Skip to content

ඉහළ පෙළේ රැකියාවක්, සතුටුදායක පවුල් ජීවිතයක් ගෙවමින් සුවපහසු කලාපයක වෙසෙන ඔබගේ ජීවිතය රිය අනතුරක් නිසා සම්පූර්ණයෙන්ම අවුල් සහගත වී ගියහොත් ඔබට දැනෙන හැගීම කෙබඳු වේවිද​? මම මේ ගෙන එන සිනමා පටයේ සිදුවීම් පෙරළිය වන්නේ අනතුරක් නිසා විතැන් වීමක් සම්බන්ධව නම් නොවේ. අවධානය මොහොතක එහා මෙහා වීමකින් මාර්ග සංඥා රතු එළිය තුල නවත්වා ගත යුතුව තිබූ වාහනය මංසන්ධියක ඉදිරියට ධාවනය වීමත්, එනයින් අනෙක් පසින් පැමිණි වාහනය හා අනතුරට ලක්වී තම හොඳම මිතුරාගේ ජීවිතය අහිමි කිරීම​ත් යන​ වරදට සිරගත වීමට සිදුවන​ Jacob ගේ දෛවෝපගත ඉරණම පිළිබඳවය​..

මාර්ග සංඥා නොතකා නොසැළකිලිමත් අන්දමින් රිය ධාවනය හේතුවෙන් එක් මරණයකුත්, අනෙක් පසින් වාහනයේ පැමිණි රියදුරාට සිදුවූ බරපතල තුවාල හේතුවෙනුත් මාස 16ක කාල සීමාවකට බන්ධනාගාර ගත වන ජේකොබ් ගේ තැතිගැන්ම ඇතිවන්නේ ඔහු ඒ තුළ ගෙවන​ පළමු රාත්‍රියේදීමය​. බියෙන් කඳුලු සළමින් පැමිණෙන එක්තරා සිරකරුවෙකු උදෑසන වන විට අපයෝජනයටත් පහර කෑමටත් ලක්වී ඇති අයුරු දකින ජේකොබ් තරයේ අධිෂ්ඨාන කරගනු ලබන්නේ තමාට එවන් තත්වයක් ඇති නොවීමට නම් බලවත් මිතුරන් පිරිසක් තමා වටා ගොඩනගා ගත යුතු බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එවන් ප්‍රබල කණ්ඩායමකට තම ශරීර අවයවයක් තුල සගවා මත්ද්‍රව්‍ය යොමුකිරීම තුලින් "Money" යන අන්වර්ථ නාමයෙන් තමාව හැඳින ගැනීමටත් යම් ගෞරවයක් දිනා ගැනීමටත් ඔහු සමත් වේ.

වර්ණ භේදය නිසා කල්ලි දෙකකට වෙන්වී එළිමහන් සීමාවේ කල් ගෙවමින් සිටින රැඳවියන්ගෙන් මුල්ම ප්‍රහාරය කලු රැඳවියන්ට එදිරිව දියත් කිරීමට සුදු පිරිස කලක පටන් සැලසුම් කරයි. (White Pride වදන සහිත​ Jacob ගේ ටැටූව එහි අතුරු මුහුණතකි) පිහි ලෙස නිර්මාණය කරගත් උල් කරන ලද දත් බුරුසු, කුඩා යකඩ තල වලින් සාදාගත් ආයුධ වලින් කෙමෙන් කෙමෙන් සන්නන්ධ වන පිරිස එක් වරම නොසිතූ ආකාරයෙන් කලු ජාතිකයන්ට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරයි. මෙම ප්‍රහාරයේ එක් නියමු කල්ලියක ඒ වන විටත් සාමාජිකයෙක්ව සිටින Jacob හට සිය බිරිඳ සහ දරුවා වෙතට නිදහස ලබා එකතු වීමට තිබූ අවස්ථාව ඇහිරී යන්නේ පුද්ගලයෙකුට ඔහු විසින් මුවහත් ආයුධයකින් පහරදී ඝාතනය කරනු ලබන​ දර්ශණ ආරක්‍ෂිත කැමරාවක සටහන් වී තිබීම හේතුවෙනුයි. තවත් වසර 09ක කාලයකට සිර දඩුවම් දීර්ඝ වන ජේකොබ් ගේ සමාජගතවීම අවුරුදු 10කින් පසුව සිදු වන්නේ කිසිලෙසකින් වත් පැරණි පුද්ගලයා වශයෙන් නොවේ. ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් එම කල්ලි සමාජය තුළ තම අනන්‍යතාවය ගොඩනගාගනිමින් අතීතයත් වර්තමානයත් අතර සිරවන මේ මිනිසාගේ චරිතයට පණ පොවනුයේ ගෙම් ඔෆ් ත්‍රෝන්ස් හරහා අප වඩාත් හොඳින් දැන හඳුනාගත් Jaime Lannister නොහොත් Nikolaj Coster-Waldau ය​.

