Skip to content

1930 මැද භාගයේ සිට 1940 මැද භාගයේ කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ජපන් අධිරාජ්‍යය හමුදාව (Imperial Japanese Army) විසින් අල්ලා ගත් ඊසානදිග චීනය අවට ප්‍රදේශවල චීන, කොරියානු, මොංගෝලියානු සහ රුසියානු ජනතාව එවකට ජපානයේ මැන්චූරියාවේ දිස්ත්‍රික්කයක් වූ "හාර්බින්" නම් ප්‍රදේශයට රැගෙන ගියේය. එහි ඔවුන් ගෙන ගිය කදවුරුට තරමක් අහිංසක නමක් තිබුණි. එහි කදවුර "හමුදා වසංගත වැළැක්වීමේ පර්යේෂණාගාරය" ලෙස නම් කර තිබුණි.

නමුත් ඔවුන් සැබවින්ම රැගෙන ගිය ස්ථානයේ හමුදා වසංගත වැළැක්වීමේ රසායනාගාරයක් නොතිබුණි. ඔවුන් නැවත කිසි දිනෙක තම ආදරණීයයන් දුටුවේ නැත. යුද්ධයේ නාමයෙන් හෝ ඊටත් වඩා දරුණු ලෙස ගන්නේ නම් විද්‍යාවේ නාමයෙන් මෙතෙක් සිදු නොවූ අතිශය බිහිසුණු මානව අත්හදා බැලීම් වලට ඔවුන් ලක්වූයේ මෙම ස්ථානයේය. එහි කුරිරු කමට මිනුමක් දෙන්නේ නම් කීමට ඇත්තේ මෙයයි.

"මෙම ස්ථානයට ගිය කිසිවෙකු එහි සති හතරේ සිට සති හයකට වඩා කාලයක් ජීවත් වූයේ නැත."

මේ Unit 731 එකේ කතාවයි..

නාසීන් සහ ඔවුන්ගේ රසායනික අවි භාවිතයේ පරීක්ෂණ දැක එයින් ලැබූ ආභාෂයෙන් පසු රසායනික යුධ පර්යේෂණ සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම කදවුර නොහොත් ඒකකය ගොඩ නැගීම සිදු කර ඇත. ජපන් අධිරාජ්‍ය හමුදාවේ ශල්‍ය වෛද්‍ය ජෙනරාල් ෂිරෝ ඉෂීගේ (Shiro Ishii) අදහසක් මත ජපාන ඉහළ නිලධාරීන් විසින් මෙම ඒකකය නිර්මාණය කිරීමට ආරම්භය ගෙන ඇත.

ශිරෝ ඉෂී

මුලදී ජපානයේ විවිධ ප්‍රදේශ පුරා විසිරී තිබූ මෙම ඒකකය අවසානයේ එකම වහලක් යටට පැමිණ අතර එහිදී එය හමුදා වසංගත වැළැක්වීමේ මධ්‍යස්ථානය යන නාමය ලබා ගත්තේය. මෙහි ගෙන ආ අහඹු ලෙස චීන වීදිවලින් අල්ලා ගත් මිනිසුන් අතර සෑම වයස් කාණ්ඩයකම පිරිමින්, කාන්තාවන් සහ ළදරුවන් පවා සිටියහ. Unit 731 ගොදුරු වූවන්ගෙන් අතිමහත් බහුතරය චීන ජාතිකයන් වූ අතර ඊට අමතරව කොරියානුවන්, මොන්ගෝලියානුවන්, රුසියානුවන් සහ සමහර බටහිර ජාතිකයින් ද විය.

මෙහි පැමිණි සිරකරුවන්ගේ පුදුමයට කරුණක් වූයේ, පළමු දින කිහිපය තුළ ඔවුන්ට හොඳ ආහාර ලබා දීමයි. මෙය කරුණාව මත සිදු කෙරූ දෙයක් ලෙස වරදවා වටහා නොගන්න. ශිරෝ ඉෂිගේ සිත තුල කරුණාවක් නොවීය. එය හුදෙක් අත්හදා බැලීම් ආරම්භ කිරීමට පෙර ඔහුගේ වටිනා ‘පරීක්ෂණ විෂයන් (Test- Subjects)’ හොද සෞඛ්‍ය තත්වයක පැවතීම සහතික කිරීම සඳහා සිදු කෙරූ දෙයකි. රැවටීම (Deception) Unit 731 තුල සෑම අංශයක් පුරා බැස ගත් ප්‍රධාන අංගයක් වූ අතර එය ආරම්භ වූයේ ඔවුන්ගේ පළමු දිනයේම පළමු ආහාර වේලෙනි.

