Skip to content

උගතුන්, බුද්ධිමතුන්ට වඩා අපට අවශ්‍ය නායකයන්

2023 පළාත් පාලන මැතිවරණ කතා බහ අතර බල දේශපාලනය තුළ බලය හුවමාරුවීම සාමාන්‍යය ස්වාභාවයෙන් ඔබ්බට යෑම, ශ්‍රී ලංකාවේ මෙම මැතිවරණය හැරවුම් ලක්ෂ්‍යයකි, ප්‍රභූ දේශපාලනයේ අවසානය මෙම මැතිවරණයයි ආදී ජනප්‍රිය මාතෘකා පිළිබඳව සාකච්ඡාව සමාජය තුළ පැවතියද මේ මොහොතේ කරලියට රැගෙන ආ යුතු ප්‍රධාන මාතෘකාව නම් සැබවින්ම කුමන පක්ෂයකින් හෝ අපට අවශ්‍ය නායකයින් ය යන්නය.

සාමාන්‍යයෙන් පවතින සමාජ ක්‍රමය තුළ අර්බුද පැමිණි විට අප බොහෝ විට මෙය පාලකයන්ගේ වරද යැයි කීව ද ඒ සෑම අවස්ථාවකදීම අප තව දුරටත් පෙන්නුම් කරණුයේ අනාදිමත් කලක සිට අප පුරුදුව ඇති අපගේ වැඩවසම් ගති ලක්ෂණයන් ය. සැබවින්ම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපට පාලකයන් නැත. අපට ඇත්තේ නියෝජිතන් ය. නැතහොත් නායකයන් යැයි අප සිතා සිටිනා මිනිසු පිරිසක් ය. එම නිසා ඉතාම කුඩා තැනින්ම ජාතියක් ලෙස අප ප්‍රජාතන්ත්‍රවාදය , දේශපාලනය වරද්දාගෙන ඇත.

එපමණක් නොව ලාංකීය දේශපාලන කතිකාවත තුළ අප බොහෝවිට ප්‍රකාශ කරණු ලබන එක් ජනප්‍රිය අදහසක් වන්නේ මැතිවරණ ක්‍රියාදාමය තුළ රටේ දේශපාලන බලය හොබවන ස්ථාන තුළට අප අනිවාර්යයෙන්ම  උගතුන් , බුද්ධිමතුන් යැවිය යුතු බවය. එම ප්‍රකාශයේද යම්තාක් දුරකට සත්‍යතාවයක් පවතින මුත් සැබෑ ලෙසම අප යැවිය යුත්තේ රටට නායකත්වය ලබාදිය හැකි පිරිසකි. මන්ද අපට අවශ්‍ය නායකයන් ය. මන්ද නායකයින් සතුව එම සියලු ලක්ෂණ පවතින බැවිනි. ප්‍රධාන විය යුත්තේ නායකත්ව ශක්‍යතාවයයි. මෙය තවදුරටත් විග්‍රහ කරන්නේ නම්,

වරෙක මා පුද්ගලිකව සම්බන්ධ වූ දේශනයකදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ සම්බන්ධව සමපාතවන අදහසක් දක්වමින් තව දුරටත් කියා සිටියේ බොහෝ උගත්කමක් සහ බුද්ධිමත්කමක් නොතිබුණද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි සෙසු පිරිස් සමග බොහෝ සහයෝගයෙන් කටයුතු කරමින්  උගත්කම සහ බුද්ධිමත්කම නොතිබුණද  අදාළ ඉලක්කයන් කරා පිරිසක් මෙහෙයවිය හැකි ශක්‍යතාවයක් පවතින සැලකියයුතු මංත්‍රී කොට්ඨාශයක් සිටින බවය. සැබවිනම් අපට අවශ්‍ය වන්නේද එයයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මග කෙතරම් විහිළුවට ලක් වූයේ දැයි අප හොඳ හැටි දනිමු. සැබවින්ම ඔවුන් උගත් බුද්ධිමත් පිරිසක් ය. නමුත් ඔවුන් නායකත්ව ලක්ෂණ අතරින් ඉතා දුප්පත් වූ බැවින් කෙතරම් බුද්ධියක් සහ උගත්කමක් පැවතිය ද ඔවුන්ට අවසානයේ විහිළුවට ලක්වන්නට විය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා හටද තම තණතුර අතහැර යෑමට සිදුවූයේ මෙම නායකත්ව ලක්ෂණ අතින් ඔහු ඉතා දුප්පත් පුද්ගලයකු වූ බැවිනි. අන්‍යයන්ගේ අදහස්වලට ගරු කිරීම යන මූලික ලක්ෂණය වූවද ඔහු තුළ නොවීය. රසායනික පොහොර භාවිතය තහනම් කරන ලද්දේ එම නිසාය. එය එසේ වූවත් නායකයන් එක් අරමුණක් සඳහා කුමන බාදක ආවද සෙසු පිරිසත් සමග ගමන් ගන්නා පිරිසකි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තණතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ විශේෂයෙන් රටේ ඉහළම පුරවැසියන් සියල්ලම පාහේ කටයුතු කර ඇත්තේ මේ අයුරිනි. වත්මන් නිදසුන් ගෙන බැලුවහොත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කෙතරම් උගත් , බුද්ධිමත් පුද්ගලයකු ද යන්නට ඕනෑ තරම් සාධක පවතී. නමුත් ඔහු ද නායකයකු ලෙස ඉතා දුප්පත් පුද්ගලයකු වන අතර වසර ගණනක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කිරීම,  බොහෝ සමාජ විරෝධතා මත පුරවැසියන්ට අහිතකර පණත් ගෙන ඒම, පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා බලපෑම් කරන බව පෙනෙන්නට තිබීම ආදී සෑම අංශයකින්ම පෙන්නුම් කරණුයේ සැබෑ ලෙසම ඔහු පාලකයකු මිස නායකයකු නැතිනම් නියෝජිතයකු නොවන බවය.

නමුත්

වහල් යුගය, වැඩවසම් යුගය, රජකුට යටත්ව සිටීම ආදී බොහෝ යුග පසු කරමින් අප අද සිටින්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී යුගයක ය. එම නිසා තව දුරටත් අපට පාලකයන් ද අවශ්‍ය වන්නේ යන්න පිළිබඳව අප නැවත වරක් සිතා බැලිය යුතුය. එමෙන්ම අප මතක තබාගත යුතු ඉතාම වැදගත් කරුණ නම්  උගතුන්, බුද්ධිමතුන්ට වඩා අපට අවශ්‍ය වන්නේ රටට නායකත්වය දිය හැකි පිරිසක් ය.

Champika Lakshman

Latest