‍රමයට විරුද්ධව හඬක් නගා ඇති කණ්ඩායමක් නැති තරම්.

රජය ආදායම් ඉක්මවා වියදම් කිරීම නිසා ඇති විය හැකි ප්‍රශ්න පිළිබඳව මහ බැංකුව විසින් එම ආයතනය පිහිටවූ මුල්  වසරේදීම පෙන්වා දී අවවාද කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිගින් දිගටම පෙන්වා දී තිබෙනවා. වෙනත් විශේෂඥයින් විසින්ද වරින් වර පෙන්වා දී තිබෙනවා. එහෙත් මේ අදහස් වලට කිසිදු ජන පදනමක් තිබී නැහැ. රජය විසින් ණය වෙමින් සුබසාධනය කිරීම ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය වූ දෙයයි. එය වඩා හොඳින් කරන කණ්ඩායමට හැම විටම ලංකාවේ ආණ්ඩු බලය ලැබුණා.

හැත්තෑ හතෙන් පසුව රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමක් වහාම සිදුවුණේ නැහැ. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගණනාවක බර තවදුරටත් දිගින් දිගටම රාජ්‍ය ණය බරට එකතු වුනා. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය ලොකුවටම සිදු වුනේ 1990 දශකය තුළයි.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා රජයේ ණය බර ඉහළ යද්දී රාජ්‍ය ආයෝජන ඉහළ යාම නිසා ව්‍යාපෘති ණය විශාල ලෙස ඉහළ ගියා. මීට අමතරව පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කර අඩු මිලට හෝ නොමිලේ ලබා දීම සඳහා ලබාගත් ද්‍රව්‍ය ණය තව දුරටත් දිගින් දිගටම ලබා ගැනීම නිසා එම ණයද ණය බරට එකතු වුනා.

මේ ද්‍රව්‍ය ණය සඳහා එක් උදාහරණයක් ලෙස ඇමරිකාවෙන් කාලයක් තිස්සේ ලබාගත් PL 480 ණය පෙන්වා දිය හැකියි. මෙම සහන ණය ක්‍රමය යටතේ ලංකාව 1956 සිට 1990 පමණ දක්වාම ආහාර ආනයනය කළා. ඇතැම් වසර වල සහල් සහ ඉරිඟුද ආනයනය කර ඇතත් වැඩිපුරම ආනයනය කළේ තිරිඟු පිටි. 1980දී ත්‍රිකුණාමලයේ ප්‍රීමා කම්හල පිහිටවීමෙන් පසුවනම් තිරිඟු.

හැත්තෑ හත වන තුරු ලංකාවේ සියල්ලන්ටම මෙන් නොමිලේ සහල් ඇතුලු ආහාර සහනාධාර ලැබුණා. නොමිලේ සහල් නොලැබුනේ ඉහළම ආදායම් ලැබූ, රජයට ආදායම් බදු ගෙවූ, 5%කට පමණයි. මෙම ආහාර සහනාධාර ලබා ගැනීම පිණිස රජයෙන් "හාල්පොතක්" ලබා දුන්නා. හැත්තෑ හතෙන් පසුව රටේ ඉහළ ආදායම් ලබන 50%ට හාල්පොත නැති වුනා. ඉන්පසුව, සෑහෙන කාලයක් යන තුරුම, එජාප විරෝධී කඳවුරේ සිටි ශ්‍රීලනිප හා අනෙකුත් වාමාංශික පක්ෂ වල ප්‍රධානම සටන් පාඨයක් වූයේ එජාප ආණ්ඩුව විසින් හාල්පොත නැති කිරීමයි. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයාගේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් වූයේත් හාල්පොත නැවත දෙනවා කියන එකයි.