සිරකරුවන් 'මිනිසුන්' හෝ 'විෂයයන් (Subjects)' ලෙස පවා හැඳින්වූයේ නැත. ඒකකයේ කාර්ය මණ්ඩලය විසින් ඔවුන් හැදුන්වූයේ "මරුටා (Maruta)" හෝ "ලොග් (Log) ලෙසය. හොද සෞඛ්‍ය තත්වයකට පැමිණි පසු 'සහන කාලසීමාව' අවසන් වී අත්හදා බැලීමේ අමානුෂික කාලය ආරම්භ විය. බුබොනික් වසංගතය (Bubonic Plague), සිපිලිස් මෙන්ම ශරීරයේ එක් පැත්තකින් අත් පා කපා ඉවත් කර සිදුවන්නේ කුමක්දැයි බැලීමට ඒවා නැවත ශරීරයේ අනෙක් පැත්තට සම්බන්ධ කිරීම වැනි පරීක්ෂණ මෙයට ඇතුළත් විය.

බෝම්බ් ප්‍රහාර නිසා සොල්දාදුවන්ට ඇති වන තුවාල වලට ප්‍රතිකාර කිරීමේ ක්‍රම සොයා ගැනීම සදහා සිරකරුවන් කණුවක ගැට ගසා ඔවුන් සමීපයේ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරවා හැරීමෙන් පසු ඇති වූ තුවාල පරීක්ෂා කිරීම ආදී පරීක්ෂණ ද මීට අමතරව මෙහි සිදු විය.

“Unit 731: Nights in Manchuria” චිත්‍රපටයේ මෙසේ සඳහන් කරයි.

“ජපන් සොල්දාදුවන් විසින් යුධ පිටියේදී ඇති වූ විවිධ තුවාල සඳහා හොඳම ප්‍රතිකාර ක්‍රමය තීරණය කිරීම සඳහා, චීන සිරකරුවන් බෝම්බ පිපිරීම්වලට නිරාවරණය කිරීම සිදු විය. එය බොහෝ දෙනෙකුට එය ශල්‍යකර්මයක් වූ අතර ඉතිරි අයට එය මරණ පරීක්ෂණයක් විය."

මෙම සැත්කම් හෝ අත්හදා බැලීම් කිසිවක් නිර්වින්දනය ලබා දී සිදු නොකළ බව සඳහන් කළ යුතුය. ඒ ශිරෝ ඉෂිගේ ක්‍රමයයි. මෙයට හේතු වූයේ නිර්වින්දනය මගින් තුවාල වලට ව්‍යාකූල බලපෑමක් ඇති කරයිද බැලීමට මෙන්ම ඒවා සුව වන්නේ කෙසේද යන්න නීර්ණය කර ගැනීමටය. එම පරීක්ෂණ වලදී ඒවාට ගොදුරු වූවන් එහි වැතිරී, ලේ ගලමින් තමාට ඉක්මන් මරණයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටීම සිදු කර ඇත.

"Vivisections" නම් වූ පණපිටින් සිටින මිනිසුන් සමඟ සිදු කෙරූ අත්හදා බැලීම් පවා මෙහි සිදු කර ඇත. එය කෙතරම් සාමාන්‍ය දෙයක්ද පවසනවා නම් ඔවුන් හුදෙක් ‘පුහුණුවීම් සඳහා’ බොහෝ සිරකරුවන්ගේ ජීව්ත අවසන් කරන ලදී.

ඉන්පසු බෝවන රෝග සහ ඒවා යුධ උපක්‍රම කෙරෙහි යොදා ගන්නා ආකාරය අවබෝධ කර ගැනීමට බොහෝ පරීක්ෂණ සිදු කර ඇත. සිරකරුවන් වම දකුණ ලෙස පිරිස් දෙකකට බෙදා ලිංගික රෝග ආසාදනය කෙරූ අතර පසුව අවට සිටින අනෙකුත් වෙනත් සිරකරුවන් ඔවුන් අතරට යවා එම රෝග සම්ප්‍රේෂණය වන ආකාරය නිරීක්ෂණය කිරිම පවා මෙහි සිදු විය. Unit 731 අත්හදා බැලීම් අතරතුර දරුවන් ද උපත ලැබූ බව කියනු ලැබේ. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සූර්යාගේ ආලෝකයවත් දැකීමට නොහැකි විය.

Unit 731 හි සාපේක්ෂ වශයෙන් වැඩියෙන් සිදු කෙරූ තවත් අත්හදා බැලීමක් වූයේ Frostbite වලට ප්‍රතිකාර කිරීම සඳහා සිදු කරන ලද පරීක්ෂණ ය. සෝවියට් සමූහාණ්ඩුව සමඟ යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව සැලකිල්ලට ගෙන, ජපාන හමුදාවට අධික සීතල අවස්ථාවකදී ඇති වන Frostbite ඇති වන්නේ කෙසේද සහ ඒවාට වඩාත් හොඳින් ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න දැන ගැනීමට අවශ්‍ය විය. එය දැන ගැනීම සඳහා, සිරකරුවන් අධික සීතලක් ඇති හිම සහිත පරිසරයකට ගෙන ගොස් ඇදුම් ඉවත් කර ඔවුන්ගේ ශරීරයේ Frostbite ඇතිවන තෙක් ජලය ඉසීම සිදු කරන ලදී.

