Skip to content

සංචාරකයින්ට දොරගුළු වැටුණු තොරතුරු මධ්‍යස්ථානය.....!

දෙස් විදෙස් සංචාරකයින්ට මග පෙන්වීම සදහා යැයි පවසමින් පුත්තලම - මදුරන්කුලියේ ඉදිකරන ලද "සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය" මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති ආකාරයක් දක්නට ඇත.

2013 දෙසැම්බර් මස 01 වැනිදා මෙම සංචාරක තොරතුරු හා පහසුකම් මාධ්‍යස්ථානය ඉදිකිරීම සදහා මුල් ගල් තැබීම සිදු කරණු ලබන්නේ එවකට වයඹ ප්‍රධාන ඇමතිවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.මෙම මධ්‍යස්ථානය සදහා රුපියල් ලක්ෂ 589 ක් වැය කරන බවත්,එම මුදල වයඹ පළාත් සභාව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් දරන බව එම අවස්ථාවේදී ප්‍රකාශ විය.

මෙම සංචාරක මධ්‍යස්ථානය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය තොරතුරු ලබා දීමේ අංශයක්,දේශීය භාණ්ඩ අලවි කිරීමේ වෙළද කුටි 20 ක්,දේශීය ආහාර වර්ග සහිත ආපන ශාලාවක්,දර්ශණීය පොකුණක් මෙන්ම නවාතැන් ගැනීම සදහා නිදන කාමර 05 ක්ද ඇතුළත් විය.

ඒ අනුව පුත්තලම හරහා කල්පිටිය,විල්පත්තුව,අනුරාධපුරය ඇතුළු ඕනෑම තැනකට යන දෙස් විදෙස් සංචාරකයින්ට මෙම මධ්‍යස්ථානයෙන් සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබීමට නියමිතව තිබුණි. මෙම සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය සදහා රුපියල් ලක්ෂ 589 ක් වැය කරන බව මුලින් ප්‍රකාශ වුවත් එම මුදල පසුව රුපියල් ලක්ෂ 2700 ක් දක්වා වැඩි වී තිබුණි. බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ අවදියේ "දැයට කිරුළ" වැඩ සටහන යටතේ ඉතිරි මුදල් ලබා දීම සිදු කර තිබුණි.

මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ඉදිකර ඇති භූමිය අයත්ව තිබුනේ පුත්තලම ප්‍රාදේශීය සභාවටය.පසුව එම ඉඩම වයඹ පළාත් සභාවේ වයඹ සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත.පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයට මෙන්ම,පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගයට මැදිව එම භූමිය පිහිටා ඇත. සාමාන්‍ය ආකාරයට දුම්රිය මාර්ගයේ සිට අඩි 66 ක් සහ ප්‍රධාන මර්ගයේ මැද සිට අඩි 50 ක් රක්ෂිත කලාපය ලෙස වෙන් වන්නේය.එවන් රක්ෂිත කොටසක් වෙන් කරන්නට අනාගතයේ දවසක සිදු වුවහොත් මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානයට කුමක් වේවිද යන්න නිලධාරීන් සහ දේශපාලකයින් නොසිතන්නට ඇත.

ඒ අනුව ඉදිකිරීම් අවසන් වූ සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය 2017 පෙබරවාරි මස 14 වෙනිදා එවකට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ඇමති ධූරය දැරූ ධර්මසිරි දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.

මෙම මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවේදී නම් එම ස්ථානයේ විවිධ අලවි කුටි මෙන්ම ආපන ශාලාවද විවෘතව තිබුනේය.හස්ත කර්මාන්ත වෙළද කුටි ඇතුළු ව්‍යාපාරික අලවි සැල් කීපයක්ම එදින දක්නට ලැබුණි.නමුත් ටික දිනක් යන විට එම වෙළද කුටි සියල්ල වැසි ගියේය.ආපන ශාලාව නැත්තටම නැති වී ගියේය.මේ නිසා සංචාරකයින් කෙසේ වෙතත් වවුලන් සහ විවිධ අපචාරකරුවන් මෙම මධ්‍යස්ථානය තුළ ලැගුම් ගන්නට පටන් ගත් බව පසුව දැන ගන්නට ලැබුණි.

පසුගිය කාලයේ අප රට තුළ සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා මෙම තත්ත්වය උදා වූ බවට නිදහසට කරුණු ලෙස ඇතමුන්ට පවසන්නට හැකියාව ඇත.නමුත් එය මුසාවක් බව මදුරන්කුලිය සහ පුත්තලම අවට පදිංචිකරුවන් දනිති.මන්ද මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කර තිබුනේ දින කීපයක් නිසා පමණක් වන බැවිනි.

වර්තමානය වන විට අප රට තුළ නැවත වතාවක් සංචාරක කර්මාන්තය වැඩි දියුණු වෙමින් පවතී.මීගමුව - මාරවිල ප්‍රදේශ වල පිහිටි සංචාරක හෝටල් වල සිට මෙන්ම කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට ගොඩ බසින සංචාරකයින්ට පුත්තලම දක්වා ගමන් කරන අතර තුර ගිමන් හැරීමට මෙම ස්ථානය ඉතාමත්ම සුදුසු තැනකි.එමෙන්ම රට තොට ඇවිද යන දේශීය සංචාරකයින්ටද මෙම ස්ථානය ඉතා වැදගත් වන්නේය.ඒ හේතු රැසක් නිසාය. නමුත් ඒ බව වටහා නොගත් අප රටේ පාලකයින් මදුරන්කුලිය සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය තවමත් ඉබි යතුරු දමා වසා ඇති බවක් දක්නට ඇත.ඒ රුපියල් ලක්ෂ 2700 ක මහ පොළවට යට කර දැමීමෙන් පසුවය.

මෙම මධ්‍යස්ථානය තමන්ට පවරා දෙන ලෙස අවස්ථා කීපයකදීම ඉල්ලීම් කළත් වයඹ පළාත් සභාව හෝ සංචාරක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කිසිදු අවදානයක් යොමු නොකළ බව පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් බමුණුආරච්චි මහතා අප කළ විමසීමකදී පැවසීය.

සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම තුළින් අප රටට විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි බවට පුරසාරම් දොඩන කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් සොය බලන්නට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් වී ඇත.

Latest