සියල්ලන්ටම හාල්පොත නැති වුනත් අඩුආදායම්ලාභීන්ට තව දුරටත් හාල්පොත ලැබුණා. පසුව හාල්පොත වෙනුවට ආහාර මුද්දර (හා භූමිතෙල් මුද්දර) ක්‍රමය ආවා. ආහාර මුද්දර ජනසවිය වී ජනසවිය සමෘද්ධි වුනේ ඊටත් පසුවයි. ආහාර මුද්දර ලැබුණු අයට නොමිලයේ ආහාර ලැබුණා. මෙසේ නොමිලයේ ලබාගත හැකි වූ ආහාර අතර PL 480 යෝජනා ක්‍රමය යටතේ ණයට ගත් තිරිඟු පිටිද තිබුණා. අදාළ යෝජනා ක්‍රමය යටතේ ණය ආපසු ගෙවීම සඳහා වසර හතක පමා කාලයකින් පසුව වසර තිහක කාලයක් ලැබුණා. ඇතැම් විට මේ ණය මේ වන විටද ගෙවා අවසන්ව නැතිවා විය හැකියි. ගෙවා ඇත්නම් ඒ ණය ගෙවීම සඳහා ගත් ණය ස්වෛරිත්ව බැඳුම්කර වැනි වෙනත් ණයක් බවට පත් වී ඇති. 1956 වසරේ සිට එක දිගටම ඇමරිකාවෙන් ලබාගත් PL 480 ණය (වන්දි නොගෙවා ඇමරිකානු තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව පැවති කෙටි වාරණ කාලයකදී හැර) ලංකාව විසින් ලෝකයේ ධනවාදී හා සමාජවාදී කඳවුරු වල රටවල් ගණනාවකින් ලබාගත් ද්‍රව්‍ය ණය සඳහා එක් උදාහරණයක් පමණයි.

රාජ්‍ය ව්‍යවසාය ලෙස අද බොහෝ දෙනෙකු විසින් හඳුනාගන්නා ආයතන බොහොමයක් 1970-77 කාලයේ හදපුවා නෙමෙයි. මෙම ආයතන බොහොමයක් 1970 වන විටද ක්‍රියාත්මකව තිබුණා. ඒ වගේම, 1977දී මෙම රාජ්‍ය ව්‍යවසාය වසා දැම්මෙත් නැහැ. දේශීය වෙළඳපොළ පමණක් ඉලක්ක කළ, රාජ්‍ය ආයෝජන මත පමණක් විශ්වාසය තැබූ සංවර්ධන උපාය මාර්ගය නිසා 1970-77 කාලයේ රජයට විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනා. ඒ කාලයේ කළ බොහොමයක් දේවල් පැවති තත්ත්වය තුළ වෙන කළ හැකි දෙයක් නැති කමට කළ දේ මිස රටේ දිගුකාලීන යහපත තකා කළ දේවල් නෙමෙයි. මේක 2021දී ලංකාව ණය ආපසු ගෙවා ණය අඩු කරගත්තා කියනවා වගේ කතාවක්.

පැවති තත්ත්වයෙන් දිගුකාලීනව ගොඩ යාම සඳහා පෞද්ගලික විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීමට සමගි පෙරමුණු ආණ්ඩුවටත් අවශ්‍ය වුනා. නමුත් ඊට පෙර කාලයක් තිස්සේ පෞද්ගලික දේපොළ වන්දි නොගෙවා පැහැර ගෙන තිබීම නිසා විදේශ ආයෝජකයින්ට රට තුළ ආයෝජන කිරීමට බියක් තිබුණා. එම බිය නැති කළ හැකිව තිබුණේ අවශ්‍ය නීතිමය වෙනස්කම් සිදු කර, නැවත ආයෝජන රජයට පවරා නොගන්නා බවට රජය විසින් ලබාදෙන සහතිකයක් මගින් පමණයි.

රජය විසින් එවැනි සහතිකයක් ලබා දී විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට සමගි පෙරමුණු ආණ්ඩුවටම අවශ්‍ය වූවත්, ආණ්ඩුව තුළ වූ කඹ ඇදිල්ල නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකි වූයේ නැහැ. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර, අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා සහිතව 1972දී ඉදිරිපත් කළ විදේශ ආයෝජන ධවල පත්‍රිකාව සභාග ආණ්ඩුව තුළ සිටි වාමාංශික පක්ෂ විසින් ඔවුන්ගේ වෘත්තීය සමිති වලද උදවුවෙන් පරාජය කළ නිසා එම යෝජනා නීතියක් බවට පත් වූයේ නැහැ.

