Skip to content

පරිස්සමින් ! වසසක ඇත්තෝ රවටන කල්ලියක් කෑගල්ලේ..

ප්‍රවේසම් වන්න

සිද්ධිය 1

කෑගල්ල මහ රෝහලේ සායනයකට පැමිණි වයෝවෘද්ධ මවක් වෙත රෝහල් සේවකයෙකුට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙකු පැමිණ,  තමා ඇයගේ පුතාගේ හොඳ යහලුවෙකු බව පවසා ඇය මෙහි පැමිණියේ ඇයි දැයි අසා ඇත. සායනයට පැමිණි බව පැවසූ පසු ඇයගේ සායන පොත බලා ඇයට එක්රේ පරීක්ෂණයක් කිරීමට ඇති බැවින් ඇය සතු සියලු ආභරණ ගලවා බෑගයට දමා ගන්න ලෙස පවසා ඇත.  ඇය ආභරණ ගලවා බෑගයට දැමූ පසු ඇයව එක්⁣ස්රේ කාමරය අසලට රැගෙන ගොස් ඇත. පසුව, මුත්‍රා සාම්පලයක් අවශ්‍ය බැවින් එය ගෙන එන ලෙසත් ඇය එනතුරු ඇයගේ බෑගය බලා ගැනීමටත් පොරොන්දු වී ඇත. ඇය ආපසු එනවිට ඇය සතු සියල්ල හා ඇය⁣ගේ පුත්‍රයාගේ අදිසි මිතුරා ද අතුරුදහන්ව ඇත.

සිද්ධිය 2

කෑගල්ල නගරයේ සිට කෑගල්ල රෝහල දෙසට දිවෙන බස් රථයකි. බස්රථය ගමන් ආරම්භ කරන විටම එයට ගොඩ වූ පුද්ගලයෙකු එක් වයෝවෘද්ධ මවක් අසලින් ඉඳගන්නා ලදී. ඇය සමග සිනාසී,  ඇයගේ පුතාගේ යහලුවෙකු මෙන් කතා කර ඇත. කසුන් අනතුරකට ලක් වී රෝහල් ගත කර ඇති බවත් හදිසියේ පැමිණි නිසා මුදල් රැගෙන නොආ බවත්, තිබේනම් රැපියල් 1000ක් ලබා දෙන ලෙසත් එය ඇයගේ පුතා වෙත ආපසු ලබා දෙනබවත් පවසා මුදල්  රැගෙන කෑගල්ල රෝහල අසලින් බැස ගොස් ඇත.
(මෙවැනි විටකදී කසුන් වැනි සැම තැනම දැකිය හැකි පොදු නම් භාවිතා කෙරේ)

සිද්ධිය 3

කෑගල්ල NSB අසල සිටි වයෝවෘද්ධ මවක් වෙත පැමිණි පුද්ගලයෙකු ඇය හොඳින් හඳුනන ලෙස කතා කර, තමා ඇයගේ පුතාගේ යහලුවෙකු බවත්, තමා ලීසින් ආයතනයක රැකියාව කරන බවත්, පුතාගේ වාහනයේ වාරික හිඟවී ඇති බැවින් එය ගෙවීම⁣ට ඇති අවසාන දිනය අද බවත් පවසා ඇත. එය අද දින ගෙවීමට නොහැකි වුවහොත් පුතාට ප්‍රශ්නයකට මුහුන දීමට සිදුවන බව පවසා ඇයගේ ජංගම දුරකතනයෙන් පුතු වෙත දුරකතන ඇමතුමක් ලබාගෙන ඇත. ඔහු පුතා සමඟ කතා කරන ලෙස රඟපා ඇයගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කර ඇත. පුතා ඇගෙන් මුදල් ඉල්ලා ගන්නා ලෙස පැවසූ බවත් මුදල් නොමැතිනම්  ඇය අත පැලඳි මංගල මුදුව ලබා ගෙන මුදල් ගෙවන ලෙස පැවසූ බවත් කියා  ඇයගෙන් මුදුව ලබාගෙන අතුරුදහන්ව ඇත.

මේවා සියල්ල සත්‍ය සිදුවීම්ය

පොදු ලක්ෂණ

  1. තනිව සිටින වයෝවෘද්ධ කාන්තාවන් ඉලක්ක වීම
  2. පොදු ස්ථානවල සිදුවීම
  3. හොඳින් හඳුනන ලෙසින් කතා කිරීම
  4. පොදු නම් භාවිතා කිරීම (පුතා හඳුනනවා යැයි පැවසුවද පුතා කවුදැයි නිශ්චිතව නොපැවසීම. කසුන්, නිමල් වැනි පොදු නම් භාවිතා කිරීම...)
  5. උපාකර කරන ලෙසින් පෙනී සිටීම.

මෙවන් සොරුන්ගෙන් ප්‍රවේසම්වන ලෙස ඔබගේ වැඩිහිටියන්ද දැනුවත් කරන්න මෙවන් සැකකටයුතු සිදුවීමක් ඔබ දුටුවහොත් ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කරන්න.

Latest