තිර රචනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද නිර්මාණය සඳහා දායක වන Ric Roman Waugh විසින් අපරාධමය ජීවිතය තුළ සාමාන්‍ය දිවි පෙවතක් සඳහා නැවත හැරීමක් නැත්තේ ඇයිද යන්න වඩාත් සියුම්ව කරුණු සහිතව පෙළගස්වා තිබේ. තමාට ඉහළින් එන අණ ක්‍රියාත්මක නොකළහොත් මේ කිසිවකට සම්බන්ධකම් නොපාන තම බිරිඳටත් දරුවාටත් ජීවිතයෙන් වුවද වන්දි ගෙවීමක් අත්විය හැකි බව ජේකොබ් හොඳින් දනී. නැවත තම පවුලට එක්වී සුපුරුදු දිවිය ගත කිරීමට පැමිණෙන ලෙසට ආරාධනා කරන තම නව යොවුන් වියේ දරුවාට පියෙක් වශයෙන් මේ සියල්ල ඔහුට පැවසිය හැකි ද​? සිදු කිරීමට ඉතිරිව ඇති එකම දෙය නම් තම පවුලට හානිදායක වන පුද්ගලයන් සීමාවෙන් ඉවත් කර තමා ඉහළට නැගීම පමණක්ම බව ජේකොබ් අවසන පසක් කර ගනී.

IMDB ශ්‍රේණිගත කිරීම්හි අනූ දෙදහසක පමණ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අතුරින් 7.3/10 අගයකුත් TOMATOMETER අනුව 70%ක් වැනි ඉහළ අගයකත් රැඳී සිටීමට Shot Caller සමත් වී තිබේ. සමාජමය කාරණාවන් පිළිබඳව හුදු සාකච්ඡාවකට යොමු වනවා නම් සිරගත වන පිරිස් නැවත සමාජගත වීමේදී ශිෂ්ඨ යැයි සම්මත රාමුවේ සිට ක්‍රියා කරන සම්භාවිතාව ඉතාම අවමය​. දියුණු රටවල යම් සාධනීය මට්ටමේ පුනරුත්ථාපන ක්‍රමවේද ඇතත් අප වැනි ආර්ථිකමය සහ සාමාජයීය වශයෙන් ද පසුගාමී රටවල බොහෝවිට සිදු වන්නේ වරදක් සිදු කල තැනැත්තා නිවැරදි මිනිසෙකු ලෙස සමාජ ගත වීමට උත්සාහ කලත් එය අහුරා දැමීමය​. හැත්තෑ දශකයෙන් පසු ලාංකේය ඉතිහාසය යම් පමණකින් හෝ සොයා බැලුවහොත් දේශපාලන ආශිර්වාදය තුලින් පාතාලය ආගමනයත් ඒ හරහා අහිමි වූ ජීවිත, පාතාලයට ඇද වට්ටව​න ලද ජීවිත, ප්‍රමාණයෙන් ගැණිය නොහැකි තරම් ය​.

සිනමා පටය වෙතට නැවත යොමු වූවොත් Austin සිනමා උළෙලේ නිර්දේශයට ද පාත්‍ර වී ඇති Shot Caller, Crime / Thriller වර්ගීකරණයට අයත් වේ. අපරාධ කල්ලි කණ්ඩායම් තුල ඇති ඇතුලාන්තය, පොලීසියේ මැදිහත්වීම සහ​ මත්ද්‍රව්‍ය මෙන්ම​ අවි ආයුධ ජාවාරම් මෙහෙයවන ආකාරය වැනි කාරණා පිළිබඳ නිර්මාණමය අයුරින් දැනගැනීමේ උනන්දුවකින් පෙළෙන ඔබට​ Shot Caller යනු මග නොහැරිය යුතු සිනමා පටයකි. රංගණ දායකත්වය අතින් Jon Bernthal ෂොට් ගන් අන්වර්ථයෙන් ද, Evan Jones චොපර් ලෙසින් ද,​ ජේකොබ් ගේ බිරිඳ වශයෙන් Lake Bell සහ පොලිස් නිලධරයාගේ චරිතයට Omari Hardwick විසින් ද​ ප්‍රධානම චරිත ආවරණය කරමින් සිය දායකත්වයන් ලබා දෙයි.

ජේකොබ් වැන්නවුන්ට සිවිල් සමාජයෙන් පරිභාහිරව සිය ජීවිතයේ ඉතිරි කාලය පුරාවටමත් සිරගතව සිටීමම​ තෝරා ගැනීමට වන්නේ ඇයි ද යන ප්‍රශ්ණයට පිළිතුරු මෙම නිර්මාණය හරහා ඔබට සොයා සපයා ගත හැකි වනු ඇත​.

එසේනම් නැවත හමුවෙමු! ඔබට සුභ දවසක්!

Latest