අවසාන වශයෙන් විදේශ ආයෝජකයින්ට මේ සහතිකය ලැබුණේ ආණ්ඩුව මාරු වීමෙන් පසුවයි. ප්‍රීමා කම්හල වැනි ඒ කාලයේ ලෝකයේ විශාලතම කම්හල් ලංකාවේ ඉදි වුනේ මෙම සහතිකය රජයෙන් ලැබීමෙන් පසුවයි. ඉන්පසුව දිගින් දිගටම රටට විදේශ ආයෝජන ගලා ආවා. විදේශ විණිමය හිඟයද නැති වුනා. නමුත්, රාජ්‍ය අයවැය හිඟය තවදුරටත් පුළුල් වීම සහ එය පියවීමට ණය ගැනීම නිසා රාජ්‍ය ණය අර්බුදය විසඳෙනවා වෙනුවට වඩා දරුණු අදියරකට ගමන් කළා. අද තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය 1956-65 කාලයේදී නිර්මාණය වී 2010-2015 කාලය තුළ උග්‍ර වූ අර්බුදයක්. එහෙත්, අද තිබෙන රාජ්‍ය ණය අර්බුදය බොහෝ දුරට 1977-1989 කාලයේ නිර්මාණය වූ අර්බුදයක්. අද රාජ්‍ය ණය බරින් තුනෙන් පංගුවක් පමණ එම කාලයේ ලබාගත් ණයයි.

රජය ණය වී මහවැලි ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ මුදල් වලින් රටට ප්‍රතිලාභ අත් වී තිබෙනවා විය හැකියි. එදා මෙන් දැන් ලංකාව සහල් ආනයනය කරන්නේ නැහැ. ඒ වගේම දැන් ලංකාවේ හැම නිවසකම මෙන් විදුලි බලය තිබෙනවා. එහෙත්, රජය මුදල් ආයෝජනය කිරීම නිසා රටට වන වාසියක් රජයට වාසියක් වන්නේ මුල් ආයෝජනය බදු ආදායම් ලෙස රජයට ආපසු ලැබෙන්නේනම් පමණයි. බදු ආදායම් ලෙස මුල් ආයෝජනය හා පොලිය නැවත රජයට නොලැබෙන තාක් ව්‍යාපෘතියක් පාඩු ලබන ව්‍යාපෘතියක්.

හැත්තෑ හතෙන් පසු ලංකාවේ ආර්ථිකයේ ඇතැම් අංශ නැවත විවෘත කරනු ලැබීම නිසා රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ ගියා. කාර්මික නිෂ්පාදිතය ඇතුළුව නිෂ්පාදිතයද ඉහළ ගියා. නමුත් 1991දී මේ දේවල් කළ ඉන්දියාව මෙන් ලංකාව මීට සමාන්තරව ණය තිරසාරත්වය ගැන සැලකිලිමත් වූයේ නැහැ. හැත්තෑ හතෙන් පසුව සිදු වුනේ රජය තවත් විශාල වීමයි. 1976දී දදේනියෙන් 28.6%ක් වූ රාජ්‍ය වියදම් 1980දී 42.7% දක්වා ඉහළ ගියා. අයවැය හිඟය 8.4% සිට 19.2% දක්වා ඉහළ ගියා.

මේ කාලයේදී අද මෙන් පොලී වියදම් රාජ්‍ය වියදම් වල විශාල කොටසක් වී තිබුණේ නැහැ. මේ වියදම් බොහෝ දුරට අදාළ වර්ෂයේ වියදම්. 1980 වසරේදී පොලී වියදම් හැර රාජ්‍ය වියදම දදේනියෙන් 35.2%ක්. ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 15.8%ක්. සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආණ්ඩු මෙන්ම, රජය විශාල කිරීම මගින් 1977දී බලයට පත් වූ ආණ්ඩුවද වත්මන් ආර්ථික අර්බුදයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

අඩුආදායම්ලාභීන් සුබසාධනය කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, රජයකට අඩුආදායම්ලාභීන් සුබසාධනය කළ හැක්කේ ඒ සඳහා දායක වන පිරිසක් සිටීනම් පමණයි. ණයවෙමින්  සුබසාධනය කිරීම අවසාන වශයෙන් කෙළවර වන්නේ ඛේදවාචකයකින්.

- ඉකොනොමැට්ටා

Latest