Skip to content

Trolley problem - ට්‍රොලි ගැටලුව

රූපයේ සඳහන් පරිදි ට්‍රොලියක් නැතහොත් අපි දුම්‍ රියක් යැයි සිතුවහොත් දුම්රිය ඉදිරියට ගමන් කරමින් සිටින අතර එක් පසෙක එක් පුද්ගලයකු එයට බිලි වීමේ අවදානමක සිටී. තවත් පසෙක පුද්ගලයින් පස් දෙනෙකු එයට බිලිවීමේ අවධානමක සිටී.

නමුත් එක් පුද්ගලයකු හට දුම්රියට බිලිවන්නේ කව්දැයි යන්න තීරණය කළ හැකි අතර ඔහු ලීවරය මෙහෙයවන පුද්ගලයා ය. මෙම පුද්ගලයාට දුම්‍ රිය ගමන් ගන්නා මාර්ගය වෙනස් කළ හැක. ඔහුට අවශ්‍ය නම් එක් පුගලයකු සිටින දිශාවට දුම් රියේ ගමන් මාර්ගය වෙනස් කළ හැක. නැතිනම් පුද්ගලයින් පස් දෙනෙකු සිටින දිශාවට දුම් රියේ ගමන් මාර්ගය වෙනස් කළ හැක.

ඔහු මේ අවස්ථාවේ ගන්නා තීරණය කුමක් ද? Trolley problem හී සරල කතාන්දරය මෙය වන අතර මෙය සාමාන්‍යයෙන් සලකන්නේ දර්ශනයේදී මිනිසුන්ගේ ආචාර ධර්මවල ප්‍රබන්ධාත්මක චින්තන අත්හදා බැලීමක් වශයෙනි. නැතිනම් මෙය දර්ශනවාදයේ එන සිතුවිලි පරීක්ෂණයකි. මෙහිදී කවුරුන් බිල්ලට දිය යුතුද යන උභතෝකෝටිකයක් අපට පැන නැගෙන අතර ඔබ හෝ මම එම අවස්ථාවේ ලීවරය මෙහෙයවන පුද්ගලයා නම් අප ගන්නා තීරණය කුමක් ද?

ඔබට හෝ මට මේ සඳහා විවිධ ආකාරයේ අදහස් තිබෙන්නට පුළුවන. සැබවින්ම මෙම Trolley problem සංකල්පය හරහා උත්සාහ කර ඇත්තේ ජීවිතයේ අපට යම් යම් අවස්ථාවලදී ගැනීමට සිදුවන තීරණ වඩාත් හොඳ ආකාරයෙන් ගන්නේ කෙසේදැයි යන්න සිතීමට පෙළඹවීමය.

සැබවින්ම අපට එදිනෙදා ප්‍රශ්න ලෙස මුණ ගැසෙන්නේ මෙම Trolley problem ආකාරයේ ප්‍රශ්නය. එහිදී අපට නොයෙකුත් තීන්දු තීරණ ගැනීමට සිදුවන අතර විශේෂයෙන් රටක් වශයෙන් අපට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන්නේ සත්‍ය වශයෙන්ම මේ ආකාරයේ Trolley problem සඳහා ය. මේ සම්බන්ධයෙන් හසලක තුෂාර සහ බෲනෝ දිවාකර යන දෙදෙනා ඉතා හොඳ සාකච්ඡාවක නිරතවන අතර එය ඔබට පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.

මෙම දෙදෙනාගේ සාකච්ඡාවෙන් පසු Trolley problem සම්බන්ධයෙන් තවත් ඉදිරියට කරුණු කිහිපයක් මා හට සාකච්ඡා කිරීමට සිත් වූ අතර මන්ද අප ජීවිතයේ යම් යම් තීරණ ගැනීමේදී වඩාත් හොඳ තීරණය ගන්නේ කෙසේදැයි දැන ගැනීම ඉතාමත් වටිනා බැවිනි.

