Skip to content

වැලි ජාවාරම් නිසා පාරම්පරික ඇලවේලි විනාශයි. ගොවීන් කබලෙන් ලිපට.

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීකයන්හී ගෙවුනු වසර 10 කට ආසන්න කාලය තුලදී නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් විසින් සිදු කෙරෙන වැලි ගොඩ දැමීම් හේතුවෙන් පාරම්පරික ඇලවේලි හා ඔයවල් විනාශ වී යාමත් සමග ප්‍රදේශයන්හි ගොවීන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවට ගොවි සංවිධාන පෙන්වා දෙයි.

යුද්දෙන් පසුව සාමාන්‍ය වැසියන් නැවත පදිංචි වීමෙන් පසුව මෙම වැලි ජාවාරම් කරුවන් විසින් දේශපාලනික හා විවිධ බලපෑම් මත නීති විරෝධී වැලි ජාවාරම් සිදු කරන අතර මේ වන විට කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශ රැසකම පාරම්පරික ඇලවේලි හා ඔයවල් විනාශ වී යාමෙන් ගොවිතැන් වෙනුවෙන් ජලය ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත.

විවධ වූ ආර් ථීක අපහසුතාවන් හමුවේ ගොවිතැන් ආරම්භ කොට ඒ වෙනුවෙන් ජලය තිබුනද ජලය තමන්ගේ ගොවි බිම් වෙතට ලබාගැනීමට නොහැකි වීමෙන් මේ ගොවීන් කබලෙන් ලිපට වැටී ඉන්නේ යපළමුව යුද්දයෙන් හෙම්බත් වූ නිසාවෙනි.

වැලි ජාවාරම් කරුවන් විසින් කිලිනොච්චිය සහ මුලතිව්හි පිහිටි ප්‍රධාන ජලාශයන් වන ඉරණමඩු, කල්මඩුකුලම්, තන්නිමුරිප්පු , මුත්තියන්කඩ්ඩු ආදී ජලාශයන්හි ආදිකාලයක සිට ජලය රැගෙන යන ඔය සහ ඇලවේලී ආශ්‍රිතව මෙලෙස  නීතිවිරෝධීව වැලි කැනීම් සිදුකරනු ලබයි.

එහිදී ඇලවේලී ඉවුර දිග සහ ආසන්නයේ වැලි කැනීම මගින් විශාල ගස් වල මුල් විනාශ වන අතරම ගස් ඇලවේලි වෙතට කඩා වැටීම සිදුවෙයි. එමෙන්ම වැලි කැනීම හේතුවෙන් ඇලවේලී පුලුල් වී ජලය වෙනත් දිසාවන් වෙතට ගලායම මගින් කුඹුරු වෙතට විධිමත්ව ජලය රැගෙන යාමට නොහැකි වීමෙන් ගොවීහු ප්‍රධාන වශයෙන් පීඩා විඳිති.

මෙම ජාවාරම් පසුගිය කාලයන්හීදි මුලතිව් ඔඩ්ඩුසුඩාන්, පනික්කන්කුලම්, කිලවන්කුලම්, අම්බකාමම්, මාන්කුලම්, තුනුක්කායි, අයියන්කුලම්, පත්තුවෙට්ටුවාන්, පලෙයිමුරුගණ්ඩි, මාන්තෙයි නැගෙනහිර, පුදුකුඩිඉරිප්පු ,උදයාර්කට්ටු, රෙඩ්බානා, සුදන්දිරපුරම්, දේවිපුරම් ආදී ප්‍රදේශයන්හි ඉතා රහිසිගතව මෙම වැලි ජාවාරම් සිදු කෙරුනු අතර ජාවාරම් කරුවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවෙන බවටද ගොවීහු පවසති.

එසේම වැලි ජාවාරම් කරුවන් පිළිබඳව ගම්වාසීන්ගේ විරෝධතාවන් නිසාම සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුවුවද ඔවුන්ද නොබෝ දිනකින්ම නිදහස් වී නැවත වැලි ජාවාරමේ නිරත වීම සාමාන්‍ය ජනතාවට පීඩා දෙන තවත් කරුණක් වී ඇත.

කෙසේ වෙතත් පසුගියදා මෙම වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යුදහමුදාවේද සහය ලබාගත යුතු බවට කතිකාවක් ඇරඹී යුදහමුදාවේ දායකත්වයෙන් වැලි ජාවාරම් කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීම සිදුකෙරුණද උතුරේ දේශපාලඥයින් මෙයට මැදිහත් වී යුදහමුදාව සිවිල් පරිපාලනය මැදිහත් නොවිය යුතු බවට විරෝධතා දැක්වීම හේතුවෙන් එම උත්සහයද අඩපන වී ඇත.

නීතිය කව්රුන් හෝ ක්‍රියාත්මක කොට ජනතාවට සෙතක් වීම පසෙකලා තම ඉපයීමට සිදුවන බාධාව පළමුව ඉවත් කොට නීතිය නමන්න උත්සහ ගන්නා අය කව්රුන්දැයි මේ සාමාන්‍ය මිනිසුන් පළමුව වටහා ගත යුතුය.

ඇලවේලි වෙතට සහ ඔයවල් වෙතට වාහනයක් ගෙන වැලි කැනීම් කරන්නේ ගසේ අතුරකිලි බව වටහාගත යුතුය. ඔවුන් අත්අඩංගුවට ගැනුනු විට ක්‍රියාත්මක වන්නේ මුල්ය. මේ මතුපිටට නොපෙනෙන මුල් කව්රුන්දැයි වටහාගෙන ජනතාව වෙනුවෙන් යැයි කියා ජනතාවම හූරාකන ස්වභාව සෞන්දර්ය විනාශ කරනවුන් පළමුව නැවත්විය යුතුමය.

Latest