දැඩි උණුසුම සහිත පරිසරයක සිදු කරන ලද එවැනිම අත්හදා බැලීම් මාලාවක් ද එහි විය. අධික උෂ්ණත්වයකදී මිනිසෙකුට කොපමණ කාලයක් ජීවත් විය හැකිද සහ ඔවුන්ගේ සිරුරේ ජලය කෙතරම් ඉක්මනින් වාෂ්ප වී යනු ඇත්දැයි බැලීමට සිරකරුවන් අධික උෂ්ණත්වයක් සහිත කාමර තුළ රැඳවා තැබීම සිදු කරන ලදී.

එමෙන්ම විවිධ රසායනික කාරකයන්ට එරෙහිව මිනිසුන්ගේ ශරීරය ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි බැලීමට පවා අත්හදා බැලීම් Unit 731 එක තුල සිදු විය. Unit 731 ඒකකයේ තුළ වර්ධනය කෙරූ වෛරස් සහ බැක්ටීරියා පසුව චීනයේ සමහර ප්‍රදේශවල නිරාවරණය කර පරීක්ෂා කරන ලදී. එම ඒකකය චීනයේ දරුවන්ට ඇන්ත්‍රැක්ස් (Anthrax) මිශ්‍ර රස කැවිලි ලබා දීමෙන් මෙය සිදු කෙරූ බවට තොරතුරු වාර්තා වී ඇත.

වෛරස බෝවීම වැලැක්වීමේ එන්නත් නමින් හදුන්වන එන්නත් කිරීමක් යොදා ගනිමින් බෝවන රෝග එන්නත් කිරීමද Unit 731 විසින් සිදු කළේය. ඒ අතරම, බුබොනික් වසංගතය පැතිරීම සඳහා මැස්සන් නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූහ. මෙම මැසි කණ්ඩායම් රැගෙන පියාසර කරන ගුවන් යානා ඒවා චීනයේ සමහර ප්‍රදේශවලට දැමීම සිදු කර ඇති අතර, දින කිහිපයකට පසු, පැහැදිලි හේතුවක් නොමැතිව මිනිසුන් තම ආදරණීයයන් තමන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වීම සිදු වෙන ආකරය දකින ලදී.

එය ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයකට බලපාන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා ඔවුන් කෘෂිකර්මාන්තයට සහ නගරවල ජල පද්ධති වලට ද ආසාදනය කිරීම සිදු කර ඇත. මෙම ක්‍රියාවන් පමණක් චීන ජීවිත 400,000ක් බිලිගත් බව පැවසේ. ජීව විද්‍යාත්මක යුධ ඒකකය කෙතරම් ක්‍රියාශීලි බව පවසන්නේ නම් ඒවාට යොදා ගත් බැක්ටීරියා ප්‍රමාණය ග්‍රෑම් වලින් නොව කිලෝග්‍රෑම් වලින් ලඝු සටහන් වල වාර්තා කර ඇත.

මේ සියල්ලෙන් ඔවුන් ක්‍රියාත්මක වූ පරිමාණය පිළිබඳ හැඟීමක් ඔබට සිතා ගත හැකිය. වාර්තා පවසන්නේ Unit 731 සතුව පැවති ජීව විද්‍යාත්මක අවි වල උච්චතම අවස්ථාවේදී අපගේ වර්තමාන ලෝක ජනගහනය බොහෝ වාරයක් නැවත නැවතත් විනාශ කිරීමට ප්‍රමාණවත් බවයි.

Unit 731 කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාධාරණීකරණය කළේ මෙම මිනිසුන් යුධ පිටියේදී මරණයට පත් වන බවත්, එබැවින් විද්‍යාවේ නාමයෙන් මෙම පරීක්ෂණ කළ බවත් පවසමිනි. එහෙත්, එය පවා සම්පූර්ණයෙන්ම සත්‍ය නොවීය. එම ඒකකයේ පුද්ගලයන් විසින් සිදු කරන ලද බොහෝ අත්හදා බැලීම්වලින් කිසිදු විද්‍යාත්මක ප්‍රතිලාභයක් නොමැති බව සටහන් විය. නිදසුනක් වශයෙන්, ඔවුන් වඳුරන්ගේ රුධිරය වින්දිතයින්ට එන්නත් කළේ ඔවුන් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි බැලීමට පමණි.