සිතන්න. ඔබ සහ පවුලේ අනෙකුත් අය රූපවාහිනිය නරඹමින් සිටී. ඔබ කැමති වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීමට ය. නමුත් පවුලේ අනෙකුත් සාමාජිකයින් ක්‍රිකට් සම්බන්ධයෙන් කිසිදු ඇල්මක් නොමැති අතර ඔවුන්‍ට අවශ්‍ය වන්නේ ඒ මොහොතේම රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යයක් නැරඹීමට ය. මෙහිදී ගත යුතු තීරණය කුමක් ද? වඩාත් සාධාරණ වන්නේ කුමන තීරණය ද?

තවත් සිතන්න. ඔබ මහ මග ගමන් කරමින් සිටින විටදී පාරේ වැටී තිබූ මුදල් පසුම්බියක් ඔබට හමු වේ. එහි අදාල අයිතිකරුගේ සියළු විස්තර ද ඇත. නමුත් ඒ වන විට ඔබට අලුත් දුරකථනයක් අවශ්‍යව ඇත. ඔබ එම මුදල් වලින් දුරකථනයක් මිලදී ගන්නවාද නැතිනම් අදාළ පුද්ගලයා හට මුදල් පසූම්බිය ලබා දෙනවාද ? ඔබ ගන්නා තීරණය කුමක් ද? වඩාත් සාධාරණ ලෙස තීරණයක් ගන්නේ කෙසේ ද?

ඔබ කිසියම් ආයතනයක කළමණාකරුවකු යැයි සිතමු. කිසියම් සේවකයකු පැමිණ තමන්ගේ දරුවා හට අසනීප යැයි පවසමින් ඔබගෙන් පඩි සහිත නිවාඩු ඉල්ලා සිටී. නමුත් ඔහුට නිවාඩු ලබා දුනහොත් සිදුවන්නේ ආයතනයට විශාල පාඩුවකි. ඔබ ගන්නා තීරණය කුමක් ද? මෙවැනි අවස්ථාවන් අපට එදිනෙද ජීවිතයේදී ඕනෑ තරම් මුණ ගැසේ.

The storm on the sea of galilee නම් ඉහත චිත්‍රය නිර්මාණය කර ඇත්තේ වර්ෂ 1633 දී Rembrandt නම් ලෝක ප්‍රසිද්ධ සිත්තරා විසින් වන අතර එයින් පෙන්නුම් කරන්නේ අපගේ ජීවිතයයි.

අපගේ ජීවිතය ද මහ මුහුදේ මහා කුණාටුවකට හසු වී ගමන් කරන නැවක් නැතිනම් රුවලක් වැනිය. සුළඟ හමන සෑම විටම අපගේ රුවල් හකුලා තැබීමට අපට කිසිදු අවස්‍ථාවක් නැත. මේ ගමන කෙසේ හෝ කුණාටු බාධක මැදින් යා යුතුය. ඒ යන අතරතුර මුහුදු මංකොල්ලකරුවන් ද අපට හමු වේ. වැස්ස, මහා රළ, මිණී මෝරුන්ගෙන් ද කිසිදු අඩුවක් නැත. නමුත් ගමන යා යුතුය. නැව නැතිනම් රුවල හසුරුවීමේ වගකීම ඇත්තේ ඔබට මටය. ආරක්ෂිතව අවශ්‍ය ස්ථානයට යෑමටනම් නිවැරදි මොහොතේ අප නිවැරදි තීරණ ගත යුතුය. සැබෑ කපිතාන් කෙනෙක්ට එය අතිශයින් වැදගත් ය.

නැව හරවන්නේ කුමන දිශාවට ද?, රුවල් හකුලන්නේ කුමන අවස්ථාවේ ද? වේගය වැඩි කරන්නේ කොයි විට ද? වේගය අඩු කරන්නේ කොයි විට ද? විවේක ගන්නේ කුමන අවස්ථාවේ ද? ආදී සියල්ල කපිතාන් වරයකු දැන සිටීම අනිවාර්ය වේ. මේ සියල්ලට බලපාන්නේ තීරණ ගැනීමේ හැකියාවයි. ජීවිතය යනු ලොකු කුඩා තීරණවල සමස්ථ එකතුවකි. එම නිසා අපට අවශ්‍ය වන්නේ ජීවන ගමනේදී හරි තීරණය ගැනීමට පමණි.

ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අප ගත යුතු හරි තීරණය කුමක් ද? යන්න තීරණය කිරීමට අපට උපකාරයට ගත හැකි ප්‍රධාන දෙය වන්නේ moral triangle නැතිනම් සාරධර්ම ත්‍රිකෝණයයි. පහත දැක්වෙන්නේ එය වන අතර එය ගොඩ නගා ඇත්තේ ප්ලේටෝ, ජෝන් ස්ටුවට්මිල්, ජෙරමි බැන්තන් සහ එමානුවෙල් කාන්ට් යන ලෝක පූජිත දර්ශනවාදීන්ගේ අදහස් මත පදනම්ව ය.

ත්‍රිකෝණයක කෝණ තුනක් පවතින්නා සේ මේ ලෝකයේ යම්කිසි දෙයක් දෙස නිවැරදිව බැලිය හැකි කෝණ තුනක් පවතී. ඉන් ලෝකයේ හරි වැරැද්ද තීරණය කිරීමට භාවිත කරන ලද පැරණිම ක්‍රමය වන්නේ virtue Ethics නැතිනම් ධාර්මිකභාවය / සාරධර්මවාදය පදනම් කරගෙන තීරණ ගැනීමය. මෙම සංකල්පයේ ආරම්භකයා වන්නේ ප්ලේටෝය.

ප්ලේටෝ පවසන්නට වූයේ මිනිසෙක් ජීවිතයේ තීරණ ගන්නා විට එම තීරණ ගත යුත්තේ ගුණධර්ම පදනමෙහි තබාගෙන බවය. ඕනෑම පුද්ගලයකු ජීවිතයේ ගුණධර්ම වලින් පාරගත වී ඇත්නම් ( පාරගත වීම යනු ඉහළටම නැතිනම් යා හැකි උපරිමයටම යෑමය ) එම ගුණ ධර්ම මිනිසෙකුට හරි වැරැද්ද පෙන්වා දෙන බව ප්ලේටෝගේ මතය වී ඇත. ඉහත තැනකදී ගත් උදාහරණයට අනුව ගුණධර්ම මත පදනම්ව තීරණ ගනු ලබන පුද්ගලයා අදාළ මුදල් පසුම්බිය එහි අයිතිකරුට ලබා දේ.

මෙය වෙනත් ආකාරයකට පවසන්නේ නම්, සිතන්න ඔබ වෙනත් අයකු සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගනී. ඒවිට ඔබ සිතිය යුත්තේ ඒ පුද්ගලයා ඔබ සම්බන්ධයෙන් එම තීරණයම ගන්නේ නම් ඔබට දැනෙන හැඟීම, ඔබට වන බලපෑම කුමන ආකාරයේ එකක් වේ දැයි යන්න සම්බන්ධයෙනි. "මෙය මට උනානම්" . ඕනෑම තීරණයක් ගැනීමේදී භාවිතයට ගත හැකි පළමු ක්‍රමය මෙයයි.

නමුත් මෙහි එක් ගැටළුවක් ඇත. Ethics මත පදනම්ව  ලෝකයේ සෑම ප්‍රශ්නයකටම තීරණ ගත නොහැකිය. සෑම ප්‍රශ්නයක්ම විසඳිය නොහැක. Ethics මත අප පිහිටන්නේ නම් අපට බොරු කිව නොහැකි අතර නමුත් ජීවිතයේ යම් යම් අවස්ථාවලදී ගැටළු විසඳීමට යෑමේදී අපට බොරු කීමට සිදු වේ.

උදාහරණයක් දක්වන්න්නේ නම් සිතන්න. ඔබ ප්‍රදේශයේ ඔබට මෙන්ම සමාජයට කරදරයක් වූ ධාමරිකයින් පිරිසක් සිටී. ඔවුන් පොලීසියට කොටුකර දීමට ඔබ තීරණය කරයි. නමුත් ethics මත පිහිටා අපට එම තීරණය ගත නොහැක. මන්ද ethics වලදී අප සමාජයේ කිසිදු පුද්ගලයකුට බලපෑමක් කිරීමට නොයන බැවිනි.

