ජයලත් දිසානායක - බදුල්ල - 2023.06.24
මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 217 ක් බවත් ජුනි මස වන විට උපයා ඇත්තේ රුපියල් බිලියන 72.985 පමණක් බවත් මේ නිසා බලාපොරොත්තු වන ආදායමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ලගාවී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පැවැති ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ඒ මහතා මේ බව පැවැසීය.
මෙහිදී සුරාබදු නිලධාරීන් පෙන්වා දුන්නේ මත් පැන් මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය අවම වී ඇත් බවයි. මේ නිසා බලාපොරොත්තු වන ආදායමට ලගාවිය නොහැකි බව එම නිලධාරීන් දත්ත සහිතව පෙන්වා දුන්නේය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ වසර කිහිපයක සිටම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වී නැති බවයි.
මේ නිසා මත් පැන් මිල වැඩිවීම හේතුවෙන් පමණක් ආදායම අවම වී ඇති බව නිරීක්ෂණය නොවන බවයි.
එබැවින් මෙරට පවතින මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැරදිව බදු අයකරගැනීමට කටයුතු කරන ලෙසයි. යම් ආකාරයකින් බදු ගෙවීම පැහැර හරින නිෂ්පාදන සමාගම් වල බලපත්‍ර අහෝසි කිරීමටද ඒ මහතා උපදෙස් ලබාදුන්නේය.