ඔවුන් ඒවා කළේ හුදෙක් කුතුහලය ලෙස හැඳින්විය හැකි ඔවුන් තුළ ඇති මානසික අවපීඩනය සමනය කිරීමට ය. සමහර විස්තර කෙතරම් භයානකද කියන්නේ නම් ඒවා සඳහන් නොකිරීමට මම තීරණය කළෙමි. නමුත් මෙය දැනගත යුතු කළ දෙයකි. මෙය සහ මෙවැනි වෙනත් අත්හදා බැලීම් සිය දහස් ගණනකගේ ජීවිත බිලිගෙන ඇත. Unit 731 සහ එහි ක්‍රියාකාරකම් වලින් මිය ගිය සංඛ්‍යාව පිළිබඳ පහළ ඇස්තමේන්තුව මිලියන භාගයක් පමණ වේ.

ජපානය යටත් වීමෙන් පසු, එක්සත් ජනපදයට Unit 731 පර්යේෂණ වාර්තා සඳහා පූර්ණ ප්‍රවේශය අවශ්‍ය විය. ඇමරිකාව විසින් ජපනය බිය ගැන්නුවේ ඔවුන්ගේ නඩු විභාගයට සෝවියට් දේශය සම්බන්ධ කර ගන්නා බවට තර්ජනය කරමිනි. ෂිරෝ ඉෂි සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට ගොදුරු වූවන් අතර රුසියානුවන් සිටීම නිසා ඔවුන් සෝවියට් සභාවේ යුද අපරාධ නීතිය යටතේ නඩු විභාගයකට යෑමට බිය විය. එම නිසා එක්සත් ජනපදය හට සියලු වාර්තා සහ ලියකියවිලි ලබා දී ඒ වෙනුවට සියලු චෝදනාවලින් සම්පූර්ණ නිදහස ලබා ගැනීම සඳහා ගනුදෙනුවක් කිරීමට ඔවුන් තීරණය කළහ.

එක්සත් ජනපදයට අවශ්‍ය වූයේ මෙම ලේඛන තම විරුද්ධවාදීන් හෝ තමන්ගේ මිත්‍ර පාක්ෂිකයින් සොයා නොගැනීම සහතික කිරීමය. එම නිසා ලේඛන ලබා ගැනීම සඳහා ඔවුන් එම ගනුදෙනුව පිළිගත්තේය. මේ නිසා, Unit 731 හි බොහෝ සාමාජිකයින්ට ඔවුන්ගේ ස්වාභාවික මරණය දක්වා තම ජීවිත ගත කිරීමට අවසර ලබා දුන් ඇති අතර, සමහරුන්ට ලේඛන ලබා ගැනීම සඳහා ඇමරිකාව විසින් විශාල මුදලක් පවා ගෙවන ලදී. මේ පිළිබදව ඔබ අසන පළමු අවස්ථාව මෙය විය හැකිය. එක්සත් ජනපදය අද දක්වාම Unit 731 සම්බන්ධයෙන් නිල නිශ්ශබ්දතාවයක් රකින අතර, එම ඒකකය පිළිබඳ ඔවුන් කළ මුල් ප්‍රකාශයන් පවා කොමියුනිස්ට් ප්‍රචාරණයක් ලෙස පෙන්වමින් බැහැර කළේය.

Unit 731 කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා පසුකාලීනව වෛද්‍ය සායන විවෘත කර ඉතා සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කළහ. නිසැකවම යුක්තිය ඉටු නොවීය. එක්සත් ජනපදය කළ දේ හරිද වැරදිද යන්න තීරණය කිරීමට ඔබට ඉඩ ලබා දෙමි. නමුත් සත්‍යය නම් එක්සත් ජනපදය වඩාත් බිහිසුණු මානව හිමිකම් කඩකිරීම් පවා ඔවුන්ට වාසිදායක නම් ඒවා නොසලකා හැරීමට සූදානම්ය. ජපාන රජය මෙම ඒකකයේ පැවැත්ම පවා පිළිගත්තේ සාපේක්ෂව මෑතක දී ය.

එක්සත් ජනපද රජය සමඟ ඇති කර ගත් ගනුදෙනුව නිසා, ඒකකය පිළිබඳ බොහෝ ලියකියවිලි ඇත්ත වශයෙන්ම එය මහජනයා වෙත ලබා නොදුන් අතර එහි කාර්ය මණ්ඩලය අතළොස්සක් හැර සෙසු සියල්ල ජීවතුන් අතර සිටිති. ඔවුන් කළ දේ කළේ ඇයිදැයි ඇසූ ඒකකයේ සෑම සාමාජිකයෙකුම ඔබ අපේක්ෂා කරන ආකාරයේ පිළිතුරක් ලබා දීම සිදු කර ඇත.

"මට ඉහළින් නියෝග කළා."

Latest