මේ ආකාරයට සෑම විටම ethics මත පිහිටා තීරණ ගත නොහැකි අතර එම නිසා තවත් ක්‍රමයක් ඇත. එනම් තම තමන්ගේ කාර්යබාරය කුමක්දැයි  හඳුනාගෙන එය සිදු කිරීමය. එයින් අදහස් වන්නේ මේ ලෝකයේ සෑම කෙනෙකුටම සාධාරණීකරණය කළ හැකි තීරණ ගත යුතු බවය. ( deontology )

උදහරණ ලෙස මෙසේ පවසන්නේ නම්, සිතන්න ඔබ මිතුරන් සමග කාඩ් සෙල්ලම්කරමින් සිටින අතර හැකිනම් ඔබට සෙල්ලමේදී හොර කිරීමට අවස්ථාව ඇත. එම නිසා මෙහිදී ප්‍රකාශ වන්නේ "ඔබ හොර කරන්න එපා. මන්ද එය ඔබට සාධාරණ වූවාට අනෙක් සියල්ලටම සාධාරණ නොවන බැවිනි" මෙය මූලික වශයෙන් ලෝකයට ඉදිරිපත් කරන ලද්දේ එමානුවෙල් කාන්ට් විසිනි.

තවත් උදාහරණයක් දක්වන්නේ නම් අපි හිතමු පංතියක ගුරුවරයෙක් පිළිබඳව. ඔහු කැමති ඉතා දක්ෂ නොවුණත් කීකරු ළමයින් සිටිය හැකිය. ඒ අතර ඔහු ඉතාමත් අකමැති ළමයින් ද සිටිය හැක. නමුත් විභාගයකදී ඔහු අකමැතියි කියා අකමැති ළමයින්ට අඩු ලකුණක් දීමට යන්නේ නැත. මන්ද එය සියල්ලටම සාධාරණීකරණය කළ නොහැකි බැවිනි. නමුත් ඔහු අකමැති බැවින් ඔහුට එය සාධාරණ විය හැක. නමුත් ඔහු ඔහුගේ කාර්යබාරය අනුව කටයුතු කළ යුතුය.

තෙවැනි ක්‍රමය වන්නේ ක්‍රියාවාදයයි. ( utilitarianism ) එයින් අදහස් වන්නේ අප තීරණ ගත යුත්තේ ලෝකයේ බොහොමයක් මිනිසුන්ට හොඳ ආකාරයට බලපාන හොඳ අවස්ථා ලබා දෙන තීරණ වන බවය. මා මට හොඳයි කියා හිතෙන මට අවස්ථාවන් ලබා දෙන තීරණ නොගත යුතු අතර මට මෙන්ම එම තීරණ මගින් අනෙක් පාර්ශවයන්ට ද යහපත් බලපෑමක් සිදුවිය යුතු බව මින් අදහස් වේ.

මෙම අදහසේ මූලිකයන් වන්නේ ජෝන් ස්ටුවට්මිල් සහ ජෙරමි බැන්තන් ය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් කාඩ් සෙල්ලෙමේදී හොර කිරීම සුදුසු නොවන බව පළවන සහ දෙවන ක්‍රමය මගින් ද ප්‍රකාශ වූ අතර ක්‍රියාවාදී රාමුව මගින් ප්‍රකාශ කරන්නේ "ඔබ හොර කරන්න එපා. මොකද ඒක අනෙක් අයගේ යහපතට හේතුවක් වෙන්නේ නෑ "යන්නය. ඔබට එය හොඳ අවස්ථාවක් විය හැකිය. නමුත් සෑම කෙනෙක්ටම එමගින් හොඳ අවස්ථා උදා නොවේ.

උදාහරණ ලෙස අපි සිතමු. පංතියක ඉතාමත් දක්ෂ ළමයකු සහ ඉතාමත් දුර්වල ළමයකු සිටී. ගුරුවරයා පංතියට පැමිණ පාඩම තෝරාගන්නේ දක්ෂම ළමයා තවත් දක්ෂ කිරීමට නොවේ. දුර්වලම ළමයා තවත් දුර්වල කිරීමට නොවේ. ළමයින් බොහෝ පිරිසකට අවස්ථාවක් ලබා දීම සඳහා ගුරුවරයා පාඩම තෝරා ගනී. එහිදී දක්ෂ හෝ අදක්ෂ ළමයින් වෙන වෙනම රැගෙන ඔවුන්ට අවශ්‍ය පාඩම් කියා දීම වෙනම කතාවකි. නමුත් සාමාන්‍යයෙන් සිදුවන්නේ ඉහත කී පරිදිය.

