Skip to content

ත්‍රී රෝද රථ රියදුරෙකු පැහැරගෙන වදදුන් 11 ක් අත්අඩංගුවට . කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර.

වවුනියාව ප්‍රදේශයේ ත්‍රි රෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසක රඳවා වද හිංසා කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු 11 දෙනකු ඊයේ (01) සවස අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.

යාපනය පොලිසියට නිවසක රඳවා සිටින පුද්ගලයකුට පහරදෙමින් වද හිංසා කරන බවට ලැබුණ බුද්ධි තොරතුරක් මත යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී  අදාල සැකකරුවන් පිරිස හා පැහැරගත් තිරෝද රථ රියදුරු නිවසේ කාමරයක් තුල බැඳ දමා සිටියදී සොයාගත් බව පැවසීය.

අනතුරුව දැඩිලෙස පහරකා බරපතල තුවාල ලබා සිටි වවුනියාව , පූවරසකුලම්  ප්‍රදේශයේ පදිංචි නිල්ලනාදන් සුමන් නැමති 35 හැවිරිදි තිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

පොලිසිය පැවසූයේ තිරෝදරථ රියදුරු විදේශ රටකට යවන බව පවසා පැහැරගැනීමට සම්බන්ධ එක් කාන්තාවකගෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාගෙන ඇති අතර එම මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා තවත් යතුරු පැදි තුනක් අත්අඩංගුවටගත් අතර සැකකරුවන් ත්‍රිරෝද රථ රියදුරු වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සූදානම් කොට සිටි බවත් පොලිසිය පැවසීය.

ත්‍රිරෝද රථ රියදුරුට මුදල් ලබාදුන් බවට සැකකාර කාන්තාවන් දෙදෙනා හට කිසිදු සාක්ෂියක් නොමැතිවීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවත් පහරදී වද හිංසා කර මුදල් ලබාදුන් බවට ලිපි සකස් කරගැනීම හා මුදල් ලබාගැනීමට සැකකරුවන් උත්සහකොට ඇති බවට  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් කෝපායි පදිංචි 20ත් 40 අතර වූවන් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Latest