Skip to content

බොර දියේ මාළු බාන සංචාරකයෝ

පසුගිය වර්ෂ කිහිපය පුරාවට ශ්‍රී ලංකාවේ පැවති විදේශ විනිමට ගැටළුව සඳහා ප්‍රධාන විසඳුමක් ලෙස මතුව ආ කරුණ වූයේ මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවයි. සංචාරකයින්ගේ සීඝ්‍ර පැමිණීමක් රටක් වශයෙන් අප අපේක්ෂා කර සිටිය නමුත් සංචාරකයින්ගේ පැමිණීමත් සමඟ මේ වන විට නිර්මාණය වී ඇති සහ අවධානයට ලක් නොවූ වෙනත් ප්‍රධාන ගැටළුවක් පිළිබඳව රසික ජයකොඩි මහතා සිය මුහුණුපොතේ වීඩීයෝ පටයක් නිකුත් කරමින් කියා සිටින්නේ

මේ වන විට සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් විසින් ප්‍රධාන සංචාරක මධ්‍යස්ථාන ආශ්‍රිතව ව්‍යාපාර ආරම්භ කිරීමේ රැල්ලක් ආරම්භ වී ඇති බවත් සහ යාන්තමින් හිස ඔසවන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එය නුසුදුසු තත්වයක් බවය. අවන්හල්, සර්ෆ් පාසල්, ලැගුම්හල් සහ යෝගා මධ්‍යස්ථාන වැනි මතු පිටින් බලනවිට මෙම ආරම්භකරන ව්‍යාපාර අහිංසක ලෙස පෙණුන ද මෙම ව්‍යාපාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල හානියක් විය හැකි බව ඔහු කියා සිටී. විශේෂයෙන් දිවයිනේ දකුණු වෙරළ තීරයේ සහ නැගෙනහිර වෙරළ තීරයේ මෙම තත්වය ප්‍රධාන වන අතර මෙසේ ආරම්භකරණු ලබන ව්‍යාපාර තුළින් බදු නොගෙවීම, ලියාපදිංචි නොවීම, නියාමනයක් නොවීම සහ නීතිමය පදනමක් නොවීම වැනි කරුණු හේතුවෙන් එම සුදුසුකම් සැපිරූ දේශීය ව්‍යාපාරවලට විශාල බලපෑමක් සිදුවන බවත් සහ විශේෂයෙන් රුසියාවෙන් පැමිණි සංචාරකයින් මේ සඳහා වැඩි වශයෙන් යොමු වී ඇති බව ද රසික ජයකොඩි මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටී.

මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම ගත්විට සංචාරකයින් 524,486 ක් පැමිණ ඇති අතර ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම අගය 122,822 කි. දෙවන ස්ථානයට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්ත්තේ ඉන්දියාවෙනි.  එබැවින් මෙම ව්‍යාපාර සඳහා වැඩි වශයෙන් රුසියාවේ සංචාරකයින් සම්බන්ධ වී ඇති බව අපට සංචාරකයින්ගේ පැමිණීම ඔස්සේද හඳුනාගත හැකිය.

මෙම අදහස බහු මූලශ්‍ර මඟින් තහවුරු කර ගැනීම සඳහා විශේෂයෙන් මේ සම්බන්ධව වැඩිදුර කරුණු සොයා බැලීමේදී පෙනී යන්නේ සංචාරකයින් ආරුගම් බොක්ක, අහංගම, උණවටුන, වැලිගම සහ මිරිස්ස ආදී ප්‍රදේශවල මෙම ව්‍යාපාර සීඝ්‍ර ලෙස ආරම්භ කරන බවය. සන්ඩේ ටයිම්ස් පුවත්පත ද මේ සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් කියා සිටින්නේ මෙම ව්‍යාපාර වලින් බොහොමයක් ඍතුමය වන බව සහ එනම් ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම අධික කාල වකවානුතුළදී මෙසේ ව්‍යාපාර වැඩි වශයෙන් ආරම්භ කරන බවය. තවත් ඇති ගැටළුවක් වන්නේ ව්‍යාපාරවල සේවකයින් ඔවුන්ගේම රටවලින් ආනයනය කිරීමත් සහ එම නිසා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් හට රැකියා අවස්ථා හෝ නොලැබී යෑමය. එමෙන්ම දේශීය අමුද්‍රව්‍ය හෝ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා භාවිත නොකරයි.

පවතින මෙම තත්වය තුළ හිස ඔසවමින් සිටින සංචාරක කර්මාන්ත ක්ෂෙත්‍රය තුළ නියැලී සිටින දේශීය ව්‍යාපාරකයින් හට දැඩි බලපෑමක් එල්ලවන බැවින් සහ ඒ හරහා කිසිදු ප්‍රතිලාභයක් රජයට හෝ ජනතාවට නොලැබෙන බැවින් ද. මෙම ව්‍යාපාර නීති විරෝධී බැවින් ද අදාළ බළධාරීගේ අවධානය මෙම ගැටළුව සඳහා කඩිනමින් යොමු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව තිබේ.

Latest