තීරණ ගැනීමේදී අපට එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගත හැකි ප්‍රධාන ක්‍රම තුන මෙය වේ. මේ ක්‍රම තුනෙන් අපි තීරණ ගැනීමේදී භාවිත කරන්නේ කුමන ක්‍රමය ද? දැන් පැන නැගී ඇති ප්‍රශ්නය එයයි.

දාර්ශනිකයින් සහ විද්වතුන් පවසන්නේ අප කිසියම් දෙයක් සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගන්නේ නම් මෙම ක්‍රම තුනටම අතරමැදි තීරණයක් ගන්නා එක වඩාත් යහපත් වන බවය. සාරධර්ම පැත්තෙන් විතරක් සිතුවහොත් එයද ගැටළුවක් විය හැකිය. කාර්යබාරය පැත්තෙන් පමණක් සිතුවහොත් එය ද ගැටළුවක් විය හැකිය. තුන්වැනි ක්‍රමයෙන් පමණක් සිතුවහොත් එය ද ගැටළුවක් විය හැකිය. එම නිසා මෙම ක්‍රම තුනටම අතරමැදි තීරණයක් ගන්නේ නම් එය බොහෝ විට සාර්ථක තීරණයක් විය හැකිය.

උදාහරණ ලෙස දක්වන්නේ නම් ආරම්භයේ දැක්වූ උදාහරණයට අනුව, කළමණාකරු වෙත පැමිණ දරුවා අසනීප යැයි පවසමින් නිවාඩු ඉල්ලා සිටිනා සේවකයකු හට සාරධර්ම මත පිහිටා කිසිදු කොන්දේසියකින් තොරව නිවාඩු අනුමත කරන්නේ නම් එය සාරධර්ම පැතිකඩෙන් නිවැරදිය. නමුත් ආයතනයට වෙන්නේ පාඩුවකි.

එම නිසා එම තීරණය දෙවැනි ක්‍රමයට ගැළපෙන්නේ නැත. මන්ද සියල්ලටම එසේ දිනෙන් දින නිවාඩු අනුමත කළ නොහැකි නිසා සියල්ලටම සාධාරණ නොවන බැවිනි. නමුත් මම ඔබට නිවාඩු අනුමත කරන්නම් නමුත් පඩි ගෙවිය නොහැක. යැයි කළමණාකරු පවසන්නේ නම් එය බොහෝ විට පළවන ක්‍රමයටත් දෙවන ක්‍රමයටත් ගැළ පේ.

කළමණාකරු මෙසේ පැවසුවා යැයි සිතමු. මම ඔබට නිවාඩු සහිත පඩි ලබා දෙන්නම් නමුත් අනෙක් අයත් සමග සාකච්ඡා කර, එමෙන්ම ඔබ නිවාඩු ලබා ගැනීමෙන් පසු නැවත පැමිණි විට නිවාඩු ලබාගත් විට අත පසු වූ දිනයන්හී සියළු වැඩකටයුතු වෙලාව වෙන්කරගෙන සිදු කළ යුතුය. යනුවෙන් පවසන්නේ මෙම ක්‍රම තුනටම එම තීරණය සාධාරණය. එය අතරමැදි තීරණයකි. ආයතනට හෝ පුද්ගලයාට ද කිසිදු අවාසියක් සිදුවන්නේ නැත.

ඉදින් අපගේ එදිනෙදා ජීවිතයේ තීරණයක් සාර්ථක ලෙස ගන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් දාර්ශනිකයින් සොයා සපයා දී ඇති සාර්ථකම ක්‍රමය වන්නේ මෙයයි. නමුත් ගනු ලබන තීරණ බොහෝ විට පුද්ගලානුබද්ධ වේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. නමුත් ජීවිතය නමැති නෞකාව ඉදිරියට පැදගෙන යෑමටනම් අප සෑම විටම හරි තීරණ ගැනීමට පමණක් වගබලාගත යුතුය.

Latest