Skip to content

ලැක්ටෝ වත්තේ නිධන් හොයපු STF දෙන්නෙකුට මාංචු

පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරක් පවත්වා ගෙන යන ඉඩමක නිධානයක් ගොඩ දැමීම සදහා කැණීම් කරමින් සිටි එම කදවුරේම සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.

19 වැනිදා අළුයම 5.00 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පුත්තලම - වනාතවිල්ලුව 8 කණුව ප්‍රදේශයේ ලැක්ටෝ වත්තේ මෙම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර පිහිටා ඇත.

අන්තවාදී කණ්ඩායම් නායකයෙකු වන සහරාන් හසීම් යන අය කාලයක් ලැක්ටෝ වත්තේ මුරකරුවෙකු ලෙස සේවය කර ඇත.එම වත්තේ තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මීට වසර 04 කට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදි.පසුව එම ඉඩම තුළ පොලිස් විශේෂ කාර්ය බලකායේ කදවුරක් ස්ථාපනය කරන ලදි.

එම කදවුරට අනියුක්තව සිටින පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු කදවුරු භූමියේ නිධානයක් ගොඩ දැමීමට සුදානම් වන බවට වූ තොරතුරක් කුරුණෑගල විශේෂ කාර්ය බලකා කදවුරට ලැබී ඇත.ඒ අනුව මෙම වැටලීම සිදු කර ඇත. වැටලීම සිදු කරන විට සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කදවුරු භූමිය තුළ කැණීම් කරමින් සිට ඇත.එම ස්ථානයේ සිටි යකැදුරෙකු බව කියන අයෙකු වැටලීම සිදු කරන විට පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනාව වැඩිදුර විමර්ශණ කටයුතු සදහා වනාතවිල්ලුව පොලීසියට බාර දී ඇත.

වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest