Skip to content

ණය ප්‍රතිව්‍යුහගතකරණ මුවාවෙන් පාර්ලිමේන්තුව නොසලකා රනිල් මුදල් බලතල අතට ගත්තා - මුජිබර්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවක් නොව ජනාධිපතිවරයාට මුදල් බලතල ලබා දෙන යෝජනාවක් බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඒ අනුව දැන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නොසලකා තීන්දු ගත හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

''රාජපක්ෂලා පාර්ලිමේන්තුවට ආවේ නෑ. දැන් බලමණ්ඩලවල ගිහින් බයිලා ගහනවා. එයාලා තමයි රනිල්ව බලයට ගෙනාවේ. නාමල්ට කියනවා තොත්ත බබාල වගේ කතා කියන්න එපා කියලා. ආයිමත් මිනිස්සු අන්දන්න පුලුවන්ද කියලා බලනවා. ජනතාවට යන එනමන් නැතිවෙලා. ජනාධිපතිවරයා දැන් ජනාධිපතිවරණය ගැන කතාකරනවා. ජනාධිපතිවරයාට ව්‍යවස්ථා බලය ලැබිලා තියෙනවා පාර්ලිමේන්තව විසුරුවාහැරීමට. ඒක කරන්නේ නැතිව ලබන අවුරුද්දේ තියෙන ජනාධිපතිවරණය ගැන කතාකරනවා. අද පාර්ලිමේන්තව විකෘත්තියක්. මිනිස්සු පාරට එනකොට ගෙදරට එනකොට ඉල්ලා අස්වුණ ඇමතිවරු 10ක් විතර ඉන්නවා. දූෂිත පාර්ලිමේන්තව විසුරුවන්න ජනාධිපතිවරයාට පුළුවන්. අපි රනිල් වික්‍රමසිංහට කියනවා පාර්ලිමේන්තව විසුරුවන්න කියලා. රාජපක්ෂලා  වික්‍රමසිංහගේ පිට කහනවා. වික්‍රමසිංහලා රාජපක්ෂලාගේ පිට කහනවා. රට ගොඩනගන්න නම් දේශපාලන ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන එහෙම විශ්වාසවන්ත ආන්ඩුවක් හදන්න නම් මේ දූෂිත පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන. රනිල් වික්‍රමසිංහට කියනවා වෙන වෙන ඒවා දොඩවන්නේ නැතිව ඒක කරන්න කියලා.''

ආර්ථික වශයෙන් මේ රට වැට්ට වූ සියලුම දෙනාව  සමගි ජන බලවේගයේ  ආණ්ඩුවකින් නීතිය ඉදිරියට ගෙන එන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ ඊයේ (04) පස්වරුවේ සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ ජන පවුර වැඩසටහන අමතමිනි.

Latest