රටක් ලෝකයක් ඉදිරියට යනුයේ තරුණයින්ගේ ශක්තිය නිසා යැයි කීම විවාදයට තුඩු දෙන කරුණක්නම් නොවේ. එය යුක්‍ති යුක්ත කිරීම සඳහා ගෙන හැර දැක්විය හැකි සරල හේතු සාධකයක් දක්වන්නේ නම් ජන සංක්‍යා පිරමීඩයේ බාල මහළු යන මේ දෙපිරසම යැපෙන්නේ ශ්‍රම බලකායට තරුණයින් තම නිපුණතා ආශ්‍රයෙන් යොදන ශක්තිය මතය යන්න අප සියල්ල දන්නා කරුණකි.

ඉදින් ලෝකයේ ශක්තිය වන මෙම තරුණයින්ගේ නිපුණතා ජාත්‍යන්තර වශයෙන් සමරන දිනය අදට යෙදී ඇත. රැකියා, විනීත වැඩකටයුතු සහ ව්‍යවසායකත්වය සඳහා කුසලතාවලින් තරුණයින් සන්නද්ධ කිරීමේ උපාය මාර්ගික වැදගත්කම අවධාරණය කිරීම සඳහා 2014 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරක ජූලි මස 15 වන දා ලෝක තරුණ නිපුණතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
2023 අද සමරණු ලබන ලෝක තරුණ නිපුණතා දිනයේ තේමාව වන්නේ පරිවර්තනීය අනාගතයක් සඳහා දක්ෂ ගුරුවරුන්, පුහුණු කරුවන් සහ තරුණයින් යන්න වන අතර
ලෝක තරුණ නිපුණතා දිනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන්නේ මෙවන් අදහසකි.

ලෝකයේ තරුණ තරුණියන්ට ශ්‍රම වෙළඳපොළට සංක්‍රමණය වීමේදී සහ ඔවුන් සමාජ ක්‍රියාකාරකම් වලට නියැලීමේදී ඔවුන්ට අවශ්‍ය කුසලතා සැපයීමට ගුරුවරුන්, පුහුණුකරුවන් සහ අනෙකුත් අධ්‍යාපනඥයින් වැඩි වැඩියෙන් ලෝකයට අවශ්‍ය වී ඇත.
එමෙන්ම තාක්ෂණික දියුණුවට සහ මාරුවන ශ්‍රම වෙළඳපොළට අනුවර්තනය වන පරිදි තරුණ පරපුරේ කුසලතා සංවර්ධනය කල යුතුය සහ ඔවුන් සවිබල ගැන්විය යුතුය. එමෙන්ම රැකියා ලෝකයට පිවිසීමට ඇති බාධා අවම කර ගැනීම සඳහා තරුණ පරපුරට තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන පුහුණුව ද අවශ්‍ය වේ.

තරුණ තරුණියන්ගේ හැකියාවන් හඳුනාගමින් අවශ්‍ය කුසලතා සහ අවස්ථාවන් ඔවුන්ට ලබා දෙමින් සමස්ථ ලෝක ප්‍රජාව සමෘද්ධිමත් තිරසාර ලෝකයක් සඳහා එක්ව කටයුතු කල යුතු බවත් සහ තරුණයින් හට දීප්තිමත් අනාගතයක් සකසා දීමට සැවොම කැපවිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක තරුණ නිපුණතා දිනය නිමිත්තෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.